මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත. මැති ඇමැතිවරු, මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති. මහින්ද පාලනයට මේ කුණු කන්ද සඳහා විසඳුම් තිබූ බව කියැවේ. ඒ අතර මානව හිමිකම් කඩවීම් නිසා ජිනීවා යන කතාද ඇසෙයි. සාමසර කන්ද නාය ගිය විටද රටතුළ තිබුනේ මෙවැනිම ගාලගෝට්ටියකි. ලංකා දේශපාලන ඉතිහාසයේ කුණු කඳු හා ඒවාට යටවී අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත​ ජීවිත විනාශයන් ගැන විමසා බලන්නේනම් යමෙකුට මෙය අලුත් අත්දැකීමක් නොවන්නේය.

1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේය. ඊට එරෙහිව පිලිප් ගුනවර්ධන සමඟ එක්ව උන්නතිකාමී සිංහල බෞද්ධ ගැමි සුලු ධනේශ්වරයේ ප්‍රකාශකයන් බවට පත්ව සිටි ජාතිවාදීන්ගේ අවශ්‍යතාවය පරිදි තම ප්‍රතිපත්තීන් සකසාගත් බණ්ඩාරනායක සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු දෙමින් 56 දී රාජ්‍ය බලය ලබා ගත්තේය. බලය ලබා ගැනීමෙන් පසු දේශීය ධනපති ක්‍රමයේ සංවර්ධනය සඳහා ලාංකීය වෙළදපල ඒකාරාශී කිරීමේ අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ධනපති පාලකයෙකු ලෙස 57 දී දෙමළ ධනපති පංතිය සමඟ​ බල බෙදීමකට ගිවිසුම්ගත විය. එසේ වුනත් අගතිගාමී සිංහල බෞද්ධ සුලු ධනේශ්වර ජාතිවාදී නායකයන් ජේ.ආර්. පෙරටු කරගෙන නුවරට පා ගමනක් අරඹමින් එ.ජා.ප ය ඊට හරස් විය. ගිවිසුම පුලුස්සා දැමිණි. 56 දී බණ්ඩාරනායක සමඟ​ නිතරග ගිවිසුමකට පැමිණ තිබුණ ද අතුරුව පැමිණි මේ සමාජ ආර්ථීක හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සම සමාජ, කො.ප. නායකයෝ ජාතිවාදීන්ට එරෙහිව බණ්ඩාරණායකට සහාය දුන්නේ නැත. ඔවුන්ගේ ජාතින්ගේ අයිතීන් පිළිබද ප්‍රතිපත්තිය “භාෂාවන්ට සමතැන” යන සීමිත වැඩපිලිවෙළින් එහාට යෑමට තරම් දියුණු වූවක් නොවීය. ඒ වෙනුවට ජනසතුව නමින් ප්‍රචලිත රාජ්‍ය ධනවාදී සැලසුම්, සමාජවාදය​ට මාවතලෙස හුවා දැක්වීය​. අනතුරුව​ ශ්‍රී.ල.නි.ප.යේ එකී ප්‍රතිපත්ති සමාජවාදී ගමන් මගේ වැදගත් සැතපුම් කණු ලෙස පෙන්වා වාමාංශික ව්‍යාපාරය​ තුළ එම මතය පිළිගන්වමින් සිරිමාවෝ සමඟ 1964 දී සභාග ආණ්ඩුවක් සෑදුවේය.

