කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා මේ මව්වරු, පියවරු එසේ වාඩිලා සිටින්නේ පසුගිය 20වනදා සිටය. අසල ඇති විසල් හමුදා කදවුර තවමත් නැගී සිටින්නේ ඒ කොවිලටත්, කිලිනොච්චි මිනිසාගේ තිබෙන අල්ප නිදහසටත් ඉහළින් මෙනි.

‘අතුරුදන්‘….නැත.! සුපුරුදු පරිදි වසර ගණනාවක් ඇසෙන, තවමත් පිළිතුරක් නැති ‘අතුරුදන්‘ වීම මේ මිනිසුන් පිළිගන්නේ නැත. තවමත් ගෙදර ආවේ නැති තමන්ගේ දරුවා එනතුරු දේවරූප වගේම දරුවාගේ සියලු දේවල් තුරුලු කරන් මේ අම්මාවරු පියවරු දෙවිවරු අසල කදුලු සලමින් සිටියි. ‘අපේ දරුවන් අතුරුදන් උනේ නැහැ. ඔවුන් හමුදාවට භාර උනා‘ ඔවුන් කියන්නේ එයයි.

නමුත් කිසිදු මානුෂවාදී නීතියක් නොකඩා ‘යුද්ධය කලා‘ යැයි කියන ශ්‍රී ලංකා හමුදාවෝ මුලතිව් අධිකරණයේදී කියා තිබුණේ ‘බාර ගත් අයගේ ලිස්ට් එකක් නැත‘ යනුවෙනි.

නීතිය ඉදිරියේ නීතියානුකූළ සහ සියලු මානුෂවාදී නීති ආරක්ෂා කරමින් යුද්ධ කළා යැයි කියන හමුදාවකට එසේ පැවසිය හැකි ද? ප්‍රශ්ණය වන්නේ එයයි. ඒ නිසා මේ අම්මාවරු, පියවරු කෙසේ නම් මේ නීතිය විශ්වාස කරන්නද? තමන්ම හමුදාවට බාර දුන් තමන්ගේ සමීපතමයින් ගැන දැන් දන්නේ නැහැ කියන රාජ්‍ය හමුදාවෝ ඒ දරුවන්ට, තමන්ගේ සැමියන්ට කුමක්ද කළේ? ඔවුන් අසන ප්‍රශ්ණය එයයි.

එයට පිළිතුරු දීමට රාජ්‍ය බැදී සිටියි. රාජ්‍ය විසින් එයට පිළිතුරු දීම නොසලකා හරින්නේද, ඔවුන්ගේ හඩට ඇහුන්කන් නොදෙන්නේ ද? නම් සංහිදියාව, සහජීවනය වැනි කුමන වචන කීවත් ඵලක් වන්නේ නැත.

ඔවුන්ගේ දෑස්වලින් ගලන කදුලුවල ලියැවී ඇති වේදනාව, කිලිනොච්චිය පුරා වටකර ඇති විසල් හමුදාකදවුරු වලින් ආවරණය කළ නොහැකි බව ඔවුන් සිංහල බසින් ලියන ලද පහත ලියැවිල්ලේ සටහන්ව පවතී.

එහි මෙසේ සටහන් කර ඇත.

‘අවසාන යුද්ධය අවසන් වූ පසුරජය ප්‍රකාශ කළ බොරු පොරොන්දු විශ්වාස කර අපගේ ඥාතීන් අප විසින්, හමුදාවට බාර වෙන්න කියා කියපු නිසා ඔවුන් හමුදාව වෙත බාර උනා. නමුත් පොරොන්දු කඩ කළා විතරක් නොව අපගේ ඥාතීන් කොහේද ඉන්නේ කියලත්, ඔවුන්ට මොකද්ද කලේ කියලත්, රජය අද වෙනතුරු ප්‍රකාශ කළේ නැහැ‘

ලේ, කදුලු ගංගාවන් ගලා ගිය කිලිනොච්චි මැදින් ‘ බුදුන් දකින්නට නාගදීපෙ‘ වන්දනාවේ යන සිංහල මිනිසුන්ට අද දවසේ කිලිනොච්චියේ වාඩිලා සිටින මේ දෙමළ මිනිසාගේ වේදනාව ට පිළිතුරක්, සහයක් වෙන්න ඔවුන් ඉල්ලා සිටින්නේ ‘ආදරෙන්‘…

රාජ්‍ය හමුදාවෝ සිය මුග්ධ අවි බලයෙන් ඔවුන්ගේ ආත්මයන්ම තලා දැමූ පසුත්, මේ මිනිසුන් ආදරයෙන් කරන ඉල්ලීම, බලන්න! මේ ඉල්ලන්නේ ඔවුන්ගේ ජීවිතයයි!