Image Credit: kaifyi

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් ජය ගෙන ඇතැයි පසුගිය දා වාර්තා විය. එම සමූපකාර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයින් 19ක්ද ශ්‍රිලංනිපට 2ක්ද සහ ජවිපෙට එක් අයකු ද පත් කර ගැනීමට හැකි වූ බව ද වාර්තාවී තිබුණි.

සමූපාකාර ජන්ද ජනමතයේ හරස් කඩක් නොවුන ද ඒ විසින් පෙන්නුම් කරන්නේ යම් කිසි පක්ෂ කණ්ඩායමක් සතු සංවිධාන හැකියාවය. රාජපක්ෂවාදී ජනමාධ්‍යයන්ට අනුව රටෙහි තවත් යම් යම් පෙදෙස්හි ද සමූපාකාර ජන්දවලින් ලැබී ඇති ප්‍රතිපල මීට සමානය.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී පිට පිටම පරාජයට පත් වූ රාජපක්ෂවරු දැන් යළි අළු ගසා දමමින් නැගිටිමින් සිටින්නේ කෙසේද? එම මැතිවරණ දෙකෙහිදීම මහජනයා අතර දේශපාලනය උනන්දුවක් ඇති කිරීමට සමත් වූ රාජපක්ෂ භීෂණයට සහ දූෂණයට එරෙහි වීමේ අවශ්‍යතාවය දැන් අප සමාජයෙන් ගිලිහී ගොස් ඇත් ද?

නිකමට වාගේ දැනටමත් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති ලැජ්ජා සහගත දූෂණ භිෂණ ක්‍රියා දෙස බලමු.

රාජපක්ෂවරුන් විසින් සිය රාජ්‍ය බලය යොදා ගෙන හදිසි අනතුරක් ලෙස යටපත් කර දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ මරණය ඝාතනයක් බව දැන් නිසැකව සනාථ වී තිබේ.

කොළඹ තදාසන්න පෙදෙස්වලින් පැහැර ගත් දෙමළ සහ මුස්ලිම් සිසුන් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරෙහි රහසිගත බංකරයක තබා ගෙන සිට කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කළ බව සනාථ වී තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ රටින් පළා ගොස් ප්‍රංශයේ ජිවත්වන්නේ යැයි රාජපක්ෂ ආණ්ඩුව කී ගජ බින්නය පුපුරුවා හරිමින් ඔහු යුද හමුදා කණ්ඩායමක් විසින් පැහැර ගත් බව සනාථ වී තිබේ.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුද හමුදාවේ බුද්ධි අංශය සම්බන්ධ බව ද එහි සෙබළකු විසින් ලියූ බවට කියන ලිපියකින් සනාථ වෙයි. පාර්ලිමේන්තු මංත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමට ද නාවික හමුදාවේ පිරිසක් සම්බන්ධ බව සනාථ වි තිබේ.

මෙම ලැයිස්තුව තව දිගය.

අප විසින් ඇසිය යුතු සහ රාජපක්ෂලා විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්ණය නම් මෙවැනි අපරාධ කිරීමට රාජ්‍ය ආරක්ෂක හමුදා පිරිස්වලට තිබූ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. පෙනෙන විදියට අප එනම් පුරවැසි සමාජය එම ප්‍රශ්ණය සද්දයට අසන්නේ නැත. එබැවින් රාජපක්ෂලාට පිළිතුරු නොදී සිටිය හැකිය.

ඊටත් වඩා සරළ, පෙන්වීමට ඇහැට ඇඟිල්ලෙන් ඇනිය යුතු නැති වංචා දූෂණ ගණනාවක්ම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණූ දැන් අප හමුවේ තිබේ.

පසුගිය මාස ගණනාව ඇතුළත අයිතිකරුවන් ඉදිරිපත් නොවූ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා දේපල වංචා දූෂණ විමර්ශන යටතේ රජයට පවරා ගැනීමට සිදු විය. කැළණි ගග ආසන්නයේ මල්වානෙහි අක්කර 18ක ඉඩමක ගොඩ නඟා තිබූ මහා මන්දිරය ඉන් එකකි. අධික වටිනාකමකින් යුතු ‘බ්‍රවුන් හිල්’ නම් තවත් එවැනි ඉඩමක් සහ ගොඩනැඟිල්ලක් මාතර දී අයිතිකරුවකු නැති එකක් බවට පත් විය.

