වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් තෝරාගෙන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කරගත් වාහන මිලදී ගැනීම සඳහා වෙන් කරගත් රුපියල් කෝටී 118 ක පරිපූරක ඇස්තමේන්තුව සහ එවැනි මුදලක් වෙන් කිරීමේ හේතු පැහැදිළි කිරීම සඳහා ආණ්ඩුව 2වනදා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ අදහස් සැලකීමේදී පෙනී යන්නේ, වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ ආණ්ඩුව කිසිඳු පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැතිව කටයුතු කරන ආකාරයයි. තැන දුටු තැන වල ඉහ ගැනීම නමැති සම්ප්‍රදායේ දිගුවක් මිස, රටේ ආලපාලු වී ඇති ආර්ථිකය හෝ රට හමුවේ ඇති සැබෑ අර්බුදය විසඳීම සඳහා කිසිඳු පැහැදිළි ප්‍රතිපත්යක් නොමැති ආකාරයය යලි යළිත් පෙන්වමින් තිබේ. අදාළ වාහන දොළදුකින් පෙළන අයවලුන්ගේ ලැයිස්තුවට අනුව, මෑතකදී ජනමාධ්‍යවෙදියෙකුගේ ඔලුව පැලීමට අණ ලබාදුන් දායා ලන්සා නමැත්තාගේ නම ද තිබේ. ඔහු තම ආවතේවකරුවන් දෙදෙනෙකු යොදා, අදාළ මාධ්‍යවේදියාගේ ඔලුවට තඩිබෑමේ ත්‍යාගය, ඔහුට කෝටී ගණනක මහජන මුදල් ප්‍රමාණයක් අනුභව කිරීමට ඉඩ දීමය. එසේම, මොවුන්ගෙන් කිසිවෙකු හෝ මගී බසයක හෝ දුම්රියක නැග තම කාර්යාලයට පැමිණ මහජන සේවයේ යෙදෙන්නෙක් නොවේ. මොවුන් සියල්ලම, ආර්ථිකමය අපහසුතා නැත.

මෙම ඛේදවාචකය මඟින් ඉදිරිපත් කරන සැබෑ සත්‍යය කුමක්ද? මෙම එකඳු අලුගුත්තේරු දේශපාලනඥයෙකුටවත් මේ රටේ මිනිසුන් ගැන කිසිඳු හැඟීමක් නැති බවයි. අපි පාරේ කෑ ගැසුවෙමු! අයිතීන් තහවුරු කරන්න යැයි ඉල්ලුවෙමු! වැරදි දෑ නොකරන්න යැයි බල කළෙමු! ඒ සියල්ල අභිබවා හොර කල්ලියක් රටේ ජනතාව වෙනුවෙන් සහ ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට හොඳින් හෝ නරකින් බලය ලබා ගනී. ව්‍යාකූල “ප්‍රජාතන්ත්‍රවාදය” ඉතුරු කරන හපය මෙයයි. වෙනත් වචන වලින් කිවහොත්, නිදහසින් පසු ක්‍රමයෙන් ව්‍යාකූල වී ගිය සමාජ ක්‍රමය තුළ අපට ලැබුණු බිබික්කම එයයි. මැතිවරණයක් පැමිණි පසු මේ හොරු රැළටම යළිත් කුමන හෝ පැත්තකට යෑම සඳහා බලය දෙන්නෙමු! ඔවුහු පාර්ලිමේන්තුව නම් වූ සතර මහා නිධානය වෙත ගොස් තම පල්ලම තරකර ගෙන, පුහු වදන් ලෝකය හමුවේ තබමින්, මිලියන 22 කට ආසන්න ජනතාවගේ ජීවිත ඇපයට තබා හැකි සියලුම දේ කරති.

තමන්ට හොරා කෑමට අවශ්‍ය පසුබිම තනා ගැනීම සඳහා, සහ එම හොරා කෑම සාධාරණීකරණය කිරීම සඳහා ධූරවලීයක් තනා ගනී. මෙම සමාජ ඝාතක දූෂිත ධූරාවලීය කඩා බිඳ දැමීමට හැකි කොන්දක් ඇති නායකයෙක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත් කරනු ලැබීය. ඉන් පසු එම තේරීම තව දුරටත් විචිත්‍ර කිරීම සඳහා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට ගෙන ආවෙමු. ඔවුහු දෙදෙනා බැඳී ඇත්තේ ඔවුන් දෙදෙනාට නොව රටේ අවශ්‍යතාවයටය. පෙර ආණ්ඩුව කළ වැරදි පරික්ෂා කිරීම සඳහා රාජ්‍යය මුදල් භාවිතා කරමින් ප්‍රධාන ආයතන දෙකක් පිහිටුවා ප්‍රසිද්ධ වූ හොරුන් සියල්ලම සහ ඊට හවුල් වූයේ යැයි කියන බොහෝ දෙනෙකු ඒවාට ගෙන්වා පරීක්ෂණ පවත්වනු ලැබූ බව සත්‍යයකි. නමුත්, කුමන හෝ හේතුවක් නිසා අදාළ ලිපි ගොනු සියල්ලම, නීතීපති දෙපාර්තමේන්තුව නමැති දේශපාලන පිළිකාවෙන් හෙම්බත් වූ රාජ්‍යය ආයතනය තුළ සිර වී තිබේ. ඒ අතර තුර, දුෂණ සහ වංචා පරික්ෂා කිරීම සඳහා පිහිටුවනු ලැබූ ආයතන මූල්‍ය අපහසුතා හේතුවෙන් වසා දැමීමට සිදු වී ඇති බව කියවෙයි. මොවුහු රැවටීමට හදන්නේ කවුරුන්ද?

