Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි..

1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ සිවකාමි, 2015, ඔක්තෝබර් මස 18 වැනි දින තම ජිවිතයෙන් සමුගත්තාය. විමුක්ති සංවිධානය තම ජීවිතය වු ඇයට එහි මතක පිලිබද අකුරු කිරීමට හැකිව තිබුනේ, පිළිකාවක් සමග සටන් කරමින් සිටින විටදී ය. වසර තුනක් ඈ රදවා සිටි බන්ධනාගාරයේදී හෝ වසරක පුනරුත්ථාපන කදවුරේදී ඇයට, කලකදී තම ආත්මය රැදී තිබු සංවිධානය පිළිබඳ මතක විරේකයක් කර, රචනයක් කිරීමට නොහැකි වුව ද, පිළිකා රෝහලක, ඇදක සිට තම කතාවේ, තෝරාගත් මතක දිග හැරීමට හැකිවී තිබිණි.

සිවකාමි හෙවත් තමිලිනි ගේ අලුයම් සිහින පිලිබද ප්‍රවේශය ලබා ගැනීමට මා මෙලෙස රුචි වෙමි. “තහනම් ත්‍රස්තවාදී සංවිධානයක ඉදිරි පෙළ ක්‍රියකාරිනියකට සාහිත්‍යකාරියක විය හැකිද? ‘කොටි කතක්’ කෙටිකතා කාරියක වුයේ කෙසේද? එම කතා සිංහල පාඨකයින් කියවිය යුතු ද? සැබවින්ම සිංහල සාමාජය තුලින් එවන් පැනයක් නැගෙතැයි අපට නොසිතෙන්නේ මේ වන විටත් තමිලිනි නම් චරිතය පිලිබද ව සිංහල සමාජයේ යම් කතිකාවතක් ඇරඹි ඇති නිසාය ” (පිටුව v). මගේ ගැටළුව නම්, කොටි තමිලිනි පිළිනොගන්නා සිංහල සමාජය, කොටි විවේචක තමිලිනි පිළිගන්නේ ඇයි? මගේ දැක්ම නම්, කොටි ජීවිතය පිලිබද පශ්චාත්තාප වීම සිංහල ෆැන්ටසිය වීමත්, එම ෆැන්ටසිය පිනවීමට තමිලිනි නමින් ලිවූ කෘතියට හැකිවීමත් ය. එසේම, එකී ෆැන්ටසියේ තවත් දිගුවක් නම්, බඩ මැදට බෙල්ට් එක දමා, කොන්ඩ කරල් ගොතා, නවා බැදී තමිලිනිව, සාරියක්(*ඔසරියක්) අන්දවා, මේකප් දමා, පොට්ටු තබා, පුරුෂ ලිංගික මනෝබාවයන් තෘප්තිමත් කිරීම සදහා පිටකවරය වෙත යොදා ගැනීමය. කොටි ඉසිප්‍රියාට නොමැති වු ආදරයක් හිටපු කොටි සාමාජික තමිලිනි වෙනුවෙන් සිංහල හදවතේ දළුලනුයේ මෙකී, සිංහල ෆැන්ටසිය කුල්මත් කිරීමට කොටි අනන්‍යතාවය හරින ලද තමිලිනිට හැකිවූ හෙයිනි. මෙය තවදුරටත් විග්‍රහ කරන්නේනම්, 2008 , Sritharan Someetharan විසින් නිර්මාණයකරණ ලද වාර්තා චිත්‍රපටියක් වු , Burning Memories, සිංහල ප්‍රජාව බහුල පෙදෙස් හි සිනමාහලක ප්‍රදර්ශනය කිරීම වැලකෙනුයේ, එය සිංහල පිටපතේ සාමය ප්‍රශ්න කරණ හෙයිනි. එම නිර්මාණය, එක්සත් ජාතික පක්ෂ පාලන අවධියේ ගිනි තැබූ, යාපන පුස්තකාලයේ පිලිබද දෙමළ සමාජ කියවීම නියෝජනය කරයි. Someetharan ව ප්‍රතික්ෂේප කරණ සිංහල සාම ෆැන්ටසිය, තමිලිනිව වැලද ගැනීම හාස්‍යජනක වේ.

කෙසේ නමුත් මා තමිලිනි සමග එකගවන තැනක් වේ. එනම්, යුද්ධය විනාශකාරී ආයුධයක් බවය. එය දුෂණය, අහිමි කිරීම්, වේදනා හිමිකරදීම්, ජීවිතය නවතාලීම් හි ආරම්භය වේ. තමිලිනි මෙන්ම මා ද යුද්ධයට විරුද්ධය. එහෙත් තමිලිනි මෙන් මා, යුද්ධයේන් සිදු වු අපරාධ සහ, එකී අපරාධ සිදුකළ කණ්ඩායම් කිසි දිනක අමතක නොකරමි. මෙය තව දුරටත් විස්තර කිරීම උදෙසා මම, ‘මගේ පුතා ඇවිල්ලා‘ නැමති අලුයම් සිහින හි වන දෙවන කතාව වෙත අවධානය යොමු කරමි. යුධ හමුදාවේ සිටි තම අතුරුදහන් වු පුතා අරභයා ශෝකී වු මවක්, විමුක්ති කොටි සංවිධානයේ තුවාල ලබා සිටි දරුවා වෙත මවක් වීම එකී කතාවේ සාරාංශය වේ. මවකගේ දාරක ප්‍රේමය, ජාතිය, ජම්මය හෝ වෙනත් කරනා මත වෙනස් නොවන බවත්, සෑම මවකටම, සෑම දරුවෙක්ම තමාගේ, දරුවා ලෙස දැනෙන බවත්, තමිලිනි, එම කතාවෙන් ප්‍රකාශකරයි.

මට අසන්න ඇත්තේ හරිම සරල ප්‍රශ්නයකි; බාලචන්ද්‍රන් ප්‍රභාකරන් සහ රෝහිත රාජපක්ෂව, ශිරන්ති රාජපක්ෂ හට එකම ලෙස දැනුනේද? බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ නෛතික නාමය ඉදිරියෙන් ‘කොටි’ වීමත්, එනයින්ම, ඔහුව මරා දැමීමත්, රෝහිත රාජපක්ෂ, දේශප්‍රේමි කර, රොකට් හැරීමේ සුන්දර අනාගතක් පිලිබද සිහින දැකීමත්, තමිලිනිට සාධරණය කල හැකි ද? ප්‍රසුත වේදනාව, ජාතයේ වෙනස පරදා එක ලෙස දැනුනේ නම්, අතුරුදහන් වු දරුවන් ඉල්ලා, වවුනියාවේ සහ වන්නියේ දෙමළ මව්වරු සිදුකරමින් සිටින විරෝධතාවයන් වෙත සහය පලකිරීමට සිංහල මව්වරු උතුරට යා යුතු නොවේද?

මා දයාබර තමිලිනි, ඔබ සිහිනයේ දුටු දකුණ තව බොහෝ දුරය.

කෘතිය එලි දැක්වූ අවස්ථාවේ මතු වු වැදගත් කරුණක් නම්, උතුරේ ගැටළුව දකුණ නිසිලෙස වටහා නොගත් බවය. නමුත්, වටහා නොගත් එකී ගැටලුව වෙත, දකුණ පිළිතුරක් සුදානම් කර තිබේ. එම පිළිතුර, පවතින රජය සහ කොළඹ සිවිල් සමාජය එක්ව සුදානම් කර තිබේ. එහි උතුරේ නියෝජනය, කිසිසේත්ම දැකිය නොහැක. තමිලිනි සහ විමුක්ති කොටින් ගේ අරගලය වුයේ, දකුණ දෙන දේ භාර ගැනීම නොව, උතුරේ අභිලාෂ නියෝජනය කරනු ලබන පිළිතුරක් ලබා ගැනීමය. තමිලිනි තම ජිවිතයෙන් වසර 18 හෝ එයට වැඩි කාලයක් එම අරමුණ වෙනුවෙන් වැයකර ඇත. එවැනි කාලයක් තුල, සංවිධානයේ ඇභිලාශ වෙනුවෙන් වු කැපකිරීම, වසරක පුනරුත්ථාපනයෙන්, වෙනස්කිරීම, අශ්චර්යකි. එවැනි ආශ්චර්යක් තුල ජිවත් වූ තමිලිනි, තම රචනයන් තුළින් පවසන්නේ, යුද්ධයෙන්, ආබාධිත කළ උතුර, දකුණේ ඕනෑම සාම පිටපතක් පිළිගැනීමට සුදානම් විය යුතු බවය.

තමිලිනි පවසන ආකාරයට, යුද්ධයෙන් පසුව උතුර තුළ පීඩාවන් විවිධ ස්වරූපයෙන් නැවත ගොඩනැගී ඇත. හිරු මුවාව නම් ආඛ්‍යානය තුල, කුලයේ පීඩනය නැවත හිස එසවීම ඇ විසින් පෙන්වා දෙයි. කුලය පමණක් නොව, ස්ත්‍රී පීඩනය, වර්තමානයේ උතුරේ දැඩිව දැකිය හැක. එම පීඩාවන්, කුල ධුරාවලියේ ඉහල කණ්ඩායම් විසින් සහ හමුදා ශ්‍රමිකයන් විසින් සිදුකරනු ලැබේ. හමුදා ශ්‍රමිකයන් මගින් වන පීඩාව , තමිලින්ගේ රචනයේදී පරිසාම්ප්ත ලෙස මග හැරී ඇත. විශේෂයෙන්ම, ඇය සමග වු සටන් සගයන්, මුහුණ දෙන, හමුදාවේ අඩත්තේට්ටම් ඇයට නෙපෙනුනේ හෝ නොඇසි ගියේ කෙසේද?

කිලිනොච්චියහිදී මා හට මුණ ගැසුණු, හිටපු විමුක්ති කොටි ස්ත්‍රීයක පැවසුවේ, නොවැම්බර් 25දින ඇය සේවය කරන ස්ථානය වෙත කුමන හෝ හේතුවක් වෙනුවෙන් ඇය නොපැමිණියේ නම්, පසුදින ඇය වෙත, හමුදාව, සිතාගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් සමග පැමිනෙන බවය. එවැනි වු ඔබගේ සටන් සගයන්ගේ කතා, තමිලිනි අත්හැර දැමුණේ කෙසේද?

ඇයගේ පොතේ එන සුදර්ශනී මෙන්ම තමිලිනී ට ද එළියේ ජීවත්වීම අපහසු වූවා වැනිය. සුදර්ශනි මෙන් තමිලිනි ද සිංහල ෆැන්ටසිය තුළ ජීවිතය සොයාගිය බවක් ඇයගේ කෘතිය තුල වේ. තමිලිනි, ඔබ අද, බහුතරයක් වු ඔබගේ සටන් සගයන් සේ, විවිධ අරගලයන්ගෙන් පසුව ජීවිතය හැර ගොසිනි. ඔබට සැබවින්ම ප්‍රේම කළ අයෙක් වේ නම්, ඔබ ඔබ ලෙසට පිළිගත් අයෙකි. එහිදී ඔබ විමුක්ති කොටි සාමාජිකාවක් වූවාට හෝ නොවූවාට කම් නැත. ඔබට සධාතනිකව ප්‍රේම කළ කිසිවෙකුට, ඔබගේ ජිවිතයේ තීරණ පිලිබද සාධාරණීකරනය සදහා, සිංහල ෆැන්ටසියේ වස්තු විෂයක් විය යුතු නොවේ.

අරුණි සමරකෝන් | Aruni Samarakoon