නමුත් 1965 දී මේ හවුලට ආණ්ඩු බලය අහිමි විය. අනතුරුව ජයගත් ඩඩ්ලි සේනානායකගේ හත්හවුල් සභාග ආණ්ඩුව නැවතත් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හා සමාන ගිවිසුමක් මගින් දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිගනිමින් රටේ ඒකාබද්ධ සංවර්ධනයකට මාවත පෑදීමට වෙර දැරීය. 68 දී එයට විරුද්ධව ශ්‍රී.ල.නි.ප.-කො.ප.-සම සමාජ හවුල ගෙන ගිය විරෝධතා හමුවේ එය ද ඉරා දැමිණි. එයින් වසර තුනක් ගතවෙද්දී 71 දී සිරිමාවෝගේ හවුල් ආණ්ඩුවට ජ.වි.පෙ. සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කලේය. කිසිදු විවාදයකින් තොරව කැරලිකරුවන් මර්දනයට එ.ජා.ප.ය සහය දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන විපක්‍ෂ නායකයා ලෙස​ ආණ්ඩුවට යෝජනා කලේ විදේශීය හමුදා සහය ලබාගෙන හෝ කැරැල්ල මැඩපවත්වන ලෙසය. එහිදී 15000 ක් පමණ තරුණ තරුණියන් ඝාතනය කළ බව කියැවේ. 76 දී පේරාදෙණිය වි.වි. වීරසූරිය සිසුවා සිරිමාවෝගේ හවුල් ආණ්ඩුවෙන් වෙඩිතබා මරා දැමිණි. ඒ සමඟින් පුපුරා ගිය කම්කරු පංතියේ මහා වැඩවර්ජන රැල්ල ප්‍රයෝජනයට ගැනීමට වහාම ජේ.ආර්.පෙරට ආවේය. 80 මහ වැඩ වර්ජනයේදී සෝමපාල කම්කරුවා මරා දමමින් වර්ජකයන් කනත්තට යැවිය යුතුයැයි ජේ.ආර්.ගේ ගෝලයා වූ ලලිත් ඇතුලත්මුදලි කීය. ඊට පසු එ.ජා.ප. රජය යටතේ ත්‍රීමාවිතාණ ඇතුළු වි.වි. සිසුන් පොල්පරාල ඇණ ගසා මරා දමන විට ශ්‍රී.ල.නි.ප. විරෝධය පළ කලේය. 78 දී ජේ.ආර්. විධායක බලතල සහිත ව්‍යවස්ථාවක් නිර්මාණය කරද්දී ශ්‍රී.ල.නි.ප. ඇතුලු හවුල එයට විරුද්ධ විය. 94 සිට එය වෙනස් කරන බවට පොරොන්දු දෙමින් 2015 වනතුරුම ඒ ව්‍යවස්ථාවෙන් ශ්‍රී.ල.නි.ප. ඇතුලු හවුල රට පාලනය කලේය. අදත් එය අහෝසි කරන්නට අකැමැතිය.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පට්ටා ගැසූ චන්ද්‍රිකා – මහින්ද ඇතුලු හවුල 90 වසර මුලදී වැඩ පටන් ගත්තේ විවෘත ආර්ථිකයට “මානුෂික මුහුණුවරක්” යන සටන් පාඨය යටතේය. (1994 සිට වාසුදේව නානායක්කාරද මේ හවුලට එකතු විය) 1994 ඇරඹි චන්ද්‍රිකා පාලනයේ වසර නවයක් ඇතුළතදී පුද්ගලීකරණය කළ ආයතන ගණන 57 කි. 78 සිට 94 දක්වා වසර 17 කට එ.ජා.ප. රජයට පුද්ගලීකරණය කරන්නට හැකි වූවේ ආයතන 43 ක් පමණකි. ජේ.ආර්.ගේ මැයි දින තහනම නොතකා ශ්‍රී.ල.නි.ප. සහ ජ.වි.පෙ. (මේ වන විට ජ.වි.පෙ.තහනම් කර තිබුනි) නාරාහේන්පිට අභයාරාමයේත්, ල.ස.ස.ප.- කො.ප.-න.ස.ස.ප.- ම.ප. (එක්සත් සමාජවාදී පෙරමුණ) හයිඩ් පාක් පිටිය අසලත් මැයි රැළි පැවැත්වීය. අභයාරාම මැයි පෙළපාලියට වෙඩි තබා එක් අයෙක් මරා දැමූ අතර හයිඩ්පිටියේ රැළියට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කලේය. විජය ගේ ඝාතනයෙන් පසු නැවැත 94 දී ශ්‍රී.ල.නි.ප. සමඟ එක් වූ ල.ස.ස.ප. – කො.ප.- චන්ද්‍රිකා හවුල් රජය මැයි දිනය තහනම් කලෝය. තහනම බිඳිමින් පෙළපාලි ගිය න.ස.ස.ප. යට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර දුන්හ. එයින් 15 දෙනෙකු බරපතල තුවාල ලැබීය. එ.ජා.ප. රජයෙන් මරා දැමුනු මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ගේ මරණය 94 චන්ද්‍රිකා හවුලේ මැතිවරණ වේදිකාවේ තවත් ප්‍රධාන මාතෘකාවක් විය. නමුත් 94 ශ්‍රී.ල.නි.ප. හවුල් ආණ්ඩුවෙන් මාධ්‍යවේදී නිමලරාජන් හා මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයට ලක්විය. 2005 – 2015 දක්වා වූ මහින්ද පාලනයෙන් මරා දමා ඇති මාධ්‍යවේදීන් ගණන 44 කි.

මේ ප්‍රතිවිරෝධතා මෙසේ තිබියදීම ජ.වි.පෙ. කැරලිකරුවන් මරා දමන්නට න.ස.ස.ප. හැර අනෙක් සියලුම පක්ෂ 87 දී එ.ජා.ප. ප්‍රේමදාස රජයට සහයෝගය දුන්නේය. ඒ වනවිට කැරලිකරුවන් නිසා අකර්මන්‍ය වී තිබුනු රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා කැඳ වූ වටමේස සාකච්ඡාවකට න.ස.ස.ප.ය හැර ශ්‍රී.ල.නි.ප. සිට දිනේශ් දක්වා වූ සැම සහභාගී විය. එයින් ලද එකඟතාවයෙන් සෑදූ “ඔපරේෂන් කම්බයින්” නම් හමුදා ඒකකයෙන් මරා දැමූ කැරලි කරුවන් සංඛාව 60,000 ක් පමණ වේ. සිරිමාවෝ නායිකාවගේත් මහින්ද​ගේත් එකඟතාවයන් සහිතව මේ කැරළිකරුවන් මරා දැමීමෙන් අණතුරුව කැරලිකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් මහින්ද​ ජිනීවා ගියේය. ඒ දිනවල ශ්‍රී.ල.නි.ප. ඇතුලු හවුලටත්, ජ.වි.පෙ.ටත් ශ්‍රී ලංකා යුදහමුදාව “මිනීමරු හමුදාව” විය. අනීතික ලෙස කැරලිකරුවන් මරා දැමීම “රාජ්‍ය ත්‍රස්තවාදය” විය. එහෙත් එයින් වසර විස්සක් ඉක්ම යන්නටත් මත්තෙන් මේ සියලු පක්ෂ උතුරේ කැරලිකරුවන් මරා දැමීමට එකතු විය. එ.ජා.ප​.යේ කරු ජයසූරිය ඇතුළු 17 ක් ආණ්ඩුවට එක්වෙමින් මහින්දගේ යුද දෑත් ශක්තිමත් කලේය​. එය නම් කලේ “මානුෂික මෙහෙයුම” නමිනි. මිනීමරු හමුදාව “රණවිරුවන්” විය. රාජ්‍ය ත්‍රස්තවාදය “මානුෂික මෙහෙයුම” විය. ජ.වි.පෙ.මෙහි කසකරුවන් වූ අතර න.ස.ස.ප.ය පමණක් යුද විසඳුමට​ තරයේ විරුද්ධ වෙමින් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද උද්ඝෝෂණයන් කළේය. ඒ නිසා ඔවුන් කොටි බවට මේ යුදවාදීන් විසින් එදත් අදත් හංවඩු ගැසීමට ලක් කර තිබේ. ශ්‍රී.ල.නි.ප.යේ මහින්දගේ හම්බන්තොට වරාය, පෝට් සිටි, සයිටම්වලට එදා එ.ජා.ප.ය විරුද්ධය. අද මහින්ද ඇතුලු තවත් බොහෝදෙනා විරුද්ධය. නමුත් එ.ජා.ප.ය එකඟය. මේ ලැයිස්තුව තවත් දිගුය.

මෙසේ විමසා බලද්දී බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල කුණු කන්දට වඩා මේ මජර දේශපාලන සංස්කෘතියේ කුණු කඳු බොහෝ උසය. ගඳ අප්‍රමාණය. නාය ගොස් බොහෝ කල් ය. ප්‍රතිචක්ක්‍රීයකරණයද කල නොහැක. ඒ බව මෛත්‍රී – රනිල් සම්මුතික ආණ්ඩුවේ ඉන්නා ඩිලාන් පෙරේරා, මහ ඇමැති ඉසුර, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්තගෙන් වාගේම රංගේ බණ්ඩාර, අලුවිහාරේ, තෙවරප්පෙරුම වැන්නන් ගෙන් මනාව ඔප්පුවී ඇත. (ප්‍රතිචක්ක්‍රීයකරණය කල හැක්කේ කුණු නොව අපද්‍රව්‍ය පමණි.) මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප.යේ ලේකම් ධූරයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා වීම එහි උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා අර්ථකතනය කලේ “තාත්තා සමඟ අමනාප වී අම්මා සමඟ බුදියා ගැනීමක්” ලෙසින්ය. එයට සමගාමී ප්‍රකාශයක් කළ වාසුදේව මෛත්‍රී හැදින්වූවේ “අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්තුවක් භාරගත් ඉත්තෙක්” ලෙසින්ය. ඒත් අද ඇමැතිකමක් ලැබූ නිමල් සිරිපාලට ශ්‍රී.ල.නි.ප.ය මහින්ද රෙජීමයෙන් බේරාගත් මෛත්‍රී ඉටු දෙවියෙකි. මෛත්‍රී – රනිල් ආණ්ඩුව බිඳ දමා රාජ්‍ය බලයට උරුමකම් කීමට හැකිනම් සිරිසේන ජනාධිපතිවරයා හා එක්වීමට වාසුදේව අද එක පයින් සූදානම්ය. 94 දී ශ්‍රී.ල.නි.ප.හා සංධානගත වෙද්දී වාසුදේව චන්ද්‍රිකා පිළිබඳව කැට තිබ්බේ ලංකාවේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කාර්යන් ඉටු කරන නූතන කැස්ත්‍රෝ ලෙසින්ය. ඒත් අද චන්ද්‍රිකා විරෝධීන් අතරින් ඔහු දෙවැනි වන්නේ වාසුදේව මෙන්ම චන්ද්‍රිකා පිළිබඳව ප්‍රශස්ති ගයා පසුව​ “චෞර රැජින” ලියූ වික්ටර් අයිවන්ට පමණි.

මහින්ද ගේ “පොහොට්ටුව” හට ගත්තේම කුණු පොහොර බලයෙන්මය. එය කුණු පෙති කුසුමය​. මේ කිඩාරම් පොහොට්ටුව පිපුනොත් මුලු රටටම අබසරණය. ඇතැම් කලා හා මාධ්‍යකරුවන් මේ කුණු කා ජීවත්වන පණුවන්ය. බොහෝ ජනමාධ්‍ය ආයතනයන්ද නගර සභා ට්‍රැක්ටර් හා සමානය. අවදි වූ මොහොතේ සිට නින්දට යනතුරු අදින්නේ කුණුය. ජීවත් වන්නේ දේශපාලන කුණු කඳුවලින් එකතු කරගන්නා යම් යම් අපද්‍රව්‍ය විකිණීමෙනි. සිවිල් සංවිධානද වරෙක ඒ කුණු කන්ද වටාද වරෙක මේ කුණු කන්ද වටා ද පෙළ ගැසී අපද්‍රව්‍ය ටිකක් එකතු කර ජීවිතය ගැට ගසා ගනිති. සංඝ සමාජයේ බහුතරයද කුණු වළදා, කුණු කඳු මතම සැතැපෙන්නෝය​.

ඉතින් කූර පයියට හෙණ ගැසූකල කිල්ලෝට ගැන කුමන කතාද කීවාසේ මහතැන් මෙසේනම් ජහමනයා, කට්ටඩියන්,ජොතිෂ්‍යකාරයන් ගැන කුමන කතාද ? කූඹියාගේ හැටියට නොවැ කැවුත්ත කීවාලු. එනිසා පෙනෙන නොපෙනෙන මේ කුණු කඳුවලට යට වී ඉදිරියේදීත් ජහමනයා විපතට පත්වනු ඇත. එවිට ඒ මොහොතේ විරුද්ධ පක්‍ෂයේ සිටිනා කුණු දේශපාලනඥයන්ගේ හා ඔවුන්ගේ කුණු හෙංචයියන්ගේ හීගඩු පිපෙන කුණු විරෝධතා සහ කුණු මාධ්‍ය සංදර්ශන තවදුරටත් අපට දැක බලා හැක​. ඒත් අරුමය නොවන්නේ මේ කුණු රාජ්‍ය යන්ත්‍රයට එරෙහිව හෙට දවසේ හෝ සන්නද්ධ නැගිටීමක් පැන නැඟුනහොත් සියලු කුණු කතා ඉවතලා මේ කුණු දේශපාලනඥයන් එක පෙළට හිඳ එය මර්දනය​ කිරීමය.

ඥානසිරි කොත්තිගොඩ