‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය ඇන්දේ රතු සාරියකි. තාත්තාට රතු බුෂ් කොට් එකක් තිබුණි. සමසමාජ, කොමියුනිට්ස් සහ මහජන එක්සත් පෙරමුණ යන වමේ පක්ෂ එක්ව පැවැත් වූ ඒ මැයි රැළිය වැන්නක් එදා මෙදා තෙක් යළි මෙරට රැව් පිළි රැව් දී නැත.

ගෝල් පේස් පිටිය රතු පාටින් පිරවූ ඒ ඉතිහාසීය මැයි දිනය ගැන ‘පශ්චාත්තාපයකින් තොර කොමියුනිස්ට්වාදියකු’ ලෙස තමා හදුන්වා ගත් කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිළ) නායකයාව සිටි එන්. ශන්මුගදාසන් මෙසේ ලීවේය.

“1963 වන විට වාම සමගිය සඳහා ව්‍යාපාරය බලවත් වෙමින් තිබුණි. ඒ විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ දුබල ආන්ඩුකරණය සහ අන්තවාදී ප්‍රතිගාමිත්වය යළි බලයට ඒමේ තර්ජනයත් නිසාය. 1963 මැයි දිනය වන විට සෑහෙන ප්‍රගතියක් ලබා තිබූ බැවින් වමේ පක්ෂ තුන ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීමට යෝජනා කළෝය. වමේ සමගිය සඳහා පොදු ජනතාවගේ තිබූ උන්නදුව එදා පැවැති අති දැවැන්ත පෙළපාලියෙන් සහ රැස්වීමෙන් මොනවට පෙන්නුම් කෙරුණි. ලංකාව එවැනි කිසිවක් ඊට පෙර දැක තිබුණේ නැත. ඉන් පසු ද එවැනක් දක්නට ලැබි නැත. පෙර නොවූ විරූ පරිදි දහස් ගණනින් පෙළපාලි දැක්වූවා පමණක් නොව එය නැරඹීමට මඟ දෙපස පේළි ගණනින් සැදී, සෑම හන්දියක්ම පුරවාලමින් පොදි කෑ දහස් ගණනාවක් වූ මහජන සන්නිපාතයක්ද ගලා අවෝය. ඒ වනාහී ස්වකීය හද පත්ලෙන්ම නැගී ආ අපේක්ෂාව සාක්ෂාත් වන අහල්ලාදජනක දර්ශනය දැකීම පිනිසය. එදා ගොල්පේස් පිටියෙන් පිටාර ගැලුවේ එකී මනුෂ්‍යත්වයයි”.

එදා බස් පෙළපාලි තිබුණේ නැත. දේශපාලනඥයින්ගේ පින්තූර ඔසවාගෙන යන පිරිස් සිටියේත් නැත. හැම දෙනාම පැමිණියේ තමන්ගේ වියදමෙනි.කෑ ගසා කීවේ දේශපාලන සටන් පාඨය. පොල් සම්බල්, අල බැදුම සහ බල මාලු සමඟ බත් අපිදු ගෙදර සිටම රැගෙන ආවෙමු.

අද තත්වය ඊට වෙනස් මෙන්ම සමානය. පරාජිත අන්තවාදී ඒකාධිපතිතිවය යළි බලයට කුරුමානම් අල්ලයි. අද ගොල් පේස් පිටිය පුරවන්නේ ඔවුන්ය. එදා මෙන්ම මෙදාද ආණ්ඩුව යන්නේ බකල් ගසමින් කකුලු ගමනකි. වැදගත් ප්‍රතිසංස්කරන සිදුවූ මුල් දින සියයෙන් පසු ආණ්ඩුව කර ඇත්තේ පුරසාරම් කතා පැවත්වීම සහ තරඟයට විදේශ සංචාරයන්හි නිරතවීම පමණය.

1963 වාම සමගියේ ගතිකත්වය අගමැතිනි සිරිමා බණ්ඩරනායක වහාම තේරුම් ගත්තාය. සිය බලය පවත්වා ගත හැක්කේ එම බලවේග බිද දැමීමෙන් බව ඇයට නිසඟයෙන්ම අවබෝධ විය. වාම පක්ෂ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් 21ක් උඩ දැවැන්ත විරෝධතාවක් ගොඩ නඟා ගෙන එමින් තිබුණි. ඇය වහාම එම වාම බලවේගය නතර කරනු පිණිස ඇමැතිකම් තුනක් දී සමසමාජය මිලදී ගෙන වාම සමගිය කුඩු පට්ටම් කළාය.

දැන් 2017 මැයි දින රැස්වීම් විසින් පෙන්වන ලද ගතිකත්වය මෙරට දේශපාලනය තුළ වැඩ කරනු ඇත්තේ කෙසේද යන්න අප විසින් අත නොහැරිය යුතු දේශපාලන සාකච්ජාවකි. මන්ද යත් 2015 ජනවාරි ජයග්‍රහණයන්ගේ අනාගතය රඳා පවතින්නේ වර්ධනය වන මෙම ගතිකත්වයන් විසින් නිසා ය.

පුලුවන් නම් ගොල්පේස් පිටිය පුරවැන්නැයි ආණ්ඩුව කළ අභියෝගය රාජපක්ෂ ජය ගෙන පෙන්වූයේය. සෙනඟ හෝ ජනප්‍රියතාවය දේශපාලනයක හරි වැරුද්ද පෙන්වන එකම මිනුම නොවේ. ඒ එසේ නම් හිට්ලර් හරිය. පිලිපීනයේ දුතර්තේ හරිය. මුසොලිනී හරිය. ජන්දයකට එන්නට ඉඩ තිබුණි නම් ප්‍රභාකරන් පවා හරි වන්නට ඉඩ තිබුණි.

රාජපක්ෂ ගොල්පේස් පිටිය පිරවූ නමුත් සංඛයාත්මකව ඔහුගේ දේශපාලනට විරුද්ධ පිළ කැම්බල් පිටියේදීත් නුවර ගැටඹේදීත් ඊට වඩා ඒකාබද්ධ සංඛ්‍යාත්මක බලයක් පෙන්වීය. එපමණක් නොව රටෙහි පැවැති අති බහුතර මැයි දින පෙළපාලි සහ රැළිද රාජපක්ෂ විරෝධී ඒවා වූහ. එනයින් ගත් කළ රාජපක්ෂගේ ගොල්පේස් ගණන් හැදීම සමස්ත රටට ආදේශ කළ නොහැකි එකකි. නමුත් අප මතක තබා ගත යුත්තේ රාජපක්ෂ පරාජය කළ එම දේදුනු සන්ධානය ද එහි ජීව ගුණයද අද ලිහී විසිරී යමින් තිබෙන බවයි.

එවැනි තත්වයක් යටතේ සෙනඟ කැදවීමේ රාජපක්ෂගේ හැකියාව විසින් රාජපක්ෂගේ දේශපාලනයෙහි මූලෝපායික ශක්තිය පෙන්නුම් කරන බව ඇත්තය. එමෙන්ම ප්‍රායෝගික දේශපාලනයෙහි දී එම බලය ප්‍රබල සාධකයක් බවට පත්වීම වළක්වන්නටද බැරිය. එවැනි බලයන් ගොඩ නැගී එන කළ එය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේ දැයි ආණ්ඩු බලය දරණ සහ ලබා ගැනීමට කල්පනා කරන බලවේග කල්පනා කරන්නට පටන් ගන්නේ එනිසාය.

අප මේ තර්කය මැයි දින ගතිකත්වයන්ට අදාළ කරන්නේ නම් රාජපක්ෂ සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහගේ දේශපාලනයේ හදිසි ප්‍රමුඛතාවයක් බවට දැන් පත් වීම නොඅනුමානය.

බලයෙහි රුදී සිටීමෙහි වික්‍රමසිංහගේ වර්ථමාන දේශපාලන මූලෝපාය වන්නේ රාජපක්ෂ කඳවුර ශක්තිමත් කර ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. 2002- 2004 කාලයේද රනිල් වික්‍රමසිංහ කල්පනා කළේ අනුර බණ්ඩාරනායකට එරෙහිව රාජපක්ෂ බලවත් කර ශ්‍රිලනිපය දුර්වල කළ හැකිය කියා ය. අන්තිමේදී සිදුවූ දේ අපි දනිමු. ආර්ථික වශයෙන් රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ අපාලිත ධනවාදය වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කළ හැකිය කියාය.

අනෙක් අතට ජනාධිපති සිරිසේනට බලය පිළිබඳ උපායක් ඇත්දැයි දන්නා කෙනෙක් නැත. සිරිසේන පිළෙහි දේශපාලනඥයින් ආඬි හත් දෙනාගේ කැඳහැලිය මෙන් වී ඇත්තේ එනිසා ය. සිය දේශපාලනය වටා ප්‍රබල කණ්ඩායමක් ගොඩ නඟා ගැනීමට මේ තාක් ඔහු සමත් වී නැත්තේ එවැනි දේශපාලනයක් ඔහු විසින් පෙන්නුම් නොකරන නිසාය. පසු ගිය දෙවසර තුළ විවෘත කිරීම් හා කතා පැවැත්වීම හැරුණ විට පක්ෂය සහ සිය නායකත්වය ගොඩ නැගීමට ඔහු ගෙන ඇති පියවර අල්පය.

මෙම තත්වය යටතේ රාජපක්ෂගේ ගෝල්පේස් මැයි රැළිය ශ්‍රීලනිපය තුළ ඇති කරන කම්පන තරංගයන් කළමනාකරණය කිරීම ජනාධිපති සිරිසේනට ඉතා දුෂ්කර වනවා ඇත. ශ්‍රීලනිපය තුල සිටින රාජපක්ෂවාදී ට්‍රෝජන් අශ්වයන් වර්ධනය වනු ඇති අතර වික්‍රමසිංහ සහ එජාපයෙන් කැඩී යාමට ඇති වන බලපෑම් ඉහළ යනවා ඇත. රාජපක්ෂවරු දැන් වහාම මහා මැතිවරණයක් ඉල්ලා හර්තාල් කරන බවට අනතුරු හඟවති. වෙසක් පෝයට පසු සිදුවන දේ බලා ගන්නැයි රාජක්ෂම අනාවැකියක්ද කියා තිබුණි.

මෙම දේශපාලන බලතුලනය කැඩිය හැක්කේ ඇමැති රාජිත සේනාරත්න මැයි දිනයෙහි කළ ආවේගශීලී කතාවෙහි සඳහන් වූ පොරොන්දු දෙක ඉටු ඉදිරි මාස කිහිපය තුළ ඉටු කිරීම මගින් පමණි. එකක් දූෂණ විරෝධය යථාර්ථයක් බවට පෙරලා තක්කඩි හොර දේශපාලනඥයින් සිරගත කොට මහජන විශ්වාසය දිනා ගැනීමයි. අනෙක නම් දේශපාලන විසදුමක් ලබා දීම සහ මානව හිමිකම් ප්‍රශ්ණ ආමන්ත්‍රණය කිරීම මගින් සුලුතර ප්‍රජාවන් යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්ධානයක හවුල්කරුවන් බවට පත්කර ගැනීමයි.

එසේ නොවුවහොත් වික්‍රමසිංහ යළි සුපුරුදු සැනසිළිදායක විපක්ෂ නායක භූමිකාව කරාද සිරසේන සහ තව බොහෝ දෙනෙකු අඩි හයක් යටට යෑම කරාද රාජපක්ෂ රාජවංශය යළි මෙරට පිහිටුවිම කරාද රට ගමන් නොකරනු ඇතැයි කීම දුෂ්කරය.


සුනන්ද දේශප්‍රිය
| Sunanda Deshapriya