සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය වර්තමානයේ සාමාන්‍ය දෙයක් ලෙස නිතරම සැලකෙනවා. ලිංගික හිංසනයන්ට මුහුණදෙන පුද්ගලයන්ගේ පැමිණිලි පිළිබදව ප්‍රමාණවත් අවධානයක් ලබා දී ඒවාට වැදගත්කමක් දෙන සාධාරණ යාන්ත්‍රණයක් නොතිබීම මගින් පෙනෙන්නේ සේවා ස්ථානයේ ලිංගික හිංසන පිළිබදව ඇති සාමාන්‍යකරණයයි.

ABC කම්පැනි ආයතනයේ නිර්මාණකරණ ප්‍රධානී, මිහිරි ද සිල්වා, හට මුහුණ දීමට සිදුවුයේ මෙවන් සිදුවීමකටයි. ඇය ශ්‍රී ලංකාවේ නම්දැරූ ව්‍යාපාරික ආයතනයකදී ලිංගික හිංසනයට ලක්වූ අතර ඇය තම අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ කාන්තාවක් ලෙස පමණක් නොව අයිතීන්ට හිමිකම් කියන මනුෂ්‍යයෙකු වශයෙනි. එහිදී ඇයව නොසලකා හැරුණු අතට ඇයට සිදු වුයේ තම රැකියාව අත හැර ගොස් නැවත මුල සිට පටන් ගැනීමටයි.

මෙම සාකච්චාවේ අරමුණ වන්නේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම වැදගත් වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීම සහ ලිංගික හිංසනයට මුහුණ දුන් අය ඇතුළු සියළු කාන්තාවන්ට බලාපොරොත්තුවක් ලබා දීමත් ය.

1. ඔබගෙන් කළ ඉල්ලීමට ඔබේ පළමු ප්‍රතිචාරය වුයේ කුමක්ද?

ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටි නිසා මම පළමු අවස්ථාවේ ඔහු කළ ඉල්ලීම බීමතින් කළ ප්‍රකාශයක් පමණක් යැයි සිතා නොසලකා හැරියා. නමුත් අප මිතුරන් වුයේ ඔහු මේ සමාගමේ වැඩ කිරීම ආරම්භ කිරීමටත් කලින් නිසා මම පුදුමයට පත්වුණා. මේ සිදුවීමට පෙර කිසි විටක ඔහු මේ ආකාරයේ නැඹුරුවක් පෙන්වා තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ මට සිතුනේ මම ඔහු කල දේ නොසලකා සිටියොත්, ඔහුත් කිසි කලක ඔහු බීමතින් එවැනි දෙයක් කියූ බව හෝ කළ බව දැන ගන්නේ නැති වේවි කියායි.

2. මෙය වැළක්වීමට ඔබ ගත් පියවර මොනවාද? ඒවා සාර්ථක වූවාද?

ඔහු මගේ වෘත්තීය සගයෙක් වීමට පෙර සිටම මගේ මිතුරෙකු වූ නිසා මම උත්සාහ කළා ඔහු සමග වෘත්තීය සම්බන්ධයක් මිස වෙනත් කිසිම ආකාරයේ සම්බන්ධයකට මගේ කැමැත්තක් නැති බව ඔහුට ඒත්තු ගන්වන්නට. නමුත් එය එසේ විය යුතු නැති බව සහ එය බොහෝ දෙනා කරන දෙයක් බව ඔහු කියා සිටියා. ඔහු දරුවන් දෙදෙනෙකු සිටින විවාහක පුද්ගලයෙක් බව මා ඔහුට මතක් කර දුන් විට ඔහු කිව්වේ ඔහුට සැමවිටම එයින් “බේරෙන්නට” පුළුවන් බවයි. මට කැමති බවත් මා සමග ඉඳීමට කැමති බවත් ඔහු දිගින් දිගටම කියා සිටියා. නමුත් මම ඔහුට කිව්වා එය කිසිම දිනක සිදු නොවන දෙයක් බව. මම ඉතා පැහැදිලිව ඔහුට එය කිව්වා. (නමුත් ඔහු මම කියූ දේ ඇසුවායයි මම හිතන්නේ නෑ.)