පුදුමය නම් මෙම ගොඩනැගිළි දෙකෙහිම සැළසුම්කරුවී තිබුණේ බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු බව කියන මුදිත ජයකොඩි නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වීමයි. මල්වාන ඉඩම තිබුණේ ද ඔහුගේ නමටය. නමුත් ඔහු කියන්නේ මේ ඉඩම් සහ ගොඩනැඟිළි තමන්ගේ නොවන බවයි. මෙම ඉඩම් සහ ගොඩනැඟිළිවල සැබෑ හිමිකරු බැසිල් රාජපක්ෂ බවට බොහෝ වාර්තා පළවී තිබේ.

රාජපක්ෂලාගේ අලුත් පක්ෂයේ මොළකරු අන්න ඒ බැසිල් රාජපක්ෂය.

එමෙන්ම පුදුමාකාර ලෙස කොලඹ පෑන් ඒෂියා බැංකුවේ තිබූ රුපියල් මිලියන 157කට ද හිමිකරුවකු නොසිටියේ ය. තවමත් සොයා ගැනීමට නැති බංගල ජාතිකයෙක් නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 50ක්ම එවූවේය! බැසිල්ගේ බිරිඳගේ එන්ජිඕවට බැසිල්‍ගෙන් කොන්ත්‍රාත් එකක් ලද චීන්නු ලක්ෂ 150ක්ම දුන්නෝය.

ඊටත් අමරතව යෝෂිත රාජපක්ෂගේ ඥාති ආච්චී අම්මා කෙනෙකු වන ඩේසි ෆොරස්ට් ලක්ෂ 240කට හෝ ඊටත් වැඩි ගණනකට රත්මලාන පෙදෙසින් ඉඩමක් මිලට ගෙන තිබුණි. එහි නිවෙසක් ඉදිකරමින් සිටියේ යෝෂිත රාජපක්ෂය. මෙම ඉඩම ගැනීමට මුදල් ලැබුණේ කෙසේදැයි විමර්ශණ නිලධාරීන් ප්‍රශ්ණ කළ විට ඩේසි ෆොරස්ට් කියා සිටියේ තමන් නොහදුන කෙනෙක් පැමිණ දිනක් මැණික් මල්ලක්ද පසු දිනෙක මුදල් මල්ලක්ද දී ගිය බවයි!

ශ්‍රි ලංකාවේ පුරවැසියන් වන අප මෙවැනි කතා මීට පෙර කිසිමදාක අසා තිබුණේ ද? අයිතිකරුවන් නැති විසල් මාලිඟා මෙයට පෙර මෙරට තිබුණේ කවරදාකද? මේ මාලිඟා ඉබේ පහළ වූ ඒවාද? ඉඩම් මිලදී ගැනීම පිණිස මැණික් මලු ගෙනැවිත් දී යන්නන් ගැන කියවන්නට ලැබුණේ මින පෙර කවරදාකද? හොරුන් රජ කරන හෝ කළ රාජ්‍යක හැර මෙවැනි දේ අසන්නට ලැබෙන්නේ නැත.

රාජපක්ෂවරුන්ට ලැජ්ජාව කියා දෙයක් නැත්තටම නැති බව පෙනේනනේ සිය පියාගේ සොහොන් කොත සහ ඒ අනුසාරයෙන් කෞතුකාගාරයක් ගොඩ නැගීමට මෙරට මහජනයාට අයත් ධනය සොරා ගත් බව ඔවුන්ම පිළිගැනීමෙනි. එම පිළිගැනීම සිදු වූයේ වංචා දූෂණ විමර්ශණ හමුවෙහි එම මුදල් යළි ආණ්ඩුවට ගෙවීමට රාජපක්ෂවරු පියවර ගැනීම මගිනි.

දැනටමත් සනාථ වි ඇති මෙවැනි වංචා දූෂණ කොතෙක් වෙත්ද? රාජපක්ෂවරු ඒ කිසිවකට පිළිතුරු බඳින්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ජාතිවාදයෙන් ජනයා ගිනිකණ වට්ටවා යළි බලයට ඒමට කූටෝපා සකස් කිරීමය.

රාජපක්ෂලාට ලැජ්ජාව කියා දෙයක් නැති බව අපි දනිමු. ඊටත් වඩා දැන් ප්‍රශ්ණය නම් මෙරට පුරවැසියාටත් ලැජ්ජාවක් නැත්ද යන්නයි.

එසේ නොවේ නම් මේසා භීෂණ දූෂණ දේශපාලනයක් ගෙන ගිය පිරිසක් යළි අද හෙටම බලය අල්ලා ගැනීමක් ගැන කතා කරන්නේ කොහොමද? කොතැනක හෝ ලොකු වරදක් සිදුවී සහ සිදුවෙමින් තිබිය යුතුය. නැත්නම් මහා පරිමාණ වංචාකාරයින් පිරිසකට බලයෙන් පහවී දෙවසරක් යන්නටත් පෙර ජනබලයක් ගොඩ නඟා ගන්නට පුලුවන් වන්නේ නැත. අප කැමැති වුවත් නැතත් අප පිළිගත යුතු සත්‍ය නම් රාජපක්ෂවරුන් යළි බලයට ඒම පිණිස අවශ්‍ය සේනා සංවිධානය කරගෙන යන බවයි.

රාජපක්ෂවරුන්ට මෙම අවස්ථාව ලැබී ඇත්තේ මෙම වංචා දූෂණ ගැන රටේ ප්‍රමාණවත් දේශපාලන ඝෝෂාවක් මතුවී නැති නිසාය. අනෙක එකදු මහා පරිමාණ වංචාවක් හෝ හරියාකර ලෙස අධිකරණය හමුවට ගෙන ඒමට විමර්ශණ ආයතන අසමත් වී ඇති නිසාය‍.

ආණ්ඩුවට ඇතුලේ ආරවුල් බේරා ගැනීම හැර වර්ගවාදය මත බලයට ඒමට දඟලන රාජපක්ෂවාදී බලවේගය සමඟ සටනට එළඹෙන්නේ කෙසේදැයි අදහසක් ආණ්ඩු කරන පක්ෂ දෙකටම නැති නිසාය. එහි ප්‍රධානීන් යළි යළි පිළිගෙන ඇති පරිදි ආණ්ඩුවට ඒකාබද්ධ හෝ තනි තනි හෝ මාධ්‍ය මූලෝපායක් නැත. ආණ්ඩුවේ ප්‍රධානින් කරන්නේ තමන්ගේ මාධ්‍ය මුලෝපායන්හි අඩුපාඩු සකස්කර ගන්නවා වෙනුවට මාධ්‍යට තඩි බෑමය.

එමෙන්ම රාජපක්ෂ දූෂණ භීෂණ සම්බන්ධයෙන් මහජන ඝෝෂාවක් මතු කර පවත්වා ගෙන යැමට සිවිල් සමාජ පිරිස් අසමත් වි ඇත්තේ ද ආණ්ඩුවේ වැනෙන සුළු සහ සහයෝයක් නැතිකම නිසාය. ආණ්ඩුව යටතේ පවතින දැවැන්ත ජනමාධ්‍ය ජාලා නිදිකිරා වැටෙන අතර පුද්ගලික මාධ්‍ය වැඩි ප්‍රමාණයක් ඇත්තේ රාජපක්ෂ සාක්කුවේය. අගමැති වික්‍රමසිංහ මෑතදී කියා තිබුණේ යහපාලනයේ ලොකුම සතුරා මාධ්‍ය බවයි.

නායකයින් පත් වන්නේ ජනතාවගේ හැටියටය. 2015 ජනවාරියේ බහුතර ජනයාට සැබෑ වෙනසක් අවශ්‍ය විය. මේ නායකයින් පත් කරගත්තේ ඒ සඳහා ය. ඒ වෙනස නොලැබුණහොත් හොරුන්ට සහ මංකොල්ලකරුවන්ට යළි අවස්ථාව නොපෑදෙනු ඇත් ද යන ප්‍රශ්ණය ඇසීමට දැන් සිදුව තිබේ. ආණ්ඩුවේ ප්‍රධානීන් තේරුම්ගත යුත්තේ මාධ්‍යට තඩිබානු වෙනුවට එකී හොරුන් සහ මංකොල්ලකරුවන්ට දේශපාලනිකව තඩිබෑම වැදගත් වනු ඇති බවයි.

sd-120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya