‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා.

මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි.

අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා, අපිව සුදානම් කර ගත යුතුයි. වසර 69 කටත් වඩා වැඩි කාලයක සිට අපි අපේ අයිතිවාසිකම් ඉල්ලනවා. අපේ අඩු පාඩු කියනවා. ඒත් එය බීරි අලින්ට වීණා වාදනය කරන්නා වගෙයි.

නිදියමින් සිටින අයව ඇහැරවන්න පුළුවන්. ඒත් නිදියමින් සිටිනවා වගේ රඟපාන අයව ඇහැරවන්න බැහැ. ඒත් එලෙස රඟපාන අයවත් නැගිට්ටවන්න පුළුවන්, මූණට වතුර ඉහලා. මෙලෙස නිදියමින් සිටිනවා වගේ රඟපාන අයව වතුර ගසා නැගිට්ටවීමේ අරමුණිනුයි අපි ‘එළුග තමිල්’ පවත්වන්නේ…,

යැයි පසුගිය 10වනදා මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ රැළියේදී, (Justice)කණගසභාපති විෂුවලින්ගම් විග්නේශ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේ විශාල ජනතාවක් අමතමිනි.

ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුටත් මෙසේ ද පැවසීය,

අපි පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන්. අපි වෙනුවෙන්. ඒත් අපි රටේ පවතින තත්ත්වය විකෘති කරන බව පවසා අපිට වැරදිකාරයෝ කියලා කියනවා. අපි අනෙක් දේශපාලඥයින් වගේ හිටියොත්, නැතිනම්  ඒ අයට පක්ෂ වුවහොත් අපිට ‘යහපාලනයේ සහතිකය‘ ලැබෙනවා. ඒත් අපි නිරන්තරයෙන් අපේ අඩුපාඩු පැවසුවහොත් එය සමඟියට හානිකර ක්‍රියාවක් බව පවසනවා. අපිට අවශ්‍ය දේ මොනවාදැයි කියා නොතකා ඔවුන් අප වෙත ලබා දෙන්නේ කුමක්දැයි යන්න පමණක් ම ඔවුන් සිතමින් කටයුතු කරනවා. තව ටික කාලයක් යන කොට අපි ත්‍රස්තවාදීන් යැයි කියාවි. දැනටමත් කියනවා දැයි අපි දන්නේ නැහැ. අනෙක් අතට ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතිය තවමත් පවතිනවා.

කෙනෙක්, තව කෙනෙක්ව මරණවා, නැතිනම් ගහලා වද දෙනවා,  කියමුකෝ.  මෙය සාමාන්‍ය නීතිය යටතේ වැරැද්දක්. ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතිය යටතේත් වැරද්දක්.  නමුත් මෙවැනි ක්‍රියාවක් ත්‍රස්තවාදී පනත යටතේ ගොනු කරන්න ආණ්ඩුවට කිසිසේත් ම හැකියාවක් නැහැ. මෙවැනි තීරණ ගනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන්, හමුදාව නැතිනම් පොලීසිය. මෙහෙමයි අපේ ජනතාව ත්‍රස්තවාදීන් කරන්නේ. රජය හිතුවොත් කෙනෙක් ත්‍රස්තවාදියෙක් කරන්න පුලුවන්.  ඒ රජයම හිතුවොත් කෙනෙක්ව ත්‍රස්තවාදියෙක් නොකරන්නත් පුළුවන්.

රජයට පුළුවන් කවුරුන් හෝ, ත්‍රස්වාදියෙක් කරන්නත්, නැතිනම් සාමාන්‍ය වැරදිකරුවෙකු කරන්නත්.

කෙනෙක්ව ත්‍රස්තවාදී නීතිය යටතේ සැකපිට අත්අඩංගුවට ගන්නේ කෙසේද යන වග, කෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියාවක නිරතවනවා නම් ඔහුව හඳුනාගන්නේ කෙසේද කියන වග, නීතියේ සඳහන් වෙන්නේ නැහැ. රජය හෝ රජයේ සාක්ෂි කෙනෙකුව ත්‍රස්තවාදියෙකු කරනවා නම් එයම ගරු අධිකරණයත් පිලිගන්නවා. සත්‍ය වශයෙන්ම වැරැද්දක් උනාද? නැද්ද? කියලාවත් අධිකරණය සොයා බලන්නේ නැහැ. මෙය අපේ අධිකරණය සම්බන්ධ අත්දකීම්.

