Image Credit: uk.reuters.com

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන කළ හැකිය. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාම කලාතුරකින් අනෙකාට දැනීමට ඉඩහරින තම අමනාපය සංවේදී ලෙස වචනවලට පෙරලා ඇත. කලාතුරකින් සිදුවන දෑ මඟින් පුද්ගල යථාරූපය නිරීක්ෂණය කිරීමට සවන්දෙන්නාට හෝ බලා සිටින්නාට හැකි වේ. එසේම, තම වචනවලින් අනෙකා බියගැන්වීමට හැකි යැයි සිතීම කතාකරුවාගේ මූලීක අභිප්‍රාය වූවා විය හැකිය. ඒ කෙසේ වෙතත්, වැරදි වේලාවක ලබා දුන් නොගැලපෙන අදහසක් (තර්ජනයක්) ලෙස එය හඳුනා ගත හැකිය.

එය හරි හෝ වැරදි යැයි කීම මෙහිදී වැදගත් නැති නමුත් එමඟින් මෛත්‍රී සිටින දේශපාලන ආස්ථානය තේරුම් ගැනීමට අවස්ථාවක් ලබාදී තිබේ. මෙය, මීට කලකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේ, මහින්ද රාජපක්ෂ මහතාට යවනු ලැබූ “පෙම් හසුනෙන්” පසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස සඳහන් කරනු ලැබූ වැදගත් අදහස් නොවැදගත් ආකාරයෙන් දැක්වීමකි. ඔහු අදාළ ලිපියෙන් බොහෝ දෑ තේරුම් කරදීමට උත්සහ කරනු ලැබීය.

නමුත්, කරනු තේරුම් ගැනීම වෙනුවට තම අභිමතයට ඉඩ දී කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබීය. දේශපාලනයේ තාලය එයයි. මෙවැනිම හිස් උත්සහයක් විදේශ කටයුතු අමාත්‍ය මංගල පින්සිරි සමවීර මහතා විසින්ද ගනු ලැබීය. අදාළ සිදුවීම් මධ්‍යයේ හිඩැස් පිරවීම සඳහා වැදගත් වුවද, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඉවහල් වේ යැයි අනුමාන කළ නොහැකිය.

මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ වේවා මංගල සමරවීර මහතා හෝ වේවා කුමන කාරණයක් පැහැදිලි කළද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබන්නේ තම සිතැඟියාවට අවශ්‍ය ආකාරයටය. හොරට නිදාගෙන සිටින කෙනෙකු අවදි කොරීමට නොහැකිවා සේම තේරුම්ගත යුතු මූලික කාරණය වන්නේ, රාජපක්ෂ මහතාට තේරුම් කරදීමට කිසිඳු අලුත් දේශපාලනික කාරණයක් නොමැති බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව, මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඔහු දන්නා රහස් රාශියක් තිබේ. වෙනත් පක්ෂයක් නිර්මාණය කළහොත් එම සියල්ලම එළියට දමන බව ඔහු කියන අතර සෑම දාම මහපාරේ ඇවිද්දවන බව කියන්නේය. බැලූ බැල්මට ප්‍රසන්න බවක් අදාළ වාග්මලාවන් වල නොමැති අතර එය ඔහු විසින් ඔහුගේ දේශපාලනයට සිදුකරනු ලැබූ බලවත් පහරදීමක් ලෙසද පෙනේ. මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට ඇඳීමට උත්සහ දැරීමක් ලෙස මෙය දක්නට ලැබීම සැබවින්ම කණගාටුදායක කාරණයකි.

අදාල කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් මේ වන විටත් ඉදිරිපත් වී ඇති අතර, “කඩාගෙන ගියේ නැතිනම් සෑමදාම රහස් රකින්නේද?” වැනි අදහස් ඉදිරිපත් වී තිබේ. නමුත්, මෙය හුදු පක්ෂ දේශපාලනයට වඩා සංකීරණ කාරණයක් ලෙස දක්නට ලැබේ.

මෙවැනි අදහස් වලින් වාසිය අත්වන්නේ රාජපක්ෂ මහතාට සහ ඔහු වටා සිටින කණ්ඩායමට මිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන කුලකයට නොවේ. එසේම මෙවැනි බොහෝ දෑ වලින් තව තවත් පසුබිම සකස් කරනු ලබන්නේ, “ජනවාරී දේදුනු විප්ලවය” විප්ලවයක් හෝ දේදුන්නක් නොවන බව තේරුම් ගැනීමටය. එය යම් කිසි ආකාරයක ශ්‍රී ලංකික දේශපාලනය තුළ සිදු වූ වැදගත් පියවරකි. නමුත් විපලවයක් ලෙස හැඳින්වීමට තරම් කිසිවෙකු බොළඳ විය යුතු නොවේය, යන්න වතමන් ආණ්ඩුවේ බොහොමයක් ක්‍රියාකාරකම් විසින් පැහැදිලිකරනු ලබයි.

පරිපාලන මූලධර්ම අභිමුඛව රටේ ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මහජනතාව ඉදිරියේ ඉදිරිපත් කරනු ලැබූ අදහස් වලින් ලබා දෙන අර්ථකතනය වන්නේ, රටේ පරිපාලන ක්‍රමයේ ඇති අතිශය බිහිසුණු සහ දුර්වල ක්‍රමවේදය වේ.

ඕනෑම දේශපාලන පක්ෂයක රහස් තිබේ. නමුත් එවැනි දෑ තම පරිපාලන දුර්වලතාවයන් වසා ගැනීම සඳහා භාවිතා කළ නොහැකිය. තමන් අසමත් වේයැයි බිය නිසා හෝ අසමත් වන විට අනෙකාට චෝදනා කිරීමෙන් කිසිඳු ඵලක් නොමැත.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන ජනාධිපතිවරයාට කුකුසක් තිබේනම්, එය විසඳා ගත යුතුව ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයේ මිස, එය වීදියට ගෙන ඒමෙන් නොවේ. එය මතුපිටට රැගෙන එන තරමට පක්ෂයේ ව්‍යුහය දුර්වල වන අතර සතුරාට පහරදීම සඳහා වඩාත් පහසු වටපිටාවක් නිර්මාණය කරනු ලබයි. රාජපක්ෂ මහතාට සහ ඔහු සමග සිටින කණඩායමට අවශ්‍යය වන්නේද එයයි.

මහින්ද රාජපක්ෂ මතාගේ ක්‍රියාකලාපයන් තමන්ගේ පරිපාලනයට අනවශ්‍ය ලෙස මැදිහත්වීමක් සිදුකොට දුර්වල කොට ඇත්තේ නම්, ඊට පිළියම් කළ යුත්තේ තර්ජනය කිරීමෙන් නොවේ. එය කළ හැක්කේ යහපාලන මුලධර්ම මත පිහිටා කටයුතු කිරීමෙනි. එහිදී යම් ශක්තිමත් පියවර ගැනීමට සිදුවන අතර “කාගේත් සුන්දරී භූමිකාව” මත පිහිටා කටයුතු කළ නොහැකිය. විශේෂයෙන්, රාජ්‍යය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පරිපාලනය තුළ සිටි අයවලුන් සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාමාර්ග තම පරිපාලනයේ ශක්තිය කිරාබලන සිදුවීම් වේ.

අනෙක් පසින්, මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් නිර්මාණය කිරීම යනු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල වාසියක් අත්වීමකි. එම වාසිය ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනය හා සමාන නොවුනද එමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන අරටුව පවිත්‍ර කිරීම සඳහා විශාල පිටුවහලක් ලැබේ. එසේම, රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂය පිහිටුවීම සඳහා ඇති පරිසරය ජාතික හෙළ උරුමය පිහිටුවීමට පසුබිම් වූ දේශපාලන පසුබිම තරම්වත් ශක්තිමත් එකක් නොවන හෙයින් ඊට විශාල බලපෑමක් කළ හැකි යැයි සිතීම මුලාවකි. ඒ නිසා එවැනි පක්ෂයක් හෝ පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කිරීම වැදගත් වේ.

ජනාධිපතිවරයා අනවශ්‍යය කැපකිරීමක් සිදුකොට රාජපක්ෂ මහතාගේ “රහස්” එළියට දමන බවට කරන තර්ජනය මගින් ඔහුගේ දේශපාලනයට කිසිඳු යහපතක් නොලැබේ. එවැනි දෑ ඇසෙන සෑම විටම රටේ දේශපාලන කලාව ඇඳෙන රටාව ගැන සාමන්‍යය දැනුමක් හෝ ඇති අයෙකුට ඇසිය හැකි මූලික හාස්‍යය ජනක ප්‍රකාශනය වන්නේ, “මොනවද ඒ රහස් මගේ දෙයියෝ”, යන්න පමණි. ඒ හැරෙන්නට කිසිඳු රසයක් හෝ සුගතියක් මෙවැනි කතා තුළ නැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වැදගත් වන්නේ සහ රටේ ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ, මෛත්‍රි, මෛත්‍රි ලෙස සිටිමින් රටේ කුණු වී ගිය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට දායක වීම මිස, තවත් රාජපක්ෂ කෙනෙකුගේ භූමිකාව රඟපෑම නොවේ. ඉතිහාසයෙන් ඉගෙනගත් බව ඔප්පු කළ යුතු මූලික භාවිතය චිත්‍රණය වන්නේ ඒ ඔස්සේය.

ලාඕස් වැසියන්ගේ පැරණි කියමනක් මෙහිදී සඳහන් කිරීම වැදගත් වේ. “අනුභව නොකරන කෑම පිළිණු වේ. නොකී කතා අමතක වේ.” දේශපාලනික වශයෙන් වැදගත් රහසක්, එනම් රටේ ජනතාව දැනගත යුතු රහසක් (උපරිමය හොරා කෑම හෝ නිරායුධ මිනිසුන් මරාදැමීම) තිබේ නම් වැදගත් වන්නේ, එවැනි දෑ නියමිත කාලයේදී හෙළිදරව් කිරීම මිස, පිළිණු වූ පසු තම දේශපාලන අස්ථාවරබාවයට මුක්කු ගැසීම සඳහා එවැනි කාරණා යොදා ගැනීම නොවේ.

nilantha-profile
නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa