Image by:FB/Pres;Maithreepala Sirisena

නීතිපති තනතුර 1884 දී පිහිටුවීමේ පටන් පත්වූ කිසි නීතිපතිවරයෙකු ඉදිරියේ ගොඩ නොගැසුණු තරමේ බලාපොරොත්තු කන්දරාවකට මුහුණදීමට, පසුගිය දා එම තනතුරට නවතමයෙන් පත්වූ නීතිපතිවරයාට සිදුව තිබේ. ඔහු පිට දැන් පැටවී ඇත්තේ, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව යුක්තිය ඉටු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමේ ඉතා දුෂ්කර කාර්ය භාරයයි. ඒ වූ කලී, මිනිස් ප‍්‍රාණියෙකු ඉදිරියේ ඇති බරපතලම අභියෝගය විය හැකිය.

ගිය වසරේ සිදුවූ ආණ්ඩු වෙනසට මත්තෙන් දන ලද පොරොන්දු, බලයට පත්වීමෙන් පසුව ඉටු කර ගැනීමේ ප‍්‍රධාන බාධකයක් වුණේ. ජාතික ආණ්ඩුවට අනුව, නීතිපති දෙපාර්තමේන්තුව තුළ තිබූ යම් හිර වීමකි. ඊට අවශ්‍ය කරන ප‍්‍රමාණවත් සම්පත් නොතිබීම, ස්වාධීනත්වයකින් වැඩ කිරීමට ඊට නොහැකි වීම සහ පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කිරීමට අසමත් වීම ආදිය, යහපාලන ක‍්‍රියාකාරිකයන් සේම දේශපාලඥයන් විසින්ද විටින් විට පෙන්වා දුන් ප‍්‍රධාන කාරණයකි. තමන්ගේ නීතිඥයන් බලගැන්වීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඇති හැකියාව ගැනත්, ‘ඇවන්ගාඞ්’ සහ ‘බොදුබල සේනා’ වැනි දුෂ්කර සහ දේශපාලනීකරණය වූ සිදුවීම් අරභයා දෙපාර්තමේන්තුව ගත් ස්ථාවරයන් ගැනත් එදා ප‍්‍රශ්න මතු විය.

නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් කරයි. එම කෙටුම්පත් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ක‍්‍රියාත්මක කරයි. එසේම, මහජනයාගේ අයිතීන් උල්ලංඝණය වන අවස්ථාවන්හිදී ඔවුන්ගේ අයිතීන් සහ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටීමත් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යයකි. සමහර විට ඊට පැවරෙන ඊටත් වඩාත් වැදගත් කර්තව්‍යයක් වන්නේ, නීති උපදෙස් ලබා ගැනීම සඳහා වන අධික වියදම්හියදම් දැරීමට තරම් ශක්තියක් නැති, එහෙත්, මහා ව්‍යාපාරිකයන් හෝ බලගතු දේශපාලඥයන් අතින් සිය අයිතීන් උල්ලංඝනය වන අවස්ථාවන්හිදී එම අයිතීන් ආරක්ෂා කර ගැනීමට සෑම අයිතියක්ම ඇති, නැති බැරි මිනිසා වෙනුවෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමයි. බොහෝ විට, ඉහත කී කාරණා දෙකම එක සමාන ය.

නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ තනියෙන් නොවේ. එය, සිය පරීක්ෂණ කාර්යයේදී, සාක්ෂි එක්රැස් කර ගැනීමේදී සහ ඒවා අධිකරණයක් ඉදිරියේ ගොනු කිරීමේදී ඊට සහාය වන තවත් දෙපාර්තමේන්තු ගණනාවක් තිබේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි අංශයක් එහිදී ඉතා වැදගත් ය. තවද, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ත‍්‍රස්තවාදය පිළිබඳ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැරුණු කොට, සමස්ත පොලීසිය සහ අධිකරණ පද්ධතියත්, ඊට සහාය වන අවශේෂ අංශයන් ය. ඒ සියල්ල අවසානයේ, විනිසුරුවරයෙකු ඉදිරියේ නඩුවක් පැවරීම සහ එම නඩුව පවත්වාගෙන යාම පැවරෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටයි.

මහ පරිමාණ දූෂණ සහ වංචා මෙන්ම, මිනීමැරුම් සහ අවපාලනය පිළිබඳ සිදුවීම්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම නීතිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙයි. මේ තනතුර පසුගිය කාලයේ පමණට වඩා දේශපාලනයට ගැටගැසී තිබීම සම්බන්ධයෙන් ඇත්තේ කුප‍්‍රකට ඉතිහාසයකි. විවිධ ආණ්ඩු තම තමන්ගේ අභිලාෂයන් මත පිහිටා මේ තනතුර සඳහා පුද්ගලයන් පත්කර ගැනීම මගින්ම පෙන්නුම් කරන්නේ එම ධුරයේ සීමාවයි. යුක්තිය ඉටු කර ගැනීම සඳහා වන ජනතාවගේ නොඉවසිලිමත් අපේක්ෂාවන් එක පැත්තකිනුත්, තමන්ගේ න්‍යාය පත‍්‍රයන් ඉදිරියට ගෙන යාමට උනන්දුවක් දක්වන ආණ්ඩුවක් තවත් පැත්තකිනුත් තිබියදී, නීතිපතිපතිවරයා ඒ අතරේ සිර විය හැකිය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ පවතින ඉතා පැටලිලිකාරී සහ සංකීර්ණ නීති පරිපාටි ක‍්‍රියාවලිය නිසා ඒ තත්වය තවත් දුෂ්කර වන්නේය.

නීතිපතිවරයාට රූකඩයක් වීමටවත්, කොල්ලකරුවෙකු වීමටවත් පුලූවන් කමක් නැත. එහෙත් දෙන ලද යම් නිශ්චිත මොහොතකදී, ජනතාවගේ හෝ දේශපාලඥයාගේ අදහස් උදහස් ඉදිරියේ ඔහු එයින් එක් අයෙකු සේ පෙනී යා හැක. පරමාදර්ශී ලෝකයක නම් එම අදහස් උදහස් තීරණාත්මක විය නොහැක. එහෙත් බොහෝ විට ආණ්ඩු කටයුතු කරන්නේ, තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා පවතින ආයතනික පද්ධතියේ දුර්වලතා ප‍්‍රයෝජයනට ගැනීමයි. වෛරී භාෂණයට අදාළ නීතිරීති, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ දරදඬු අණපනත්, කාන්තා අයිතීන් පිළිබඳ යල්පැනගිය ආකල්ප ආදිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට පැවරෙන නෛතික බලතල පාවිච්චි කිරීමේදී, තවත් බරපතල ප‍්‍රතිවිපාකවලට තුඩුදීමටත් ඉඩ තිබේ.

කෙසේ වෙතත්, රටට අවශ්‍ය කරන සාමය සහ සමානාත්මතාව කරා යන ගමනේදී නව නීති ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට පැවරෙන්නේ විශාල කාර්යභාරයකි. ඒ ගමනේදී නීතිපතිවරයා පරමාදර්ශයක් විය යුත්තේය.

*2016 පෙබරවාරි 13 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Herculean Task නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි