සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

මට මතක යි – 2010 මැයි 19

ඇලන් කීනන් විසිනි

ශ්‍රී ලංකාව තුළ පැවති දිගු ලේ වැකි සිවිල් යුද්ධය හමාර වී එහි පළමු සංවත්සරය සැමරීමට අප රැස් වන මේ මොහොතෙහි මා මතකයට නැගෙන කරුණු කිහිපයකි:

වන්නියේ දී බංකර තුළ සහ තම සංවිධානයට අයත් ට්‍රක් රථ යට සැඟවී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආණ්ඩුවේ හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ ය යන පුවතට 2009 ජනවාරි අග සවන් දෙමින් සිටියා මට මතක යි. මෙම කතා මුළුමනින් ම විශ්වාස නොකළ බවත් මට මතක යි.

“යුද මුක්ත කලාප” යැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හැඳින්වූ ප්‍රදේශවල දී රෝහල්වලට සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වනු ද රෝගීන් සහ වෛද්‍ය කාර්ය මාණ්ඩලිකයන් ඝාතනයට ලක් වනු සහ තුවාල ලබනු ද මට මතක යි. පසුව දිවි ගළවා ගත්තවුන්ගෙන් සමහරෙකු හමු වී ඔවුන් කියූ තැති ගන්වනසුලු කතාවලට සවන් දෙමින් සිටියා ද මට මතක යි.

තැති ගන්වනසුලු තත්ත්වයන් යටතේ සේවය කරමින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සියලු වෛද්‍යවරුන් ද වෛද්‍ය සේවකයන් ද කාර්ය මණ්ඩල සාමාජිකයන් ද පළ කළ අතිශය අසාමාන්‍ය නිර්භීත භාවය සහ ත්‍යාගශීලී භාවය මට මතක යි. සමහරෙකු අනුන් දිවි රකිමින් තමන් දිවි පිදූ සැටි ද මට මතක යි.

2009 පෙබරවාරියේ දී ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී මෙසේ කියනු මට මතක යි: “ඒ පැත්තෙ ඤපුදුකුඩියිරිප්පුවල% රෝහලක් හරි වෙන දෙයක් හරි තියෙන්න විදියක් නැහැ. මොක ද, අපි ඒවා ඉවත් කළා. අපි එතැන හිටපු සේරම රෝගීන් වව්නියාවට ගෙනිච්චා. ඒ නිසා යුද මුක්ත කලාපයෙන් එලියෙ කිසි දෙයක් තියෙන්න විදියක් නැහැ. … ප්‍රදේශය තුළ කිසි ම රෝහලක්, කිසි ම දෙයක් ක්‍රියාත්මක වෙන්න බැහැ. අපි පැහැදිලි ලෙස මේ යුද මුක්ත කලාප ඇති කෙරුවෙ ඒක යි.”

පාලිත කොහොන රූපවාහිනියෙහි පෙනී සිට මෙසේ කියනු දුටුවා මට මතක යි: “ඒ මුළු ප්‍රදේශය තුළ ම සිතියමක සලකුණු වුණු රෝහලක් තිබුණ නං තිබුණෙ එක යි. කිසි ම දවසක ඒ රෝහල ඉලක්ක කර නොගත්තු බව ඔප්පු කරන්න අවශ්‍ය කරන ඡායාරූප අපි ළඟ තියෙනවා. … රෝහලකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වුණා නං … ඊට ඉස්සෙල්ලා අපි ඒ විදියෙ සායනික ස්ථානවල හිටපු එල්ටීටීඊ නිලධාරීන්, ඒ විදියෙ ස්ථානවල තිබුණු ඒ ගොල්ලන්ගෙ කඳවුරු ඉවත් කරපු හැටි මම දන්නවා – අපිට රෝහලකට ඒ දේ කරන්න වුවමනා වුණා නං අපි ඒකත් කරන්න තිබුණා. ඒක සම්පූර්ණයෙන් ම ඉවරයක් කරල දාන්න නං වුවමනාව තියෙන්නෙ, උදාසීනව ඒ කටයුත්ත කරන්නෙ මොකට ද?”
2009 අප්‍රේල් 23 වන දා ගෝඨාභය රාජපක්ෂ බීබීසීයට මෙසේ කියනු මට මතක යි: “ඉතිරි වෙලා ඉන්න සිවිල් වැසියන් මුදා ගන්න අපි බොහොම හෙමින් යුද මුක්ත කලාපයේ දකුණු පැත්තට යමිනු යි ඉන්නෙ. අපේ හමුදා බරපතළ වෙඩි බලයක් යොදා ගන්නෙ නැහැ. ඒ ගොල්ලො යොදා ගන්නෙ තුවක්කු යි ශාරීරික ආයුධ යි විතර යි.”

2009 මැයි 18 වන දා මහින්ද සමරසිංහ මෙසේ නිවේදනය කරනු මට මතක යි: “ලේ බිඳුවක් වත් නො හෙළා දෙමළ සිවිල් වැසියන් සියලු දෙනා මුදා ගත්තා.”

සටනට කොටු වී 70,000 සිට 100,000 දක්වා වූ ජන සංඛ්‍යාවක් තව මත් ප්‍රදේශය තුළ සිටින බව මාර්තු මස මැද දී ප්‍රකාශ කළ රජීව විජේසිංහ, ආධාර ඉල්ලා කළ ආයාචනවල දී අතිශයෝක්තියට නංවන ලද සංඛ්‍යා යොදා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය විවේචනය කරනු මට මතක යි.

පහර කා, බියට පත්ව, සාගින්නෙන් සහ පිපාසයෙන් පෙළී අප්‍රේල් සහ මැයි මාසවල දී මිලිටරිය කඩිමුඩියේ ගොඩ නැගූ කඳවුරු තුළට ගලා එමින් සිටි දෙසිය දහසකට වැඩි මිනිසුන් – ඔවුන්ගෙන් බොහෝ දෙනා ළමුන්, කාන්තාවන් හෝ වැඩිහිටියෝ වූහ – පිළිබඳව ලියැවුණු වාර්තා කියවනු ද ඔවුන්ගේ ඡායාරූප නරඹනු ද මට මතක යි. ඉවත් වී යා නො හී ඔවුන් මාස ගණනක් තිස්සේ ඒවා තුළ රැඳී සිටිනු ඇත.
දිවි ගළවා ගත් සියලු දෙනාට ශිෂ්ට සම්පන්න ආකාරයෙන් නවාතැන් සැපයීමටත් ඉඩ මදිව තිබුණු වව්නියාවෙහි කඳවුරු ඉදි කරනු වස් දහස් ගණන් ගස් කපා හෙළමින් ආණ්ඩුව ඉඩම් අක්කර සිය ගණනක් සමතලා කරනු මට මතක යි.

2009 දී සටන් බිමෙන් පලා යාමට උත්සාහ දරද්දී එල්ටීටීඊය වෙඩි තබා ඝාතනය කළ ජනයා මට මතක යි.

බංකර ගොඩ නගා මූලෝපායාත්මකව වැදගත් කොටි කඳවුරු ආරක්ෂා කරන ලෙස බල කරනු ලැබීමෙන් පසුව ඝාතනයට ලක් වුණු සහ තුවාල ලද ජනයා මට මතක යි.

අවසන් සටන්වල දී මියෙන තෙක් සටන් වදින ලෙස එල්ටීටීඊය කළ බල කිරීමට ගොදුරු වූ ළමුන් මට මතක යි.

එල්ටීටීඊය තම සංවිධානයට බඳවා ගෙන එහෙත් ඒ වන විට ආණ්ඩුවේ “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල රැඳී සිටි තරුණයන් 2002 දී යාපනයේ දී හමු වුණා මට මතක යි. යම් දිනක තමන්ට සාමාන්‍ය සහ සුරක්ෂිත ජීවිතයක් ලැබෙනු ඇතැයි ඔවුන් තුළ පැවති බලාපොරොත්තුව ද මට මතක යි.

රිදවීමේ සහ පලි ගැනීමේ චක්‍රය නොකඩවා පවත්වා ගෙනයාමේ අරමුණ ඇතිව ලද පරාජය ද කෝපය ද සිරුරු ද ආයුධ බවට හරවන්නැයි එල්ටීටීඊ නායකයන් කළ ඒත්තු ගැන්වීම දරා ගෙන මරා ගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වූවන් කළ බෝම්බ පිපිරවීම් සංඛ්‍යාව මට මතක යි.

දේශපාලන ප්‍රචණ්ඩත්වය නිසා ඝාතනයට ලක් වූවන් සිහි කිරීමේත් ජීවිතයේ අනුල්ලංඝනීය භාවය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටීමේත් අදහසින් දෙමළ, සිංහල, මුස්ලිම් සහ විදේශීය කලාකරුවන් කොළඹ වීදි මතුයෙහි විචිත්‍ර පුෂ්පයන් ද පරෙවියන් ද චිත්‍රණය කරනු බලා සිටියා මට මතක යි.

1998 දී එල්ටීටීඊය මහ බැංකුවට බෝම්බ ගැසූ අවස්ථාවේ දී සියලු ජනවර්ගවලට අයත් සියයකට ආසන්න ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වනු ද තුන්සියයකට ආසන්න ජන සංඛ්‍යාවක් තුවාල ලබනු ද මට මතක යි.

නැගෙනහිර පළාතෙහි සිදු වුණු එල්ටීටීඊ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වුණු, භීතියට පත් වුණු සහ තම ඉඩකඩම් අත හැර යාමට බල කෙරුණු සිංහල ගොවියන් සියලු දෙනා සහ ඔවුන්ගේ පවුල් මට මතක යි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ග්‍රාමාරක්ෂකයන් සහ එල්ටීටීඊය පතුරා හළ ප්‍රචණ්ඩත්වය ද කළ තර්ජන ද නිසා උතුරු නැගෙනහිර තම ඉඩකඩම් අත හැර යාමට බල කෙරුණු දෙමළ සහ මුස්ලිම් ගොවියන් මට මතක යි.

2005 නත්තල අද්දර දී මඩකලපුවෙහි පිහිටි සාන්ත මයිකල් පල්ලියේ දී සිදු වුණු ජෝසප් පරරාජසිංහම් ඝාතනය ද එමෙන් ම වසර ගණනාවක් පුරා ඝාතනයට ලක් වුණු දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනා ද මට මතක යි.

දෙමළ ජාතිය පාවා දුන්නේ යැයි එල්ටීටීඊයෙන් ඝාතනය කෙරුණු ඒ. අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම්, රාජිනී තිරාණගම, කන්දයියා ‛රොබට්’ සුබදිරන් යන අයත් මරා දැමුණු දෙමළ නිදහස් චින්තකයන් සියලු දෙනාත් මට මතක යි. විමුක්තියේ නාමයෙන් දෙමළ සටන්කරුවන් අතින් ම ඝාතනය වුණු දෙමළ සටන්කරුවන් සියලු දෙනාත් මට මතක යි.

සිංහල ජාතිය පාවා දුන්නේ යැයි ද සත්‍යය ප්‍රකාශ කිරීම සඳහා පැවති කැප වීම නිසා ද පහර කෑමට ලක් වුණු, ඝාතනය වුණු, අතුරුදන් වුණු හෝ රටින් පිටුවාහල් වීමට බල කෙරුණු ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීන් සියලු දෙනා මට මතක යි.

කේතීශ් ලෝගනාදන් මා කෙරෙහි පළ කළ ත්‍යාගවන්ත භාවය සහ මට දැක්වූ සහාය ද එමෙන් ම යුද වැදී සිටින සියලු පාර්ශ්වයන් වෙත සිය අදහස විවෘතව කියා පෑමට ඔහු තුළ වූ ධෛර්යය ද මට මතක යි.

1990 ඔක්තෝබරයේ දී එල්ටීටීඊය මුස්ලිම්වරුන් 80,000ක් හෝ ඊට වැඩි ගණනක් නැගෙනහිර පළාතෙන් නෙරපා හරිනු මට මතක යි. තමන් උපන් බිම කරා ආපසු පැමිණ සිය ජීවිත යළි අරඹන්නට ඔවුන් නොකඩව අරගල කරනු ද මට මතක යි.

2006 අගෝස්තුවේ දී මුතූර්හි දී ඝාතනයට ලක් වුණු ඇක්ෂන් කොන්ට්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන් දහහත් දෙනා මට මතක යි.
2006 ජනවාරියේ දී ත්‍රිකුණාමලයේ දී වෙඩි තබා මරා දැමුණු සිසුන් පස් දෙනා මට මතක යි.

2006 සැප්තැම්බරයේ දී පොතුවිල්හි දී ක්‍රූර ලෙස මරා දැමුණු කම්කරුවන් දස දෙනා මට මතක යි.

පරීක්ෂණ පවත්වන බවට ආණ්ඩුව දුන් පොරොන්දු ද පරීක්ෂණ කොමිසම සහ ජනාධිපති කාර්යාලය පළ කළ නිහඬතාව ද මට මතක යි.

ශ්‍රී ලංකාව හැර පියා ගොස් ආණ්ඩුවේ හිරිහැර කිරීම්වලින් ගැළවී සැනසීමෙන් ජීවත් විය හැකි යම් ස්ථානයක් සොයා ගැනීමට උදව් කරන ලෙස ඇක්ෂන් කොන්ට්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් මට ආයාචන කළා මට මතක යි.

තම සොහොයුරන්ගේ දෘෂ්ටිමය අනම්‍යතාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ කාත්තන්කුඩිහි සුෆි මුස්ලිම්වරුන්ට ශාරීරිකව ප්‍රහාර එල්ල වනු මට මතක යි.

බිඳුනුවැව ගම්මානයෙහි රමණීය කඳු ගැටයක් මතුයෙහි තිබුණු දැවී හළුව ගිය ඇඳ පුටු ද බයිසිකල ද එමෙන් ම විනාශයට පත් නේවාසිකාගාර ද දුටු සැටි මට මතක යි. ඉතා දරුණු අන්දමින් සිරුරු කපා කොටා දමා තිබුණු සිය පුතුන්ගේ අවමංගල්‍යයට සහභාගි වී සිටි දෙමළ පවුල් හමු වුණු සැටි ද මිය ගියවුන් හඳුනා ගත නොහැකිව, මිහිදන් නොකොට, මරණ සහතික නොලැබ වසර ගණනාවක් ගෙවී ගොස් තිබුණු සැටි ද මට මතක යි.

ක්ෂතියෙන් ද නින්දාවට පත් වීමෙන් ද තමන් ඇළුම් කළවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල වීම නිසා දරන්නට සිදු වුණු මූල්‍යමය වියහියදම්වලින් ද පවුල් සී සී කඩව ගොස් තිබුණු බිඳුනුවැව සිංහල ජනයාට කතා කළා මට මතක යි.

1956 දී කොළඹ දී පැවති සාමකාමී විරෝධතාවකින් පසුව පහර කා ලේ වැකිව සිටින එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ සහ අනෙක් දෙමළ දේශපාලනඥයන්ගේ සේයාරූ මට මතක යි.

1981 දී ශ්‍රී ලංකාවේ කැබිනට් ඇමතිවරයෙකු පිටත් කර යැවූ මැරයන් යාපනය මහජන පුස්තකාලය දවා හළු කිරීමෙන් පසුව ගත් ඡායාරූප මට මතක යි.

ප්‍රතිසංස්කරණය කරන ලද, එහෙත් දීප්තිමත් ධවල වර්ණ සායම නිසා කමනීය වුණු මුත් යළි කිසි දා ලද නොහැකි පොත් සහ අත්පිටපත් නැතිකම නිසා තව මත් කැළැල්ව තිබුණු යාපනය මහජන පුස්තකාලය නැරඹීමට 2002 දී සංචාරය කළා මට මතක යි.

1983 ජුලි සංහාරයේ දී ඝාතනයට ලක් වුණු දහස් ගණන් දෙමළ ජනයා ද අනාථ කඳවුරුවල දිවි ගෙවීමට සහ තමන් උපන් බිම අත් හැරීමට බල කෙරුණු සියදහස් ගණන් ජනයා ද මට මතක යි.

ජුලියේ පිස්සු වැටුණු මැරයන්ගෙන් දෙමළ ජනයා රැක ගනු පිණිස උදව් දුන් නිර්භීත සහ උදාර සිංහලයන් සහ මුස්ලිම්වරුන් බොහෝ දෙනා මට මතක යි.

1971 දී සහ 1980 ගණන් අග දී ආණ්ඩුව සහ ජවිපෙ අතින් ඝාතනයට සහ අතුරුදන් වීමට ලක් වුණු දසදහස් ගණන් සිංහල තරුණයන් මට මතක යි.

මට ධම්මපදයේ එන වචන මතක යි: “මොලොව දී වෛරයෙන් වෛරය නො සංසිඳේ. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් පමණකි. මෙය සදාකාලික නීතියකි.”

2008 සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කිලිනොච්චියෙහි පිහිටි සිය ප්‍රධාන කාර්යාලයෙන් තම ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමේ පුවත අසා සිටිනු මට මතක යි. නැවතී තමන් ආරක්ෂා කරන ලෙස අපේක්ෂා භංගත්වයට පත් සිවිල් වැසියන් ඔවුන්ට ආයාචන කරන ඡායාරූප නරඹනු ද මට මතක යි.

“සිවිල් වැසියන් ඉලක්ක කර ගන්නා හෝ සිවිල් වැසියන්ට මානුෂීය සහාය සැපයීමට හිතාමතා බාධා කරන සන්නද්ධ ගැටුම් තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ පරිදි ක්‍රියා කරන බවට” එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දුන් ප්‍රතිඥාව මට මතක යි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියා කිරීමට ආරක්ෂක මණ්ඩලය අසමත් වනු ද මට මතක යි.

අප්‍රේල් මස අග දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රන්ස විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් ශ්‍රී ලංකාව වෙත කළ සංචාරය ද සටන් විරාමයක් සඳහා සහ කොටින්ට සිය ආයුධ බිම තබා සිවිල් වැසියන්ට ප්‍රදේශයෙන් ඉවත් වී යාමට ඉඩ දෙන ලෙස ඔවුන් කළ කැඳවුම ද මට මතක යි.

යටත් වන ලෙස කොටින්ගෙන් ඉල්ලා සිටිමින් ද සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශවලට වග විභාගයක් නැතිව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස සහ තව මත් කොටු වී සිටින දසදහස් ගණන් ජනයා වෙත ප්‍රවේශ වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ සලසා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් ද 2009 මැයි 13 වන දා ජනාධිපති ඔබාමා කියූ වචන මට මතක යි. ඔබාමා මෙසේ කීවේ ය: “දුක්පීඩාවන්ගෙන් ඇළලී ගිය මේ මොහොතෙහි, ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව වැඩ කිරීමට නැගී හිටින්න එක්සත් ජනපදය සූදානම්. පමා වෙන්න කාලයක් තියෙනව ය කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ. තව තවත් මානුෂීය දුක්පීඩාවන් ඇති වෙන එක වැළැක්වීමට අපි සියලු දෙනා ම එක් වී වැඩ කළ යුතු කාලය යි දැන් එළඹිලා තියෙන්නෙ.”

ඉන් යන්තම් දින කිහිපයක් ගෙවුණු තැන, ආණ්ඩුව වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීම පිළිබඳ පුවත නිවේදනය කළා මට මතක යි.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ නාමයෙන් ගුවන්තනාමෝ හමුදා කඳවුරෛහි ද භග්රම් ගුවන් හමුදා කඳවුරෛහි ද රඳවා ගනු ලැබ ක්‍රූර වධබන්ධනවලට ලක් කෙරුණු සියලු ජනයා මට මතක යි. ජාත්‍යන්තර නීතිය සහ මානව විනීතතාව උල්ලංඝනය කළේ ය යන පදනම මත බ්‍රිතාන්‍ය සහ අනෙක් යුරෝපා ආණ්ඩුවල සහාය සහිතව එක්සත් ජනපදය පැහැර ගෙන ගොස් “අතිශය අසාමාන්‍ය අයුරින් කීකරු කර ගන්නා ලද” සියලු දෙනා ද මට මතක යි. 2001 සැප්තැම්බර් 11 වන දායින් පසුව මගේ ම රට අළලා ගත් වියරුවත් මට මතක යි. ඉරාක සහ ඇෆ්ඝනිස්ථාන යුද්ධවල දී ඝාතනයට ලක් වුණු සියලු දෙනාත් මට මතක යි.

2009 මැයි 24 වන දා මහින්ද රාජපක්ෂ සහ බැන් කි-මූන් පැවසූ වදන් මට මතක යි. “ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතිවල සඳහන් පරිදි සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහාත් ආරක්ෂා කිරීම සඳහාත් තමන් තුළ පවතින බලගතු කැප වීම ශ්‍රී ලංකාව යළි ප්‍රකාශයට පත් කළේ යැ”යි ඔවුහු කීහ. එමෙන් ම, “ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලියක් පැවතීමේ වැදගත්කම පිළිබඳව මහ ලේකම්වරයා අවධාරණය කළේ ය” යන වදන් පෙළත් “එම දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගැනීම” සඳහා ආණ්ඩුව පොරොන්දු දෙනුත් මට මතක යි.

මෙම වසර මුල දී ගෝඨාභය රාජපක්ෂ බීබීසී වාර්තාකරුවෙකු හමුවේ මෙසේ කියනු මට මතක යි: “එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වුණත් වෙන රටකින් වුණත් මේ රට තුළ කිසි ම පරීක්ෂණයක් පවත්වන්න අපි – මම – ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුවක් නැහැ. මේ රට ඇතුළෙ කිසි වැරැද්දක් වෙලා නැහැ. මා කියන දේ විශ්වාස කරන්න. මේ රට තුළ කිසි ම දෙයක් ගැන කිසි ම පරීක්ෂණයක් පැවැත්වෙන්නෙ නැහැ.”

ඇලන් කීනන් යනු ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ (International Crisis Group) ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකි. පසු ගිය දස වසර තිස්සේ ඔහු විටින් විට ශ්‍රී ලංකාවෙහි ජීවත් වෙමින් පර්යේෂණ කටයුතු කර ඇත.