මගේ ප්‍රධානියා ඔහු සමග වැඩ කිරීම ඉතාම අපහසු කරන බවත් අසාධාරණ ලෙස කටයුතු කරන බවත්, පළමුවෙන්ම මම සමාගමේ මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂකවරයාට කියා සිටියා. මගේ පැමිණිල්ල හමුවේ පුදුමයට පත්වූ අධ්‍යක්ෂකවරයා, ඔහු අවශ්‍යය දේ කරන තෙක් මෙය කාටවත් නොකියන ලෙසටත්, ඔහු එය විසඳන බවටත් මට කියා සිටියා. පසුව ඔහු මගේ ප්‍රධානියා සමග කතා කළා. අනෙකුත් අධ්‍යක්ෂකවරයන් මේ ගැන දැනගත හොත් ඔවුන් අනවශ්‍ය ලෙස කතා කර මගේ ප්‍රධානියාව අපහසුතාවයට පත් කිරීමට ඉඩ ඇති නිසා ඇතැම් අධ්‍යක්ෂකවරයන් සමග මේ ගැන කතා කිරීමෙන් වළකින්න කියා තවදුරටත් මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂකවරයා මට කියා සිටියා.

කෙසේ හෝ, අපගේ සංවාදයෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නැහැ. ඔහු මගේ පැමිණිල්ලට කිසිම වැදගත් කමක් දුන්නාදැයි මට සැකයි. දැන් මට සිතෙනවා ඒ මට්ටමේ නිලධාරීන් එකිනෙකාව යහළුවන් ලෙස සලකන බව.

මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂකවරයා කිසිම පියවරක් නොගත් නිසා මම මේ ගැන කළමණාකාර අධ්‍යක්ෂවරයා සමග කතා කළා. පුදුමයට පත්වූ ඔහු මේ ගැන හදිසියේ තීරණයක් නොගන්න යැයි ද, ඔහු විදෙස්ගත වී නැවත පැමිණි සැණින් මේ පිළිබඳව කටයුතු කරන බවද කියා සිටියා. ඊළඟ දිනයේ විදෙස්ගත වුණ ඔහු නැවත පැමිණි පසු මේ ගැන කිසිම පියවරක් ගත්තේ නැහැ.

අවසානයේදී සමාගමේ සහාපතිතුමා ට මේ ගැන ලිඛිතව දැනුම් දී මගේ දෙමවුපියන් මෙන්ම නීතිඥ වෘත්තියේ යෙදෙන මගේ මිතුරන් ගේ ද උපදෙස් මත මම රැකියාවෙන් ඉල්ලා අස් වූවා. ඒ එවන් විශාල සමාගමකට එරෙහිව චෝදනාවක් කිරීමට මා වැනි තනි පුද්ගලයෙකු ට ශක්තියක් නැතැයි හැඟුණු නිසා. ඔවුන් මා වෙත ඉදිරිපත් කළ, මා ඉතා ආදරය කළ රැකියාව මා අතහැර යන්නේ ඇයිදැයි මම විස්තරාත්මකව ලියා සිටියා. මගේ වෘත්තීය ගමන මේ ආකාරයෙන් නිමා කිරීමට මා කිසිවිටෙක බලාපොරොත්තු නොවූ බවත් එය මීට පෙර කිසිකලෙක මා නොකළ දෙයක් බවත් මම පැහැදිලි කළා.

සහාපති තුමා ට යැවූ අවසන් ලිපියේ මා මෙසේ සඳහන් කළා:

“මෙම සමාගම සමග මගේ රැකියා ගිවිසුම ආරම්භයේදී __ දින සිට __ දින දක්වා පැවතීමට නියමිත වූ බව පිළිබඳව ඔබ දැනුවත්ව ඇත. කෙසේ වෙතත් මගේ ප්‍රධාන විධායක නිලධාරී තුමා වන __ මහතා විසින් නුසුදුසු සහ වැඩ කිරීමට අපහසු වෘත්තිමය වටපිටාවක් සකස් කර ඇති බැවින් නිසි කාලයට පෙර රැකියාව හැර යාමට මට සිදුවී ඇත. මම මගේ රැකියාවට සෑම විටම ආදරය කළෙමි. වෘත්තියට ඇති ලැදියාව මගේ වෘත්තිමය දිවියේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. මගේ විධායක නිලධාරී තුමාගේ නුසුදුසු බලපෑම් වලට කාන්තාවක්ලෙස යටත් වීමට මා ප්‍රතික්ෂේප කළ නිසා __ මහතා යටතේ රැකියාව කරගෙන යාම මට තව දුරටත් සතුටක් නොවන බව මම කණගාටුවෙන් දැනුම් දෙන්නෙමි. සියලු අප්‍රසන්න විස්තරයන් ඔබගේ අවධානයට ගෙන ඒම නුසුදුසු බවත්, ශාරීරිකව, වාචිකව සහ සේවා ස්ථානයේදී SMS මගින් ඔහු මට බලපෑම් කළ බව පමණක් පැවසීම සැහෙන බව මම සිතමි.

මෙම සිදුවීම මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂකවරයාගේ මෙන්ම කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කළ නමුත් ඉන් ප්‍රථිපලයක් නොලැබුන නිසා මේ පිළිබඳව සාකච්චා කිරීමට ඔබ හමුවීමට මා දැරූ උත්සාහයන් අසාර්ථක වීම මගේ විශ්වාසය පළුදු වීමට හේතු වීය. මට හැඟී ගියේ උසස් ස්ථාන වල සිටින නිලධාරීන් කරන කිසිම දෙයක් වරදක් නොවන බවයි. අවසානයේ මට සිදු වුයේ මෙම ගැටලුව තනිවම විසඳීමටයි.

ප්‍රතිඵලයක් ලෙස මට සිදුවී ඇත්තේ මා ආදරය කළ සමාගමක් සහ රැකියාවක් හැර යාමටයි.”

3. ඔබ අවසානයේ රැකියාව හැර දමා යාමට තීරණය කළේ ඇයි? ඔබට අනාගතය ගැන වෙනත් සැළැස්මක් තිබුණාද?

මගේ ප්‍රධානියා මට කිව්වා ඔහු යෝජනා කළ ලෙස මම ඔහු සමග සම්බන්ධයක් පැවැත්වූවේ නැත්නම් ඔහු මගේ රැකියාව කිරීම අපහසු කර මට රැකියාව අතහැර යාමට සලස්වා ඉන් පසුව මා පොළඹවා ගන්නා බව. ඉක්මනින්ම මට තේරුණා ඔහු කියූ ලෙසම කටයුතු කරන බව. ඉහල මට්ටමේ සාකච්චා සඳහා මා යාම වැළක්වීමටත් පෙරදී මා මැදිහත් වී ගත් ඒවා වැනි තීරණ ගැනීමේදී මා බැහැර කිරීමටත් ඔහු ආරම්භ කළා. ඔහු කිසිම රාජකාරී සම්බන්ධ සිදුවීමකට මා සම්බන්ධ කර ගත්තේ නැහැ. මෙවන් සැලකීමකට මුහුණ දීමට තරම් එම රැකියාව නොවටින්නේ යැයි සිතුන නිසා මම රැකියාවෙන් ඉවත් වුණා.

මට ඒ වන විට වෙනත් රැකියාවක් පිළිබඳ කිසිම සැලැස්මක් තිබුනේ නැහැ. නමුත් සතියේ දින 5ක් මුළුල්ලේ 9 සිට 5 දක්වා ඊට මුහුණ දීම මට අප්‍රසන්න වුණා.

කෙසේ වෙතත් මා ඒ අවස්ථාවේදී ආර්ථිකය අතින් සුරක්ෂිත වූ නිසා රැකියාව අත හැරීම මට ලේසි වුණා. නමුත් දැන් මට හිතෙනවා එසේ රැකියාව අත හැර යාමට නොහැකි සියලුදෙනා වෙනුවෙන් මා සේවයේ රැඳී සිටිය යුතුව තිබුණු බව.

4. මෙම අත්දැකීම ඉන් පසුව ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

මම ඉල්ලා අස් වුනේ මගේ කැමැත්තෙන්. නමුත් දැන් මට හිතෙනවා මට නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දි සහ සමාව ගැනීමක් සමග නික්ම යා යුතුව තිබුන බව. මම කළේ ඉච්ඡාභංගය නිසා හදිසියේ ඉල්ලා අස් වීමේ ලිපියක් භාර දීමයි. මම ඉල්ලා අස් වුනේ සදාචාරාත්මක හේතු නිසයි. එවැනි හොඳ රැකියාවක් හැර යාමට මට වෙනත් හේතුවක් තිබුනේ නැහැ.

එම තීරණය මට ආර්ථික වශයෙන් බලපෑවා. නමුත් මගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් මගේ ප්‍රධානියා සමග නිදාගැනීමට මට අවශ්‍යය නැහැ. මට මාව ඊට වඩා වැදගත්.

5. සේවා ස්ථානයේ ලිංගික හිංසනයට මුහුණ දෙන පුද්ගලයන්ට ඔබට දීමට ඇති අවවාදය කුමක්ද?

ඔබට ඉහලින් සිටින නිලධාරීන්ට හෝ ජේෂ්ඨ නිලධාරියෙක්ට හැකි ඉක්මනින් පැමිණිලි කරන්න.

වාචික හෝ ලිඛිත ආකාරයේ හිංසනයක් සිදුවෙයි නම් එය පටිගත කරන්න, නැත්නම් පසුව භාවිතා කිරීම සඳහා පරිස්සමෙන් ලඟ තබා ගන්න.

සේවා ස්ථානයේදී හැකි තරම් පුද්ගලයන්ට ඒ ගැන කියන්න. ඔබේ මුහුණ දෙන තත්වය පැහැදිලි කරන්න.

6. එවන් ගැටළුවක් වාර්තා කිරීම වැදගත් වන්නේ ඇයි?

රැකියාවක් කිරීමට, ඒ සඳහා ගෙවීමක් ලබාගැනීමට, සහ සතුටින් සිටීමට ඇති සෑම අයිතියක්ම කාන්තාවන්ට තිබෙන නිසා. තම වෘත්තීය සුරක්ෂිත කර ගැනීමට ලිංගික අල්ලස් ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ.

ඒ නිසා එය වාර්තා කළ යුතුමයි. හිතන්න, මෙවැනි දෙයක් පුරුෂයෙක්ට සිදුවෙනවා අසන්නට ලැබෙනවාද? ඔබේ දියණිය මෙයට මුහුණ දුන්නා නම් ඔබේ ප්‍රතිචාරය වන්නේ කුමක්ද?

7. මෙවැනි ලිංගික හිංසනයන් වාර්තා කිරීමට බිය වන පුද්ගලයන් වෙත ඔබට දීමට ඇති අවවාදය කුමක්ද?

බිය වීමට කිසිම දෙයක් නැහැ. ඔබ කිසිම වරදක් කර නැහැ. වරදකරුවා ඔබ නොවෙයි.

8. මෙවැනි අවස්ථාවකදී හිංසනයට මුහුණ දෙන පුද්ගලයෙකුට සහය ලබා ගත හැක්කේ කෙසේද? කිනම් ස්ථානයකින්ද?

හරිනම් එම සමගම තුලින්මයි: මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂකවරයාගෙන් හෝ ජේෂ්ඨ කළමණාකාරිත්වයෙන්. එසේ නැත්නම් බාහිර කාන්තා ශුභ සාදන ඒකකයකින්. එසේත් නැත්නම් නීතිඥයෙකුගෙන්.

9. ඔබ සිතන ආකාරයට, බොහෝ විට ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් ලෙස දකින්නේ ඇයි?

මට හැඟෙන ආකාරයට ඇතැම් කාන්තාවන් ඊට සහය වෙනවා. තෘප්තිය හෝ වෘත්තිමය දියුණුව වැනි ඔවුන්ගේ අවශ්‍යතා උදෙසා ඔවුන් ඒ සඳහා කැමැත්ත දෙනවා. එවැනි කාන්තාවන් මෙය සාමාන්‍ය දෙයක් ලෙස දකිනවා.

පිරිමින්ට එක් සහකරුවෙක් පමණක් සමග ලිංගිකව හැසිරීමට නොහැකි බව විශ්වාස කරන පිරිමි සිතනවා කාන්තාවක් ඔහුගේ යෝජනා ප්‍රතික්ෂේප කළද ඇයව දිගින් දිගටම පොළඹවා ගැනීමට තැත් කිරීම වරදක් නොවන බව. කාන්තාව ඔවුන්ගේ යෝජනා වලට එකඟ නොවන විට ඔවුන්ගේ ආධිපත්‍යයට හානි වන නිසා ඔවුන් පලිගැනීම සඳහා ලිංගික හිංසනයන් සිදු කරනවා.

10. සේවා ස්ථානයේ ලිංගික හිංසනය වැළක්වීම සඳහා ඔබේ යෝජනා මොනවාද?

තම අයිතීන් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම තම අයිතීන් පිළිබඳව පුරුෂයන් දැනුවත් කිරීම

ලිංගික හිංසනයන්හි ප්‍රති විපාක පිළිබඳව කාන්තාවන් සහ පුරුෂයන් දැනුවත් කිරීම

අපරාධකරුවන්ට විරුද්ධව දැඩි/ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම

@Bakamoono.lk