සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’


‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’

අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ ජනයාගෙන් බොහෝ පිරිසක් එසේම සිටිය දී සමරණ කම්කරු දිනය යි. යුද්ධයක් බදු වූ මැතිවරණ දෙකකින් පසුව අලුත් යැයි කියන ආණ්ඩුවක් ද පත්ව ඇති මොහොතක කම්කරුවන් (කම්කරුවන් කීවාට වර්තමාන මැයි පෙළපාලිවල බොහොමයක් කෑ ගසමින් ඉදිරියෙන්ම යන්නේ මුදලාලිලා ය. පීඩකයන් ය.) තමන්ගේ අයිතීන් උදෙසා පෙළ ගැසෙන සංඛේතාත්මක දිනය යි.

මේ දිනයේදී කම්කරුවන් සහ 2010 මැයි දිනය පිළිබඳව ‛විකල්ප’ සමඟ අදහස් දැක්වූ රාජ්‍යසේවා එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ, ලේකම්, පී. ඩී. සරණපාල මහතා,

‛‛මේක අලුත් ආණ්ඩු සංකල්පයක් නෙමේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමත් එක්ක ප්‍රකාශයට පත්කළ දෙමළ ජනතා විරෝධී මතවාදයේ පෙරට ඒමක් හැටියට තමා අපි මේක දකින්නේ. ඒක අලුත් මතයක් නෙමේ, මේ රටේ පසුගිය කාලය පුරාම පාලක පංතිය ජනතාව තුළ වපුරපු සහ ප්‍රචළිත කරපු දෙමල ජනයා සමඟ තිබෙන වෛරී ප්‍රකාශනයේ ඉහළම තැනට ආපු අවස්ථාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයේ මතවාදය පෙරට ඒමක්. ඒ මතවාදය ජය අරගෙන තිබෙනවා.’’

‛‛අනිත් පැත්තෙන් ගත්තාම මැයි දිනය ලොකයේ කම්කරුවන්ගේ දිනය. අද අපට පේන විදිහට මැයි පෙළපාලි බොහොම අඩුයි. මැයි පෙළපාලි බොහොම අඩුයි කියන එකේ අර්ථය තමයි, කම්කරු පංතියට තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න, කලගුණ සලකන්නට තිබෙන දවසේ මේක ඒ ප්‍රමාණයට ඉදිරියට ගන්නට මේ පාලක පංතිය ලෑස්ති නෑ කියන එක. ඒ නිසා අපි කල්පනා කරන්නේ මැයි දිනය කුඩා ද, ලොකු ද, පෙළපාලි යනවා ද, නැද් ද, කියන කාරණාවට වඩා ඒ ඓෙතිහාසික දිනය සිහිපත් කරමින් අපි ලෝකයේ කම්කරුවන්ට ආයාචනා කරන්නට ඕන, අපිට අරගලයකින් තොරව අපගේ අයිතිවාසිකම් දිනාගැනීමේ මාර්ගයක් නැති බව.’’

‛‛මේ තත්වය යටතේ අභියෝග දෙකක් තියනවා, මේ රටේ ජනතාවට මුහුණ දෙන්නට. එකක් දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටින ලද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් අඩු ආදායම්ලාභී ජනතාවට, වැඩකරන ජනතාවට ජීවනබර දරාගන්නට බැරි තත්වය. අපි විශ්වාස කරන්නේ නෑ, මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා කියලා විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට මුහුණ දෙන්නටත්, අනිත් පැත්තෙන් වැඩිවන බඩුමිළ හමුවේ ජනතාවට සහනයක් දෙන බවටත්. දැන් අපිට දැනගන්නට තිබෙන තොරතුරු අනුව මේ අවුරුද්දේ අයවැයක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒකාබද්ධ අරමුදලින් වියදම් කරන්න තමයි ආණ්ඩුව මේවනකොට සැරසෙන්නේ. මේක ලංකවේ බරපතල අර්බුදයක ප්‍රකාශනයක්. ඉතිහාසයේ කවරදාකවත් අයවැය කියන එක මඟ හැරලා යන්න පුලුවන් තත්වයක් තිබුණේ නෑ. මේ තත්වය ඉදිරියේදී බරපතල ආර්ථික ව්‍යසනයක ලක්ෂණ අපිට පෙන්නුම් කරනවා.

දැන් මේ මොනවා තිබුනත් ජනතාවගේ පැත්තෙන් කම්කරු පංතිය ඉස්සරහට ඇවිල්ලා මේ ජනයාගේ අයිතිවාසිකම් ඒකාබද්ධ කරගෙන පංති ව්‍යාපාරය ශක්තිමත්කරලා ඉදිරියට ගන්නේ නැතිනම් මේක තවත් වතාවක් යටපත් වෙන්නට පුලුවන්. නමුත් මේ විදහට දිගින් දිගටම යුද කීර්තිය සහ යුද ජයග්‍රහණය මත මේ පරිපාලනය ගෙනියන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.’’

මැයි දිනයේ දී ඇයි ඔබ ප්‍රමුඛතාවයක් ලෙස ඉදිරිපත් කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය..?

‛‛ලංකාවේ පරිපාලනයේ අර්බුදය සංකේන්ද්‍රණය වෙලා තිබෙන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සමඟ, ලංකවේ දකුණේ පාලකයෝ එක්දහස් නවසිය පනස් ගනන්වල ඉඳලා මේ ප්‍රශ්ණය ‛විකෘතියක්’ හැටියට සැලකුවේ. අද ඒක බරපතල ලෙස ඇවිල්ලා තියනවා.’’
‛මේ රටේ ජාතීන් දෙකයි ඉන්නේ, එක ජාතියක් රටට ආදරේ ජාතිය, අනෙක් ජාතිය රටට ද්‍රෝහී ජාතිය’ කියලා කියනවා.
‛‛මේ අර්ථකතනයම ඉතා බරපතලයි. අනතුරු ඇඟවීමක් කරනවා දෙමළ ජනතාවට. දෙමළ ජනතාව ලක්ෂ ගනණක් ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා. මේකෙ ක්‍රමවේදය හරි ද, වැරදි ද නෙමේ, නමුත් පරිත්‍යාගයේ අර්ථය දෙමළ ජනතාවගේ ස්වාධීනත්වය සහ නිදහසයි. මෙය විසදන්නේ නැතුව රටක ආර්ථික සංවර්ධනය, සභ්‍යත්වය, සංස්කෘතියේ සංවර්ධනය කරන්න බැහැ. අපට තව කෙනෙකුගේ ස්වාධීන්තවය, සංවර්ධනය ගැන හිතන්න පුලුවන් වන්නේ අනෙකාගේ අයිතිවාසිකම්වලට ගරු කරනවානම් විතරයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය මැයි දිනයේ විතරක් නෙමේ කුමන හෝ සිදුවීම් තුළ ඉදිරියට ගත යුතුයි.

පවතින ආණ්ඩුව කම්කරු අයිතිවාසිකම් හෝ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව යම් ශක්‍යතාවයකින් ඉදරියේදී ක්‍රියාකරයි කියලා ඔබට විශ්වාසයක් හෝ අවිශ්වාසයක් තියනවා ද?

‛‛පැහැදිලි අවිශ්වාසයක් තියනවා. හේතුව තමයි, සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් බලයට පත් උනාම කියන්නේ වසරක්, දෙකක් ඉවසන්න කියලා. දැන් ඒ විදිහට මේ ජයග්‍රහණය තුළත් වසරක් දෙකක් ඉවසන්න කියලා කියන්න පුලුවන්. නමුත් පැහැදිලි පොරොන්දුවක් දීලා තියනවා මහින්ද රාජපක්ෂ මේ රටේ වැඩකරන ජනතාවට රුපියල් 2500.00කින් වැටුප් වැඩි කරනවා කියලා. එතකොට දැන් ඒ පිළිබඳව කතාබහක් නෑ. අයවැය කල්යනවා යැයි කියන එකේ අර්ථය තමයි 2500 ගැන කතාව මඟහරිනවා කියන එක. එතකොට ඒ මඟහැරීමට එරෙහිව මේ රටේ වැඩකරන ජනතාව පෙළගැස්වීම අපගේ ප්‍රධාන වගකීමක්.’’

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරෙක හිටපු කම්කරු අමාත්‍යවරයා..?

‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ නමුත් අපිට අද වෙනකොට පේනවා ඔහු ප්‍රාග්ධන හිමි පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින, ඒ වගේම ප්‍රාග්ධන හිමි පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ලෝකයට පෙන්වීම උදෙසා පෙනී සිටින කෙනෙක් බව. අද කතාබහක් තියනවා රටේ පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙවුවා කියලා. නමුත් අපි කල්පනා කරනාව පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙවුවාට වඩා එයා පුද්ගලික පළිගැනීමක් සහ වෛරකාර ආකල්පයකින් එවැනි තීරණයක් ගත්තා කියලා, දේශපාලන වාසි උදෙසා. ඒක එයාගේ ප්‍රතිපත්තිය නෙමේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමේ. ප්‍රතිපත්තිය කතා කරන හැම වෙලාවේම ආණ්ඩුව කිව්වේ අපි මිශ්‍ර ආර්ථිකය මත පදනම් වූ සංවර්ධන ක්‍රිවලියක් තමයි ඉදිරිපත් කරන්නේ කියලා.’’

‛‛නමුත් අපි දන්නවා ලෝකයේ මිශ්‍ර ආර්ථික කියලා දෙයක් නෑ. මිශ්‍ර ආර්ථිකය කියන්නේම වංචාව, ජනතාව රැවටීම. ඒ නිසා පුද්ගලීකරණය ඉදිරිකාලයේ දී අපේක්ෂිතයි. දැන් මේ වෙනකොට කම්කරු පංතිය දුර්මුඛ තත්වයට පත්වෙලා තිබෙනවා, මේ මැතිවරණ ජයග්‍රහණය දෙස බලලා. අපි කම්කරුවන්ට ආයාචනය කරනවා මැතිවරණ ක්‍රමය තුළ අපි දුර්මුඛ වීම අවශ්‍ය නෑ. කෝටියක් විතර ඉන්නවා වැඩකරන ජනතාව. ඔවුන් ශ්‍රමය විකුණලා ජීවත් වෙන ජනතාව. අපි කියනවා අපි තමයි මේ රටේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ ප්‍රමුඛයෝ, අපිට තමයි මේ රටේ සංවර්ධනයේ මූලික වගකීම තිබෙන්නේ, අපි පෙරට එමු, සංවිධානය වෙමු, අයෝමය බලයක් ගොඩනගමු.’’