අයිතිය ඉල්ලන්නෝ, අඩු පාඩු ප්‍රකාශ කරන්නෝ… මේ සියළු දෙනාම රජයේ ඇසට අනුව ත්‍රස්තවාදීන්. එදා සුද්දා සමඟ සටන් වදිනකොට වීරපුරන්අප්පු වැනි අය ඉල්ලුවෙත් අයිතිය. සුද්දගේ නීතියට අනුව වීර පුරන් අප්පු, කැප්පිටිපොල වැනි අයත් ත්‍රස්තවාදීන්. සුද්දාගෙන් නිදහස් වුනාට පසුව මේ අය ත්‍රස්තවාදීන් වූවාද? නැහැ!!! සිංහල ජතාවට ඒ අය වීරවරුන් වුණා. අද අපිව ත්‍රස්තවාදීන් ලෙස දකින්නන් මේ පිළිබඳව සිතා බැලිය යුතුයි. අපේ අයිතීන් ඉල්ලීම වැරැද්දක් නොවන බව සිංහල සහෝදරයින් තේරුම් ගත යුතුයි.

තවමත් අපේ ප්‍රදේශවල දැඩි හමුදා පාලනයක්  පවත්වාගෙන යනවා.

ත්‍රස්තවාදී නීතිය ක්‍රියාත්මක කරනවා.

හය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ක්‍රියාත්මක කරනවා.

මෙවැනි තත්ත්වයකත් ඔයාලා අයිතීන් ඉල්ලනවා නම්, ඔයාලා ත්‍රස්තවාදීන්ම තමයි. මෙයයි දේශපාලන වාතාවරණය.

නිදහස, අයිතීන් අහිමි, අය තමයි ‘නිදහස’ සහ ‘අයිතීන්’ ඉල්ලන්නේ. අයිතීන් තියෙනවා නම් ඇයි වැස්සට තෙමිලා,අව්වට කරවෙලා අයිතීන් ඉල්ලන්නේ. නැති නිසානේ අපි ඉල්ලන්නේ. මෙය සිංහල ජනතාව තේරුම් ගත යුතුයි.

අවසන් යුද්දේ කාලයේ රජය ක්‍රියාත්මක උණේ  ලෝක යුද නීතියටත් පටහැනිව බව සිංහල ජනතාව හැමෝම දන්නවා. ඒ කාලයේ මැරුවේ සටන්කරුවන් විතරක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවත් විශාල ප්‍රමාණයෙන් මරනු ලැබුවා. ඒ මරපු අයගේ සංඛ්‍යාව සංශෝධනය වී ඉතා කුඩා සංඛ්‍යාවක් ලියකියවිලිවල සඳහන් කර තිබෙනවා. මේ සංඛාව 2015 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන විට ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකා රජය එකට එකතු වී එය පිළිගනු ලැබුවා.

රජය පොරොන්දු වූ කිසිවක් ඉටු කර දෙන්නට තවම ඉදිරිපත් වුණේ නැහැ. කේප්පාපිලවූ වල ඉඩම් අක්කර ගණනින් කොන්ක්‍රීට් කණුවල කම්බි බැඳ හමුදාව යටතේ තියාගෙන ඉන්නවා. ඒ ඉඩම් අතර ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයකුත් තියනවා. ඒ ඉඩම් වෙත මිනිසුන්ට ලඟා වෙන්න බැහැ. නාවික හමුදාව, යුධ හමුදාව සහ ගුවන් හමුදාව එයට ඉඩ දෙන්නේ නැහැ. එයට විරුද්ධව අපේ ජනතාව අරගල කරද්දී එයාලට කරදර කරනවා. ඇයි කියලා මෙයාලගෙන්  ඇහුවොත් ඒකට කියනවා ආරක්ෂාව නිසා ය කියලා. කාගේ ආරක්ෂාවට ද? අපේ ආරක්ෂාවට ද, ඔයාලගේ ආරක්ෂාවට ද? නැතිනම් දේශපාලකයන්ගේ ආරක්ෂාවට ද? කියලා ඇහුවොත් එයට ලබා දෙන්න ඔවුන්ට පිළිතුරක් නැහැ. අපිට ඔයාලගේ  ආරක්ෂාවක් අවශ්‍ය නැති බව අපි නැවත නැවතත් කියනවා. පොලිස් ආරක්ෂාව පමණක් ඇතැයි, අපි කිව්වත් එය පිළිගන්නේ නැහැ. මෙයට විරුද්ධව අපි නැගී සිටියොත් අපි සාමය නැති කරනවා යැයි අපිට දෝෂාරෝපණය කරනවා.

ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව යටතේත් පවත්වාගෙන යන දැඩි හමුදා පාලනය නැති කරන්න ඕන. යුද්ධයෙන් පීඩා විදි ජනතාවගේ හැගීම්, පීඩනය තේරුම් ගත හැකි පොලීසියක් පමණක් උතුරු නැගෙනහිරට යොදවන්න ඕන. යුද්දෙ අවසන් වෙලා වසර 08ක් ගත වුවාට පසුවත් හමුදාව අයින් නොකිරීම පිටුපස සැඟවිලා තියෙන්නේ මොකද්ද?

LTTE ය සහමුලින්ම නැති කර දැම්මා කියනවා. එහෙනම් මොකටද මේ දැඩි හමුදාවක් උතුරට සහ නැගෙනහිරට. ඇයි මෙහෙම කරන්නේ? විශාල හමුදාවක් දකුණේ, තියා ගන්න ඉඩ නැති නිසා ද උතුරු නැගෙනහිරට එයාලව යොදවා  තියෙන්නේ? නිදහසේ හුස්ම ගන්න, සුළඟ ආශ්වාස කරන්න, නරකයි යැයි සිතා මෙහෙම දෙයක් කරනවාද? නැතිනම් අපේ ඉඩම් බලය අත්පත් කර ගනිමින්, ධීවර රැකියාව ට බාධා ඇති කරමින්, කෘෂිකර්මාන්තය අඩාළ කරමින් අපේ ජනතාවගේ ආර්ථික බලය නැති කර අපිව යටත් කර ගැනීමට උත්සාහ ගන්නවා ද?

ඒ විතරක් නෙවෙයි, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපිට ලබා දුන් අල්ප අයිතියත් නැවත ලබා ගැනීමට රජය උත්සාහ ගන්නවා.

සමහර දේශපාලකයින් සහ සිංහල අයගෙන් විශේෂ පිරිසක් පමණක් හරි අපුරු දෙයක් කියනවා. ඔයාලා අරගල කරලා දේවල් ඉල්ලුවොත්, අපි දෙන එකත් දෙන්නේ නෑ කියලා කියනවා.

‘කොහෙද මහත්තයෝ ඔයාලා දුන්නේ? දෙනවා කියලා කිව්වා මිසක් දුන්නේ නෑ නේ තවම. නොදුන්න  නිසානේ මේ අපි කියන්නේ  දෙන්න කියලා.‘ අපේ අයිතීන් අවුරුදු 60 ක් පමණ නොදී දැන් අපි ඉල්ලුවොත් දෙන්නේ නෑ කියලා කියන එක සාධාරණද? අපි දෙන එක විතරයි දෙන්නේ, ඔයාලා ඉල්ලන ඒවා දෙන්නේ නෑ කියන එක නේද මේ කියන්නේ. ඒත් නීතියෙන් එසේ කියන්නේ නෑ. අයිතීන් තියෙන්නේ මහ ජාතියට පමණක් බවත්, සුළු ජාතීන්ට අයිතිවාසිකම් නැති බවත් නීතියේ සඳහන් වෙන්නේ නෑ. උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක් මහජාතිය අපි. එහෙම බැලුවොත් අපිත් අපේ ප්‍රදේශවල මහජාතිය. සුළු ජාතීන්ට සහ මහ ජාතීන්ට යැයි කියා නීති සඳහන් වෙලා නැහැ.

අපිට අහිමි අපේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රීයව ඉල්ලීම, ත්‍රස්තවාදී ලෙස හෝ සාමයට විරුද්ධ ලෙස යැයි ප්‍රකාශ කරන්න කිසිඳු හැකියාවක් ආණ්ඩුවට හෝ වෙන කාටවත් නැහැ. එක්සත් ජාතීන් සඳහන් කරන අයිතිවාසිකම් වලට අනුව ඔවුන් පිළිගන්නා සියළු අයිතිවාසිකම් සාමාජිකත්වය තිබෙන රටවල් පිළිගත යුතුයි. අයිතිවාසිකම්, විශේෂයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දුන්නනේ කියලා කියනවා සමහර  සිංහල අය. ඔයාලා කෙහෙද දුන්නේ? ඉන්දියාවේ පිහිටෙන් අපට එය ලැබුණේ. එයද ඉන්දියාවට නොදැනුවත්ව සංශෝදනය කළ පසුවයි එය ලබා දුන්නේ. ඔයාලට එය අපිට දෙන්න ඕන කමක් තිබුණා නම් එය නොඉල්ලාම දෙනවා.

2015 සැප්තැම්බර් මාසයේ ජිනීවාවල ඉටුකර දෙනවා යැයි කියූ විසඳුම් 20  ක් පමණ ඉදිරිපත් කලා. එයින් කිසිවක් තවම ලබා දීලා නැහැ.

යුද අපරාධ විමර්ශන අවශ්‍ය නොවන බව චන්ද්‍රිකා මැතිනිය කිව්වා. මේ දෙකට කිසිඳු සම්බන්ධයක් නැහැනේ. වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්න ඕන. යුද්ධයෙන් බලපෑමට ලක් වුවන්ට සාධාරණය ඉටු විය යුතුයි. බලපෑම් වල‍ට ලක් වුවන්ගේ තත්ත්වය මිළ කරන්න උත්සාහ ගන්නවාද චන්ද්‍රිකා මැතිණිය?

අපේ ඉඩම්වල දකුණේ අයව පදිංචි කරනවා. අපට අයිති ඉඩම් තමන්ගේ කර ගනිමින් බලවත් වෙන්න උත්සහා කරනවා. රජය තමන් කළ වැරදි වහගෙන අපිට වැරදි පටවන්නට උත්සාහ ගන්නවා.
අනෙක් පැත්තෙන්, අපේ දේශපාලන අයිතීන් සහ නිදහස අළුත් ව්‍යවස්ථාවට අන්තර්ගත කරන්නැයි සාමකාමීව ප්‍රකාශ කරන වැඩසටහනක් ලෙස ‘එළුග තමිල්‘ පැවැත්වෙනවා. අපි එළුග තමිල් යාපනයේ පවත්වන විට අපේ දෙමළ දේශපාලකයින් පවා කිව්වා අපි අළුත් පක්ෂයක් ආරම්භ කරන්න යනවා කියලා. එයාලා වෙනුවෙන් අපි ඉන්නවා කියන එක අමතක කරලා එසේ ප්‍රකාශ කලා. ඒ වගේම සිංහල දේශපලකයින් කිව්වා අපි රටේ ආණ්ඩුව අවුස්සනවා කියලා. අපි රජයට විරුද්ධ ත්‍රස්තවාදී සංවිධානයක් ආරම්භ කරන්න උත්සාහ ගන්නවාය කියලත් කිව්වා. මෙවන් අතිශය වැරදි අදහස්, ඇතුලු විවිද දෝෂාරෝපණයන් නැගුවා අපිට.

නමුත් අපි දිගින් දිගටම ඉල්ලන්නේ අපේ අයිතීන්.

අයිතිය වෙනුවෙන් ජනතා ඉල්ලීම් යුද්දයක් බවට පත් වී 2009 එය අවසන් වුවාට පසුවත් ඒ බලපෑමෙන් බොහෝ පිරිසකගේ අත්, කකුල්, නැතිව දුක් විඳින තත්වයක සිටියත්, අපි අපේ අයිතීන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි.

අපිට අයිතීන් ලබා දීමට බහුතර සිංහල ජනතාවක් අකමැති යැයි, බොරුවට දිගින් දිගටම ප්‍රකාශ කරමින් රජය අයිතීන් ලබා නොදීමට කටයුතු කිරීමට, එම අදහසම යොදා ගන්නා බව ප්‍රකාශ කළ යුතුයි.

ප්‍රධාන අමාත්‍යවරයා සිංහල භාෂාවෙන් මෙසේ ද පැවසීය,

‘ සිංහල ජනතාවට මට කියන්න දෙයක් තියනවා. සිංහල ජනතාව අපිට විරුද්ධ නෑ. අපි ඒගොල්ලන්ට විරුද්ධ නෑ. සිංහල ජනතාවගේ නායකයෝ අපිට විරුද්ධව අද වෙනකං කරපු දේවල් තමයි අපිට විරුද්ධ වෙන්න හේතුව. ඒ නිසා තමන්ලා අපිත් එක්ක එක්කහු වෙලා ඔය කරපු වැරැද්ද නිවැරදි කරන්න ඕන කියලා තමන්ලාගේන් මං ඉල්ලා සිටිනවා.’

(2017 පෙබරවාරි 10වන දින, මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ රැළියේ දී සී.වි.විග්නේශ්වරන්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් පැවැත් වූ කතාව, සංක්ෂිප්ත සාරංශයක් ලෙස සිංහලට පරිවර්තනය කරන ලද්දේ අනූෂා සිවලිංගම් විසිනි.)

සබැදි සටහන්

#Video | #Photos දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්!

‘එළුග තමිල්’ ප්‍රධාන ඉල්ලීම්,

 
@VIKALPA