ඊට ප්‍රතිකර්ම නොදා, රටේ ජනතාවට “සේවය” කිරීමට කඳුවල ගමන් කළ හැකි ෆෝ වීල් වාහන වල අවශ්‍යතාවය ගැන ආණ්ඩුව තම හේතු පැහැදලි කිරීම මේ රටේ ජනතාවට දැනෙන්නේ, ප්‍රතිකාර නොකළ පණුවන් ගසා දුඟද හමන තුවාලයකින් පිටකරන ගඳක් සේය.

මොවුන්ට ජනතාවට සේවය කිරීමට අවශ්‍යනම් කළ යුතු එකම කාර්යය වූ කලී, කිසිවක් නොකර නිවසට වී රිප් වෑන් වින්කල් සේ නිදා සිටීමය. මොවුහු අවදි වී සිටින පැය ගණන වැඩි වන තරමට, රටේ සමාජ ක්‍රමය ව්‍යාකූල වන අතර රටේ මහජනතාවට ඉන් දහ දුක් විඳීමට සිදුවන ප්‍රමාණය තවත් වැඩිවේ. මේ නිසා මොවුන්ට රටේ ජනතාවට සේවය කිරීමට අවශ්‍යයනම්, “සෞඛ්‍ය ඇමති වරයා” රටේ ජනතාවගේ බදු මුදල් වලින් තවත් කෝටියක් හෝ පමණ ගෙන ඉන් අඩක් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට භාවිතා කොට, තමන්ගේ පුත්‍ර රත්නයට හැකි පමණ අනුන්ට එරෙහිව පරිභව කිරීම සඳහා තවත් මුදලක් දී, ලෝකයේ තිබෙන හොඳම පන්නයේ නිදිපෙති මෙරටට ගෙන්වා සියල්ලටම පානය කිරීමට දීමයි. හැකිනම් ඔහුත් පානය කිරීමයි. පානය කොට රිප් වැන් වින්කල් සේ නිදා ගෙන, වසර කිහිපයකට පසු අවදිවීමයි. මොවුහු බුදුන් නොදැකම නිවන් දකිනු ඇත. එවිට මේ ලංකාව රටේ මිනිසුන්ට අවශ්‍යය ආකාරයෙන් වෙනස් වී තිබෙනු ඇත. එවිට ඔවුන්ටද ගමන් කළ හැකි පොදු ප්‍රවාහන සේවයක් සකස් වී තිබෙනු ඇත. සෑම දෙනෙකුටම ජීවත් වීමට අවශ්‍ය නිදහසක් සහ යහපත් පරිසරයක් නිර්මාණය වී තිබෙනු ඇත. රාජ්‍යය සම්පත් මංකොල්ල කෑම දුර්ලභ වඳවෙමින් සිටින සතෙකුගේ ක්‍රියාවක් වී තිබෙනු ඇත. ස්ත්‍රීයකට දවසේ ඕනෑම වෙලාවක කිසිඳු බාධාවකින් තොරව තම කටයුතු කරගැනීමට හැකිවනු ඇත. පාසල්වල පවතින හොරාකෑම ක්‍රමයෙන් පහවී ගොස් තිබෙනු ඇත. අලි හොරුන්, ස්ත්‍රී දුෂකයින්, දේශපාලන ආවතේවකරුවන් විනිසුරුවන් වීම වෙනුවට රාජ්‍යයට වගකියන ස්වාධීන අධිකරණ ක්‍රමයක් නිර්මාණය වී තිබෙනු ඇත. සෑම දෙනෙකුටම සතුටෙන් ජීවත් වීමට හැකි වටපිටාවක් සකස්වනු ඇත. එසේ නොවන්නට, මෙම යහපාලන සිහින මෙම සුළු පිරසකගේ අල්ලේ නැටවී ඓතිහාසික විහිළුවක් බවට පත් වනු නොඅනුමානය.

