Image by:asianmirror.lk

‘‘සත්‍යය වන්නේ, ඇමරිකාවේ සෑම අභිමතයක් සහ බියක්ම පොලීසිය තුළින් නිරූපණය කෙරෙන බවයි. මේ රටේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ප‍්‍රතිපත්තිය අප මොන ආකාරයකින් වටහා ගත්තත්, එය මර්දනකාරී සුළුතරයක් විසින් පනවන ලද්දකැයි කිව නොහේ. අතුඉති විහිදෙන බන්ධන රාජ්‍යය, කළු ජාතිකයන්ව හිතුමතේ රඳවා තබා ගැනීම්, සැකකරුවන්ව වධ බන්ධනයට ලක්කිරීම් ආදී එම ප‍්‍රතිපත්තිවලින් ව්‍යුත්පන්න අවභාවිතයන් වූ කලී, ප‍්‍රජාතන්ත‍්‍රීය අභිමතයේ නිෂ්පාදනයකි. එබැවින්, පොලීසියට අභියෝග කිරීම යනු ඇමරිකානු ජනතාවට අභියෝග කිරීමයි. පොලීසිය පිළිබඳ ප‍්‍රශ්නය වන්නේ, ඔවුන් ෆැසිස්ට් බල්ලන් වීම නොව, අපේ රට ඌරන් බහුතරයකින් පාලනය වීමයි.’’
ටා-නෙහිසි කෝට්ස් (බිට්වීන් ද වර්ල්ඞ් ඇන්ඞ් මී)

සිය කාර්ය මණ්ඩලයේ කෙනෙකුගේ බිරිඳක් සමග අයථා සම්බන්ධයක් පැවැත්විණැයි කියන පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර පසු ගිය සතියේ කරන ලද ප‍්‍රකාශ අපව විනෝදමත් (යෙදුම නිවැරදි නම්) කරවන සුළු විය. මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීමේ හේතුව? පොලීසිය ගැන ඇගේ විශ්වාසයක් නැති කමයි. එයින්ම සියල්ල පැහැදිළි වෙයි. රටතොට පරසිඳු මන්ත‍්‍රීවරියක්, වචනයෙන් මෙන්ම ක‍්‍රියාවෙන්ද ඒ බව සනාථ කරන තැනැත්තියක් සහ අද දක්වාමත් දණ්ඩමුක්තියට පූර්ණ හිමිකම් පාන්නියක් වන ඈට, නීතියේ ආධිපත්‍යය යනු, වෙනත් ක‍්‍රමයක් නැතොත් පමණක් අනුගමනය කළ යුතු, මාර්ගයකි. කතා කළ සැණින් කැඳවිය හැකි මදාවියන් සිටිත් නම්, උන්ව රැගෙන යා හැකි ‘ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර්’ වර්ගයේ වාහනත් ඇත්නම්, පොලීසියට කුදලා ගන්නැයි කියා, තමාගේ යුක්ති ධර්මයෙන් මාත‍්‍රාවක් අදාළ සැකකරුවාට පෙවීම වඩාත් යෝග්‍ය යැයි ඈ සිතන්නීය. ඒ අතරේ, මේ මන්ත‍්‍රීවරිය සමග තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත්, තමාට මෙසේ අඩන්තේට්ටම් කෙළේ මන්දැයි යන්න ගැන අගක් මුලක් නොතේරෙන බවත්, අදාළ වින්දිතයා මාධ්‍යට ප‍්‍රකාශ කොට තිබේ.

පසුගිය ජනවාරි 8 වැනි දාට කලින් නම් මේ සිද්ධිය මාධ්‍ය තුළ වැඩි වැදගත්කමක් නොගනු ඇත. අද එය මේ සා කර්කශ වන්නේ, ජනවාරි 8 වැනි දා අප ඡන්ද බලයෙන් පහ කර හැරීමට තැත් කෙළේම, මේ කියන හිංසනයේ සහ දණ්ඩමුක්තියේ සංස්කෘතියම වන බැවිනි. අවාසනාවකට එය තවමත් නිරුපද්‍රිත ය. බොදුබල සේනාවෙන් ඉස්ලාම් භීතිකාව සරුවට වපුරන කාලයේ, එදා පැවති පාලනය යටතේ මෙවැනි පැහැරගෙන යාම් සිදුවන විට සහ ඒවා සම්බන්ධයෙන් එම ආණ්ඩුවේ බලය හෙබැවු පුද්ගලයන් හෝ එම බලයට සම්බන්ධිත පුද්ගලයන් එම සිදුවීම් යුක්ති සහගත කරමින් ගල් පැලෙන බොරු කියන විට, (සෙල්ලම් පිස්තෝලය මතකද?), එම හැසිරීම වනාහී සමාජයේ ඉතා සුළු පිරිසකගේ පිස්සුවක් බවත්, සමස්තයක් වශයෙන් රටේ පවතින බහුත්වවාදී ප‍්‍රජාතන්ත‍්‍රීය කේන්ද්‍රයේ හරය දූෂ්‍ය කිරීමේ හැකියාවක් ඊට නැති බවත් ඇතැමුන්ගෙන් කියැවුණි. එනම්, බහුතරය නිහැඬියාවක සිටි බවයි. ඒ තත්ත්වය තුළ, ඉහත කී තර්කය දියාරු විය. මන්ද යත්, අති දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් ඇති වීමටත්, ඊටත් වඩා, එයම රටේ සාමාන්‍ය තත්වය බවට පත්වීමටත් මග පෑදුණේම, ඉහත කී බහුතරයේ නිහඬතාව නිසාම වන බැවිනි.

මේ නිසා රාජ්‍යයේ ස්වභාවය විමසා බැලීම මගහැරිය නොහේ. ඉහත කී හිංසනකාරී සිද්ධිය සුළුවෙන් තකා අකාමකා දැමීමට පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ගත් ප‍්‍රයත්නය, ඊට වඩා ගැඹුරු ප‍්‍රශ්නයක, ඇයවමත් බිහි කොට ඇති වඩා ගැඹුරු ප‍්‍රශ්නයක, නිරූපණයක් නොවේද යන්නත් සිතා බැලිය යුතුව තිබේ. ශ‍්‍රී ලාංකේය රාජ්‍යය, අප සිතනවාට වඩා ජාතිවාදය, ප‍්‍රචණ්ඩත්වය සහ අගතිය මුල් ඇද්ද සමාජයක් නම්? නියමිත කාලයේ මැතිවරණවලට සහභාගී වීම යනු, ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණයක් සඳහා වන අභිලාෂය නියෝජනය වීමක්ම නොවේ නම්? ශ‍්‍රී ලංකාව යනු, පොදුවේ ගත් විට, දණ්ඩමුක්තියේ සහ හිංසනයේ සංස්කෘතියට එරෙහි සමාජයකැයි විශ්වාස කරන, එසේ විශ්වාස කිරීමට තමන්ටම සාධාරණ වූ තර්කවිතර්ක ඇති බොහෝ දෙනෙක්, මා මෙසේ කියන විට මා හා උරණ විය හැක. රටේ විශාල පිරිසක් විසින් අනුදත්, දෙමළ ජනතාවට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ගෙන ගිය හිංසනයේ පැහැදිළි උදාහරණ පැත්තකින් තියමු. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ සිද්ධිය පමණක් ගත්තත්, ගෝත‍්‍රික විනිශ්චයක නියැලීම අරභයා ඇයට අත්විය හැකි ආපදාවක් තිබිය හැකිද? බොහෝ විට, අද ඒ ගැන තිබෙන මාධ්‍ය උනන්දුව කාලයාගේ ඇවෑමෙන් වියැකී යනු ඇත. ඒ වෙනුවට, පිරිත් කඹ අතේ ගැට ගසාගෙන, සුදු වතින් සැරසී, භික්ෂුවක් ඉදිරියේ පන්සලක දණ නමස්කාරයෙන් සිටින ඇයව අනාගතේ දවසක අපට දර්ශනය වනු නියති. ප‍්‍රසිද්ධ උත්සව සහ රැස්වීම්වල ඇගේ රූ වරුණ පුංචි තිරයේ අපට පෙනෙන්ට සලස්වනු ඇත. ජනාධිපති සිරිසේනගේ සහ අගමැති වික‍්‍රමසිංහගේ සමාගමයේ ඇය ගැවසෙන හැඩ අපට දැකගන්ට ලැබෙනු ඇත. යහපාලනයේ වරුණාව ගැන තවදුරටත් කතා කිරීමට රූපවාහිනී සාකච්ඡා මණ්ඩපවලට ඇයව කැඳවනු ඇත. වැඩිම වුණොත් පොලීසිය ඇගෙන් ප‍්‍රශ්න කරාවි. අනතුරුව නිදහස් කරාවි. ඒ අතරේ, අමිල ප‍්‍රියංග අමරසිංහ ඉතිහාසයෙන් මැකී ගොස්, පැහැර ගැනීමට ලක්ව, තර්ජනයට සහ පහර කෑමට ලක්වීමේ නින්දාවෙන් තනියෙන් විඳවනු ඇති. හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර දිගටම පුවත් සිරස්තල සරසාවි. අනාගතයේත් බොහෝ දෙනා ඈට ඡන්දය දේවි.

කෙසේ වෙතත්, මෙවැනි සිද්ධියක් අප දකින පළමු අවස්ථාව මෙය නොවේ. 2013 මාර්තු මාසයේදී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර එදා ඇගේ මදාවි පිරිවර සමග බොරැල්ලේ කින්සි පාරේ ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදුනාය. එම ව්‍යපාරයේ අයිතිකරු වන ධම්මික සිරිවර්ධන, තමාට හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර බැනවැදී තර්ජනය කළ බව මාධ්‍යට කියා සිටියේය. ඇයව අත්අඩංගුවට ගැනුණි. පසුව ඇප මත මුදාහැරුණි. ඊට හරියටම අවුරුද්දකට පසු, 2014 මාර්තු මාසයේ, ඇගේ දේශපාලනික කරණමට පෙර පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව ඇය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා තේරී පත්වුණාය.

මාක්ස් ස්ථිරවම කියා සිටියා සේ, එකම ඉතිහාසය නැවත ඇති වුණොත්, පළමුව ඛේදවාචකයක් ලෙසිනි, දෙවැනුව විගඩමක් ලෙසිනි. දකුණේදී යුක්තිය ඉෂ්ට වන්නේ- වඩාත් නිවැරදිව කිවහොත් ඉෂ්ට නොවන්නේ- මෙසේ නම්, විශේෂයෙන් බහුතරයේ යකඩ සපත්තුව යටතේ සිටින සමාජයකට ඉෂ්ට වන යුක්තිය කවරාකාරද යන්නත්, දීර්ඝ කාලීනව නීතියේ ආධිපත්‍යයක් රටේ ස්ථාපිත විය හැක්කේ කෙසේද යන්නත් අප ඉදිරියේ විශාල ප‍්‍රශ්නාර්ථයක් මතු කරයි. යහපාලනය යනු වැරදි කිරීමෙන් වැළැකී සිටීම නොව, යමෙකු වැරැද්දක් කළ බවට සැක කෙරෙන අවස්ථාවක නීතිය වහා ක‍්‍රියාත්මක වීමයි. එසේ වතුදු, මේ සිද්ධියේදි මෙන්ම, ජනවාරි 8 වැනි දායින් පසු ඇති වූ තවත් ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන්ද, යුක්තියේ දෙවඟන තවමත් සිටින්නේ, ඉස්සර විදිහටම, බාගෙට ඇස් වසාගෙන ය.

හිරුනිකා යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයේ නිෂ්පාදිතයකි. ඇයව අභියෝග කිරීම යනු, ඇයට ඡන්දය පාවිච්චි කළ සහ තවමත් ඇයට අනුග‍්‍රහ දක්වන සියල්ලන්ව අභියෝගයට ලක්කිරීමකි. ශ‍්‍රී ලංකාවේ බලපැවැත්වෙන හිංසනයේ තුච්ඡ භාවය කෙතෙක්ද යත්, බොහෝ දෙනා මේ සිදුවීම දකිනු ඇත්තේ සුළු සිදුවීමක් වශයෙනි. ඉතිං, වෙන දා පරිදිම එයාකාරයෙන්ම දේවල් සිදු වනු ඇත. ඇමරිකාවේ ප‍්‍රත්‍යක්ෂ සුළුතරයේ හඬක් සේ, ටා-නෙහිසි කෝට්ස් කතා කරන්නේ, බොහෝ දෙනාට නොපෙනෙන ව්‍යුහාත්මක හිංසනයක් ගැනයි. එම හිංසනය අතට හසු වූ විට සිදුවන්නේ, දස අතේ දිවුරා සුදනන් වීමට බැලීමයි. අපේම රාජ්‍යයේ හිංසනය අපේ ජාතික මනෝධාතුව තුළ මොන තරම් කිඳාබැස ඇත්ද යත්, හිරුනිකා වැන්නන්ට තමන්ගේ කි‍්‍රයාව යුක්ති සහගත කරමින් බේරී යන්නට පුලූවන.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැන බැලිය හැකි ලිට්මස් පරීක්ෂණය වන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෝ යුද අපරාධ සම්බන්ධයෙන් තත්පර වීමට වඩා, ආණ්ඩුකරණය හරහා දිවෙන හිංසනය ඇති සැටියෙන් හඳුනා ගනිමින් එය තිරසාරව බැහැර කිරීමයි.

සංජන හත්තොටුව | Sanjana Hattotuwa

*2015 දෙසැම්බර් 27 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ The State of The State නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි