නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා දැමීම, මරා දැමීම හෝ අතුරුදහන් කිරීම ලාංකිකයාට හෝ ලංකා සමාජයට අලුත් දේ නොවේ. ඒ පිළිබඳව ව කුප්‍රකට අතීතයක් අපට ඇත.

මහින්ද කල්ලියේ දුර්ධාන්ත පාලනය පෙරලා දමා යහපාලනයක් ඇති කිරිමට පවතින රජය පත්කර ගනු ලැබුවේ එදා මෙන්ම මාධ්‍යවේදීන්ගේ අත පය කඩා දැමීමට ඔවුනට තම කාර්ය ඉඩ නොදීමට නොවෙති. මාධ්‍යවේදියෙකුගේ කාර්ය වන්නේ රටේ පවතින තත්වයේ සැබෑ තතු ඒ අයුරින්ම ජනතාව වෙත වාර්තාකරණයයි. ඒ සඳහා බාධාවක් රහිතව ගමන් කිරීමට මාධ්‍යවේදියාට හැදුනුම්පතක් සපයා ඇත. ඒ අවහිරයකින් තොරව ඒ ඒ අවස්ථාවන් සහ ස්ථානයන්ට ගොස් එහි ඇති තත්වය වාර්තා කිරිම සඳහායි. මෙම පහරකෑමට ලක්වන මාධ්‍යවේදියා තමන් මාධ්‍ය වේදියෙකු බව හඬ නගා පවසත්ම ඔහු මත කඩා පනින මෙම නාවික හමුදාපති ඔහුට පහර දෙමින් ඔහුගේ හක්ක මිරිකන ආකාරය දැකිය හැක. මේ මාධ්‍ය වේදියාගේ වාසනාවට නාවික හමුදාපතිවරයාට හසු වන්නේ ඔහුගේ හකු ඇටයයි. බැරිවීමකින් ඔහුගේ උගුරු දණ්ඩ හසු වූ වා නම් අපට අද කතා කිරීමට සිදුවන්නේ මෙම මාධ්‍ය වේදියාගේ වෙනත් තත්වයක් ගැනයි. නාවික හමුදාපතිවරයාගේ අවක්‍රියාව ඉතා පහත් නින්දිත විශේෂයෙන්ම හමුදාවක ඉහල නිලධාරියෙකු තබා පහල නිලධාරියෙකුටවත් නොහොබිනා හැසිරීමකි. එය විනය විරෝධීවන අතර ලංකාවේ හමුදාවන්හි පිරිහීම පෙන්වන කැඩපතක් වැනිය.

මෙම සිද්ධිය සිදුවන්නේ ලංකාවේ දකුණේ ‘සිංහල බෞද්ධයන්ගේ ‘ නිජබිමේය. ඒවාගේම මෙම තත්වය ඇති වන්නේ යුධමය තත්වයක නොව කම්කරුවන්ගේ උද්ඝෝෂණයක් සහ ඔවුන් කලහකාරී ලෙස හැසිරුණු තත්වයක් තුල එය මැඩලීමට පැමිණි නාවික හමුදා මෙහෙයුමක් අතරය. නමුත් මෙම කම්කරුවන් නිරායුධ මිනිසුන්ය. මෙම තත්වය තුල කැමරාව අතින් ගත් මාධ්‍ය වේදියෙකු නාවික හමුදාවට කිසිම ආකාරයකින් තර්ජනයක් විය නොහැක. එසේ තර්ජනයක් වනවා යැයි ඔවුන් සිතන්නේ නම් ඒ ඔවුන් ක්‍රියාත්මක වන වැරදි අකාරයන් ජනතාව වෙත මෙම මාධ්‍යවේදීන් ගෙන යාම පිලිබඳව තර්ජනය විය යුතුය. මෙවැනි නිරායුධ මාධ්‍යවේදියෙකු හමුවේ නාවික හමුදාපති අද්මිරාල් විජය ගුණරත්න හැසිරෙන්නේ වියරුවෙන් මෙනි. ඔහු මාධ්‍යවේදියාට පහරදෙන අයුරු ලෝකයම දැක හමාරය. කම්කරුවන්ගේ උද්ඝෝෂණයක් මැඩලීමට පැමිණෙන නාවික හමුදාවේ සහ එම හමුදාපතිවරයාගේ හැසිරීම එසේ නම් යුධ වාතාවරණයක ආයුධ අත ඇති මොවුන්, එවැනි වාතාවරණයක සියළු ආධිපත්‍ය අත ඇති මොවුන් කුමන අයුරකින් හැසිරෙනු ඇත්ද? , හැසිරෙන්නට ඉඩ ඇත්ද යන්න සිහිබුද්ධිය ඇති අයෙක්ට සිතා ගැනීමට අපහසු නැත. ලංකා හමුදාවන් යුධ අපරාධ පිලිබඳ චෝදනාවන්ට ලක්ව ඇති බව නොරහසකි. නිරායුධ කම්කරු උද්ඝෝෂණයකට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ නම් එය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ නම් යුධ වාතාවරණයක උතුරේ කැලරිකරුවන්ට, දෙමළ සිවිල් ජනයාට මොවුන් කෙසේ සලකන්නට ඇත්ද කියා අපට සිතා ගත හැක.

හත්පොලේ ගා ගැනීමට ලංකාවේ දේශපාලඥයන් මෙන්ම ඉහල නිලතල දරන්නන්ද දක්වන්නේ පුදුමාකාරයේ දක්ෂ කමකි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් තම තානාන්තරයෙන්, නිල බලයෙන් හිස් උදුම්මාගෙන ඇස් නිලංකාර කරගෙන අධි මහන්තත්වයක පෙලීමේ අසනීපයක් නිසාවෙනි. තානාන්තරයේ බලයෙන් හිස් තෝන්තුවන මොවුන් නිහතමානීත්වය යන වචනය කුමක්ද කියාවත් නොහදුනනති. තමන් සියල්ලටම ඉහලින් සිටින මහා කෙරුමන් ය යන වැඩවසම් ආධිපත්‍යයකින් හිස් පුරවා ගන්නා මොවුන් කිසිදිනෙක තම වැරදි වරදක් සේ දැකීමට මැලිවෙති. එපමණක් නොව එක වැරැද්දක් වසා ගැනීමට තව තවත් වැරදි කරති. ඒ ඔවුනට හුරුව ඇති හත්පොලෝ ගා ගැනීමේ ක්‍රියාදාමයයි.

සියල්ල ලෝකයට හෙලිව පවතිද්දී මෙම නාවික හමුදාපතිවරයා ප්‍රසිද්ධියේම බොරු කියති. තමා එම මාධ්‍යවේදියාට පහර දුන්නේ නැති බව පවසති. මේ ඔහුගේ ප්‍රකාශයයි ‘මෙයා කවුද කියලත් කා සමගද සිටියේ කියලත් මා කාලයක සිට දැනගෙන හිටියා’. මේ කියමනෙන් මතුවන කරුණු 2 කි. පලමු කාරණය හමුදාපතිවරයා මේ මාධ්‍යවේදියාට පහර දෙන්නේ පරණ කෝන්තරයක් විසදා ගැනීමට බව ගම්‍ය කරයි. අනෙක් කරුණ ඔහු ‘කා සමගද හිටියේ යන්න දේශපාලන කියමනකි. එසේ නම් නාවික හමුදාපතිවරයා මෙහෙිදී හිතා මතාම දේශපාලන පලි ගැනීමක්ද කරනු ලබයි. මෙය ඉතා භයානක තත්වයකි. මෙය පැහැදිලිවම නීති විරෝධී හා විනය විරෝධී ක්‍රියාවකි. මෙම මාධ්‍යවේදියා කුමන දේශපාලන මතයක් දැරුවත් ඔහු කුමන දේශපාලනයකට අයත් වුවත් ඔහු මේ ස්ථානයට පැමිණෙන්නේ මාධ්‍යවේදියෙකු වශයෙනි. මෙහිදී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියාට පහර දීම අනියම් දේශපාලන මැදිහත්වීමකි. මෙවැනි සිදුවීමක් ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවූයේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදාපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවෙයි. දෙවනුව මොහුගේ ක්‍රියාව නීතිමය හෝ විනය ක්‍රියාදාමයකට යටත් කරනු ලබයි. දැන් යහපාලන රජය ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පිලිවෙතකද? නැතිමන් අත්තනෝමතික රාජ්‍යක ක්‍රියාත්මක වන ආකාරයටද යන්න ඉදිරි කාලය තුල රජය ගන්නා ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කරනු ඇත.

නාවික හමුදාපතිවරාගේ මේ කුලු මී හැසිරීම දුටු මට අතීතයේ දිනෙක සිදුවීමක් මතකයට නැගුණි. ඒ 1971 අප්‍රෙල් කැරැල්ලේදී යාපනය හිර ගෙදරට සහ පොලිසියට පහර දී රොහණ විජේවීර නිදහස් කර ගැනීමට කළ අසාර්ථක උත්සාහයෙන් පසු අප සිරගතව සිටි අවදියේය.

එවකට අපව සිරකර සිටියේ හැමන් හිල් දූපතේ බිම් ගෙවල් තුලයි. මෙම දූපත් හිරගෙය ආරක්ෂා කරනු ලැබුවේ නාවික හමුදාව විසිනි. බිම් ගෙවල සිරකර සිටි අපේ ශරීර හොරි, දද, කුෂ්ඨයන්ගෙන් පිරි අපි අපා දුකක් විදිමින් සිටියෙමු. අවසානයේ 1971 ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයේ අප නැගී සිට බිම් ගෙවල දොරවල් කඩා මිදුලට රැස් වූයෙමු. විමුක්ති ගී කියමින් විරෝධතාවය පල කළෙමු. බන්ධනාගාර අධිකාරීවරයාගේ පඹයෙකු හදා බිම් ගෙයක යකඩ දොරක එල්ලූවෙමි. බිත්ති පුරා සටන් පාඨ ලීවෙමු.

ඇත්තෙන්ම අප හිරගෙය තුල කැරලි ගැසූවෙමි. ඇත්තෙන්ම එදා එම ප්‍රශ්නය විසදීමට හිරගෙයි ආරක්ෂාව භාරව සිටි නාවික හමුදාපතිවරයා පැමිණි අතර ඔහු මෙම කොටු පවුර මත සිට අප හා කතා කරනු ලැබීය. අවසානයේ ඔහු අප ඉදිරිපත් කරන කරුණු තේරුම් ගත් අතර මෙයින් පසු බිම්ගෙවල දොරවල් නොවැසීමටත් ප්‍රධාන දොරෙන් ඇතුලේ මිදුලෙහි අපට කැමති අයුරින් හැසිරීමට ඉඩදීමටත් එකග විය. ඉන්පසු ඔහු නාවික හමුදා භටයන් ගණනාවක් සමග ප්‍රධාන දොරෙන් අතුලට පැමිණ බන්ධනාගාර අධිකාරීවරයාගේ පඹයා ගලවා දමා අපට රිසි සේ සිටීමට ඉඩ හරිනු ලැබීය. ඒ කැරලිකරුවන් වූ අප අරගල කරද්දී බුද්ධිමත් නාවික හමුදාපතිවරයෙකුගේ හැසිරීමයි. එදා 1971 සිටි නාවික හමුදාපතිවරයා සහ අද මේ නාවික හමුදාපතිවරයා අතර කොතරම් නම් වෙනසක් ඇත්ද කියා මට හිතුණි. මෙය ලංකා සමස්ථ හමුදාවන්ගේම පිරිහීමක්ද?

රංජිත් හේනායකආරච්චි