හේතු සපයන ආණ්ඩුවේ ප්‍රකාශකයින් කණ්ඩායම කියා සිටින්නේ, ගිය ආණ්ඩුව හොරෙන් කළ දේවල් මේ ආණ්ඩුව එළිපිට කියලා කරනවා, ඉතින් ඒ නිසා ප්‍රශ්න ඇසීමට හෝ හැකිය යන්නයි. හොරා කෑම, ප්‍රසිද්ධියේ කියමින් කිරීම සහ නොකියා කිරීම අතර වෙනසක් තිබේද? එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බැනවදිමින්, ඔහුගේ දෙපතුල අභියස වැටී සිටි ප්‍රධාන හොරුන් සියල්ල සමග දේශපාලන ගනුදෙනු වලට ගමන් ගෙන, රාජපක්ෂට එරෙහි නිවට නියාලු මතවාදයක් තනමින් තිබේ. එසේම, රාජපක්ෂ වටා සිටි ඇතැමුන් “අනාගතේ” දවසක පැවැත්වීමට නියමිත “නඩු විභාගයකදී” රජයේ සාක්‍ෂි කරුවන් බවට පත් වීමට පොරොන්දු වී සිටින බවක් ඇතැම් මාධ්‍යය මගින් හෙළිදරව් කොට තිබුණි. මෙය විහිළුවකි. රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම ආණ්ඩුවට සැබෑ වුවමනාවක් තිබේනම්, පළමුව කළ යුත්තේ ඔහුට ඒ සඳහා අනුග්‍රහය ලබා දෙමින් ඔහුගෙන් හැකි පමණ හම්බකරගත් අයවලුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමය. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා, රාජ්‍යය ආයතන ශක්තිමත් කිරීමය. එම ආයතන විනිවිදභාවයෙන් යුතු විගණනයකට නතු කිරීමට හැකි ස්වාධීන කණඩායම් පත් කිරීමය.

එම මූලික ධර්මතාවය අමතක කරමින්, රටේ ජනතාව අතර යළිත් අභාග්‍යය සම්පන්න මනෝභාවයක් ඇති කිරීම මඟින් සිදුවන්නේ, යලිත් දේශපාලන කලබගෑනියකට රට තල්ලු කිරීමය. එවැනි දෑ සිදු නොවන විට, රටේ සිදුවන හදිසි අනතුරක් පවා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස දැනීමට පටන් ගනී. එසේම රටේ අසහනය වර්ධනය වේ. එල්. ටී. ටී. ඊ. මතවාදය නැති කිරීමට මාන බලන මෛත්‍රීට මේ ගැන මනා අවබෝධයක් ඇතැයි සිතමු. දකුණේ මෙන්ම උතුරේ කොල්ලන් සහ කෙල්ලන් ආයුධ අතට ගෙන තම ජීවිත, රටේ සම්පත් කොල්ලකා රට අසමතුලිතතාවයේ තෝතැන්නක් බවට පත්කළ දේශපාලනඥයින්ට එරෙහිව කැප කරනු ලැබුවේ මෙවැනි දෑ දරා ගැනීමට නොහැකි තැනය. එවැනි ව්‍යාපාර පසුකාලීනව විනාශ මුඛයට ඇදදමන සිදුවීම් ඒවායේ අභ්‍යන්තරයෙන්ම මතු වූ බව සත්‍යයකි. එහෙත් මුල් බීජ පැල කිරීමට හැකි වූයේ, කෝටි 118 හොරුන් ප්‍රසිද්ධියේ ජනතා සේවය කරන ආකාරය රටේ ජනතාවට පැහැදිළි කර තම හොරකම් සහ තැන දුටු තැන වල ඉහ ගැනීම සාධාරනීකරණය කරන නිර්ලජ්ජිත ආකාරය ජනතාවට දැනීමට පටන් ගැනීමෙනි.

නිර්ලජ්ජිත හූරා කන්නගේ ගොදුරක් වෙමින් පවතින යහපාලනය ශේෂ කිරීමට යන්නේ තවත් එක් අභාග්‍යය සම්පන්න දේශපාලන භාවිතාවක්ද යන සැකය මතු වෙමින් තිබේ. රටක් හෝ සංවිධානයක් පාලනය කළ කිසිඳු නායකයෙකු හෝ ප්‍රධානියෙක් අසමත් නායකයෙකු හෝ ප්‍රධානියෙකු ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමට කැමති නැත. නමුත් ඔහු හෝ ඇය අසමතුන් බවට පත් කරනු ලබන්නේ එක්කෝ ස්වයං-මුලාව විසිනි, නැතහොත් අනෙකාගේ මුලාවට හසුවීමෙනි. එසේත් නැතිනම් මේ දෙකේම බලපෑමෙනි. ක්‍රියාවක් නැති දැක්ම දවල් හීනයකි; දැක්මක් නැති ක්‍රියාව ඛේදවාචකයකි!

nilantha-profile
නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa