මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය‍.

‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී- රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගී සිටින්නේ අනෙකාගේ අයිතීන් වෙනුවෙන් නොව තමන්ගේ එකාගේ අයිතින් ඊටත් වඩා වරප්‍රසාද මල්ල පුරවනු පිණිසය. මෙකී තමන්ගේ එකා යනු ශ්‍රී ලංකා සමාජ ආර්ථික දේහයේ ඇති මහම පිලිලය වන දේශපාලන පංතියයි. ඊට පක්ෂ හෝ පාට වෙනසක් නැත. ඒ ගැන පසුවට කතා කරමු.

මානව හිමිකම් දිනයට දින තුනක් තබා නිකුත් වූ එක්සත් ජාතින්ගේ වාර්තාවක් කියා සිටින්නේ කතා සහ පොරෙන්දු අභිභවා යන කැපි පෙනෙන ප්‍රයත්නයක් මානව හිමිකම් ක්ෂේත්‍රයේ දක්නට නැති බවයි. මෙම වාර්තාව පැය 24ක් යෑමට ප්‍රථම ලොකයේ ප්‍රධාන පෙලේ පුවත්පත්හි වාර්තා විය‍.

අත්අඩංඟුවට ගන්නා සැකකරුවන්ට වධහිංසා පැමිණවීම පිළිබඳ මෙම ආණ්ඩුවේ මානව හිමිකම් වාර්ථාව රාජපක්ෂ යුගයට වඩා එතරම් වෙනසක් නැති බව පසුගිය 07දා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පැහැදිළිව පෙන්නුම් කරයි.

නීති ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයෙහි යළි යළි හත් පොළේ ගා ගනිමින් සිටින මෛත්‍රී-රනිල් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුව හමුවට තමන් නියෝජනය කරන්නට වධහිංසා පැමිණවීමට නම් දරා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ රාජපක්ෂ සමයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එවීම මගින් ඇඳගෙන නා ගත්තේය. වධහිංසා විරෝධී කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය නිරීක්ෂනයන් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙහි ප්‍රධානියා ලෙස ඔහු යටතෙහි වධහිංසා පැමිණවීමේ චෝදනාවන් පිළිබඳව සිසිර මෙන්ඩිස්ට එල්ල වූ චෝදනා පිළිබඳ පරීක්ෂන වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස ද කියා සිටී.

ශ්‍රී ලංකාවේ දිනපතාම කෙළසෙන එක් මානව හිමිකමක් නම් වධහිංසා අත්නොවිඳ සිටීමට පුරවැසියනට ඇති අයිතියයි. වධහිංසා පැමිණවීම මෙරට පොලිස් දෙපාර්ථමේන්තුවෙහි නිදන් ගත රෝගයකි. දැන් එම පොලීසියේ ‘යහපාලන’ පොලිස්පතිවරයා බවට පත්ව සිටින්නේ නීතිය කැඩීමට බැරි බැවින් එය නැමීමට ඉගෙන ගතයුතු බවට සිය දෙපාර්තමේන්තුවට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන නීති චෞරයෙකි.

මෙම පූජිත ජයසුන්දර යනු පොලිස්පතිධූරය තමාට ලබා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරනු පිණිස බෝධි පූජා පැවැත් වූ එක්තරා විදිහක දේශපාලනඥයෙක් බව ද අප මතක තබා ගත යුතුය. දැන් ඔහුගේ දෙවියන් වෙන කව්රුවක් නොව එජාප නායකයකු වන නීතිය හා සාමය බාර ඇමැති සාගල රත්නායක බව පසුගියදා ඔහු ලැජ්ජා බයක් නැතිව රූපවාහිනී කැමරා ඉදිරියේම පෙන්වා සිටියේ ය. එකී සාගල රත්නායකගේ මහබඹා අගමැති වික්‍රමසිංහ බව ඊළඟ ජවනිකාවෙන් රඟ දැක්වුණි. වික්‍රමසිංහ සාගල – පූජිත විඟඩමට සංගීතය සැපයූවා පමනක් නොව අනියමින් අනෙක් මැති ඇමැතින්ට ද කියා සිටියේ තමන්ගේ කව්රුන් හෝ අත්අඩංගුවට පත්වන්නට යන්නේ නම් පොලිස්පතිට දුරකථන ඇමැතුමක් දීමේ වරදක් නැති බවයි!

නීතියේ පාලනය ගැන කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවායැයි කියන්නේ ගරු අගමැතිතුමනි, ඔන්න ඔය වාගේ රෙදි ගලවා ගැනීම්වලටය.

පොලීසිය ‍ලඟට මානව හිමිකම් වලට අදාළ වන්නේ විජේදාස රාජපක්ෂ යටතේ ඇති අධිකරණ අමාත්‍යාංශයයි. මේ රාජපක්ෂ යටතේ කිසිදු යහපත් නීති ප්‍රතිසංස්කරණයක් සිදුවී නැත. අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි පාවිච්චි කරන බවට කට මැත දෙඩීමට ඔහු කැමැතිය. ඔහු විසින් ගෙන එන ලද නීති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් තුනම දරුණූ මානව හිමිකම් කෙළෙසීම් වලට මඟ පැදීමට ඉඩ තිබුණි.

මෙරට නීතිය සහ යුක්තිය පිළිබඳ අපූරු සත්‍යයක් පසුදා රට හමූයේ ගෙනහැර පෑවේ යහපාලනය මරපාලනයක් බවට පත්කිරීමට වලිකන මෙම රාජපක්ෂය. ඔහු කීවේ මංත්‍රී ධුරය ලබා ගැනීම නිසා තමන්ට තමන්ට රුපියල් මිලියනයක් පාඩු බවය. එම මිලියනය ඔහු උපයා ගත්තේ යුක්තිය හෝ අයුක්තිය ලබා දීම පිණිස නඩු කීමෙනි. ශ්‍රී ලංකාවේ යුක්තිය කොතරම් මිල ද දැන ගැනීමට ඊට වඩා උදාහරණයක් අවශ්‍ය නැත. ඔහු ප්‍රකෝටිපති ඇවන්ඩ්ගාඩ් ජාවාරම්කරුගේ ද නීතිඥයාය.

සාගල රත්නායක පොලිස්පති පාලනය කරන පරිද්දෙන්ම විජේදාස රාජපක්ෂ අධිකරණ ක්‍රියාවලිය පාලනය කරන බවට සැක සිතෙන සිදුවීමක් රට හමූයේ දිග හැරුණි. එනම් ලංකා ඊ නිව්ස් කර්තෘ අධිරණයට අපහාස කිරීමේ වරදට මෙරටට ගෙන්වා දඩුවම් කරන බවට මෙම රාජපක්ෂ කළ උඩුබිරුලෑම සම්බන්ධයෙනි.

එකී උඩු බිරුලෑමෙන් දින කිහිපයකට පසු කව්දෝ එවැනි බොරු නඩුවක් දමා ඊට තවත් යහපාලන ජාවාරම්කාර කලු කෝට්කාරයකු මැදිහත් වී දඩි බිඩියේ රතු වරෙන්තු ඉල්ලීමක් ලබා ගත්තේය. (මේ ඉල්ලීම පාපන්දු තරඟයක රතු ලේබයක් තරම්වත් වටින්නේ නැතිවීම වෙනම කරුණකි).

‘යහපාලන’ ආණ්ඩුව බලයට පත් වූයේ මෙරට දෙමළ ජනයා සමස්තයක් ලෙස සිය ජන්දය රාජපක්ෂ පරාජය කිරීමට පාවිච්චි කළ නිසාය. එම ජනයාගේ අපේක්ෂාව වූයේ සැබෑ සංහිදියාවක් ඇතිකර ගැනීමට ඉඩ සළසන දේශපාලන ප්‍රතිසංස්කරන සහ ප්‍රජාවක් ලෙස තමන් මුහුණ දුන් දරුණූ මානව හිමිකම් කෙළෙසීම් සදහා යුක්තිය ලබා ගැනීමය.

වධහිංසා විරෝධී කමිටුවේ නිරික්ෂනයන් කියන්නේ පොරොන්දු වූ යුක්තිය ඉෂ්ඨ කිරීමේ ක්‍රියාවළිය තවම ආරම්භ වී නැති බවයි. දෙමළ ජනයාගේ එක් ප්‍රශ්ණයක් වන යළි පදංචි කිරීම සම්බන්ධයෙන්ද ඇමැතිවරයකු සිටී. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ යළි පදිංචි කිරීම පිළිබඳ ඇමැති ස්වාමිනාදන්ය. ඔහු රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරු ධනවාදී කල්ලියේ ලොක්කෙකි.

මේ ඇමැතිවරයා යටතේ බන්ධනාගාර පාලනය වන්නේ පාතාල මාෆියා කල්ලි ලෙසිනි. ඒ ගැන මංත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර අපූරු හෙළිදරව්වක් කර තිබේ. එහෙත් බය වෙන්නට දෙයක් නැත. ස්වාමිනාදන් හොරට නිදන නිසා ඔහු ඇහැරෙන්නේ නැත.

මේ ඇමැතිවරයා තමන්ගේ මල්ල පිරෙනු තුරු දැන් වසරකටත් වඩා කාලයක් යුද්ධයෙන් විපතට පත් ජනයාට ලබා දීමට නියමිත නිවෙස් 60,00ක් සෑදීම පමා කරමින් සිටී, ඔහුගේ ජාවාරම සාදා නිමකරන ලද යකඩ නිවෙස්(කූඩු) ගෙනැවිත් සවි කිරීමය. ඉන් එක් නිවෙසක වැය මිලියන දෙක ඉක්මවයි. උතුරු නැගෙනහිර දෙමළ සන්ධානයේ සියලු මංත්‍රීවරුන් මෙම ජාවාරම්කාර නිවෙස් ව්‍යාපෟතියට විරුද්ධය. ඔවුන් රුපියල් මිලයනයක වියදමින් නිවෙසක් සෑදීමට සැළැස්මක් ඉදිරිපත් කර තිබේ.

නමුත් මෛත්‍රී-රනිල් නායකත්වය ස්වාමිනාදන්ට අත තියන්නේ නැත. එබැවින් යුද්දයෙන් පිඩාවට පත් ජනයාට එම නිවෙස් සෑදෙන්නේ ද නැත. යළි පදිංචි කිරීම ද පමා වෙයි. එපමණක් නොවේ. සිය ජාවාරමට දෙමළ සන්ධානය නවා ගත නොහැකි වූ බැවින් දැන් මේ ඇමැතියා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධ වෙමින් 13 වන සංශෝධනය ප්‍රමාණවත් යැයි කියන්නට පටන් ගෙන තිබේ.

මේ සියල්ලටම වඩා ලැජ්ජා නැති මානව හිමිකම් පාවාදීම වන්නේ සුදු ජාතික අන්තවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කර උඩ නැගී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහිදී ශ්‍රී ලංකාව සමදායකත්වය සැපයූ මානව හිමිකම් යෝජනාව කුණු බක්කියට දැමීමට ජනාධිපති සිරිසේනගේ ආසාවයි.

එම දෙවන සයනයිඩ් කතාවට දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදීම පිළිතුරක් දුන්නේ ය. මංත්‍රී සුමන්දිරන් කාට කාට හරි ලියුම් යවා එම යෝජනාව අහෝසි කල නොහැකි වන්නේ එය ශ්‍රී ලංකාව වන අපගේද යෝජනාව වන නිසා බව පැහැදිළිවම කියා සිටියේ ය.

මෙම මානව හිමිකම් දිනය ගෙවී යන්නේ ජනවාරි 08දා ශ්‍රී ලංකාව මත පෑයූ මානව හිමිකම් ආලෝකය අදුරු වලාවන්ගෙන් වැසී යාමේ තර්ජනය අබියස කියාපානා තවත් උදාහරණ බොහෝය.

ඒ ගැන පසුව කතා කරමු.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya