සෞඛ්‍ය අමාත්‍යයවරයා, ඔහුගේ පුතා මෙන්ම උසස් අධ්‍යාපන අමත්‍යවරයා ආදීන් සමාජයේ පවතින බරපතළ ගැටලුවක් සමබන්ධයෙන් කතා කිරීමට ඉතාම නුසුදුසු මෙන්ම අවිනීත පුද්ගලයින් බව ඔවුන්ගේ මුඛ වලින්ම යළි යළිත් ඔප්පු කරමින් සිටිති. මොවුහු “යහපාලනයේ” ධාවක බලවේග ලෙස රංගනයේ යෙදීම අතිශය අවාසනාවක් වුවද ඊට ඉඩ දීම නායකත්වය විසින් දිගින් දිගටම සිදුකරන කාරණයකි. අඩු තරමින් මොවුන්ට සාගල රතන්යකගෙන් හෝ හර්ෂා ද සිල්වාගෙන් ඉගෙන ගැනීම ඇති යහපත් පාඩම ඉගෙන ගැනීමට අවශ්‍යය පරිසරයවත් නිර්මාණය කළ යුතු වේ. බේබද්දන් සේ හැසිරීම ඔවුන්ට කෙසේ වෙතත් රටට යහපත් නොවේ.

රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වලට දේශපාලනඥයින් සතු විසඳුම් ඉතාම කෛරාටක වන්නා සේම ඒ සෑම එකකම තමන්ට හෝ තමන් දන්නා අයෙකුට කුට්ටියක් ලැබෙන සේ සකස් වී තිබීම ඒවායේ අවසන් ප්‍රතිඵලය ගැන සැලකීමේදී අවබෝධ කර ගත හැකිය.

රට හමුවේ සුදු වත පෙන්වා සාදු චරිත සේ පෙන්වීමට උත්සහ කරන බොහෝ අයවලුන් සත්‍යය හමුවේ එසේ නොවන බව ඔවුහු පමණක් නොව ඔවුන්ට ඇහුම්කම් දෙන පිරිසද දනිති. දැන දැන කරන බොරුවක සදාකාලීකව පැටලීමට අපට සිදු වී තිබේ. දේශපාලනය ලෙස අප හඳුනා ගන්නේ එයයි.

එවැනි අයවලුන් හදිසියේ වියෝ වූ පසු ඔවුහු පවත්වාගෙන ගිය දෑ වල වාසිය තෙවැනි පාර්ශවයට හෙවත් තිරය පිටුපස සිටින බලවේගයට ලැබේ. මීට කදිම නිදසුනක් ලෙස කොටි සංවිධානය විසින් මරා දැමුවේ යැයි සැලකෙන ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දේශපාලනය හැඳින්විය හැකිය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ හොර ගනුදෙනු ගැන දැන සිටි අයෙකු හදිසියේ ප්‍රභල දේශපාලඥයෙකු වී ඔහු නියෝජනය කළ පක්ෂයේ විශාල පෙරළියක් සිදු කිරීමට සමත් වූ බවට සමාජය පුරා පැතිරී ගිය ප්‍රවාදයක් තිබේ. එය සත්‍යය හෝ අසත්‍යයද යන්න වැදගත් ගැටලුවක් නොවේ. වැදගත් වන්නේ මෙම දූෂිත ක්‍රමවේදය සකස් වී ඇති බියකරු ස්වභාවය සහ එය සාමන්‍යය ජන ජීවිතයට කර ඇති බලපෑමයි.

වෘත්තීයවේදී සංවිධාන කිහිපයක් අද දිනයේදී ( මැයි 5 ) සංවිධානය කර තිබූ වැඩ වර්ජනය ගැන සඳහන් කළ හැක්කේ කුමක්ද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව ඔහු අදාළ වර්ජනයට හේතූ වූ කාරණා වර්ජකයින්ගෙන් ඉල්ලා ඇත. එසේම වර්ජකයින් හේතූ ඔහුට දන්වා තිබේ.අදාළ ප්‍රතිචාර වලට පැහැදිලි පිළිතුරු ලබාදුන් ජනාධිපතිවරයා වර්ජනය තුළ දැකගත හැකි අවිද්‍යාව ගැන විස්තර කළේය.

ඊට සාපේක්ෂව රන්ජන් රාමනායක තම නළුකම යළිත් තහවුරු කරමින් රටේ බරපතළ ගැටලුවක් පාදෙණියගේ පෞද්ගලික සායනයට ලඝු කරමින් රඟපෑ ජවනිකාව ඔස්සේ මෙම ගැඹුරු සමාජ අස්ථාවරත්වයේ මූලික හරය විනාශ කිරීමට උත්සහ කළේය. ඔහු මෙම කටයුත්ත විවිධ අවස්ථා වලදී ඉතාම ලද බොළඳ ආකාරයෙන් සිදුකොට තිබේ.

මෙම සම්පූර්ණ සිදුවීම තුළ වෘත්තීයවේදීන් දැක් වූ අසමත්බාවය කුමක්ද? වෘත්තීයවේදී වර්ජනයකදී වඩාත් වැදගත් වන්නේ රටේ පවතින දේශපාලන තත්වය මනා ලෙස කියවීමට උත්සහ කිරීමය. එය අවබෝධ කර ගැනීම මූලික අවශ්‍යතාවය වේ. එසේම තම වෘත්තීය අයිතීන් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ලඝු වීමට ඇති ඉඩකඩ අවම කිරීම අත්‍යවශ්‍යය වේ. මෙම වැඩ වර්ජනය, රාජපක්ෂ මහතා ගලුමුවදොරට වැඩිම සෙනගක් රැස්කොට විහිදුනු මමත්වයේ රැස් සමඟ ඍජුව සම්බන්ධ වූ කාරණයක් ලෙස ප්‍රති පාර්ශවයට දැනීම සාමන්‍යය කරුණකි. එසේම මෙම වර්ජනය සඳහා ජොයින්ට් ( ඒකාබද්ධ ) විපක්‍ෂය සහයෝගය දක්වන බව ප්‍රසිද්ධියේ කියන විට ඊට නිසි ප්‍රතිචාර දක්වා තම වර්ජනය දේශපාලන බලපෑමට යටත් නොවූ ස්වාධීන පියවරක් ලෙස අර්ථ ගැන්වීමට අදාළ වෘත්තීයවේදීන්ට නොහැකි විය. හැකි වූයේ නම් එය ජනතාවට තේරුම් කර දීමට අසමත් විය.

මේ නිසා මෙය හුදු දේශපාලන මෙවළමක ස්වරූපයක් ගනු ලැබීය.

අදාළ වර්ජනය සඳහා හේතූ වන මූලික හරයාත්මක කාරණා තිබේ. විශේෂයෙන් සයිටම් ආයතනයේ වැඩි පඩියක් ඉපැයීම සඳහා තම මූලික රාජකාරී වගකීම අමු අමුවේ පාවාදෙන රාජ්‍යය විශ්ව විද්‍යාල වල වෛද්‍යය සිසුන්ට ඉගැන්විය යුතු පිරිස් විසින් සිදුකරන බරපතළ අසාදාරණයක් තිබේ. එසේම උඝ්‍ර තරගයකින් රාජ්‍යය විශ්ව විද්‍යාලවල වෛද්‍යය පීඨයට ඇතුළුවන සිසුන් හට මූලිකත්වය දීම සඳහා රාජ්‍යය වැඩපිළිවෙලක් තිබිය යුතු වේ.

අඩුම තරමින් මෙම දූෂිත සහ ආත්මාර්ථ කාමී දේශපාලන කල්ලි, ත්‍රිමා විතාන ඇතුළු ශිෂ්‍යයින් අමු අමුවේ ඝාතනය කිරීමෙන් ඉගෙන ගත යුතු පාඩම එයයි. එසේම එවැනි දුෂ්ඨ ඝාතන වලට එරෙහිව රටේ ජනතාව හමුවේ යුක්තිය ඉටු කිරීමට අවශ්‍යය වන්නේ නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තිබේ. නමුත් ආණ්ඩු පාර්ශවයෙන් අදාළ විෂය සම්බන්ධයෙන් වගකිව යුතු අයවලුන් වගකිව යුතු අන්දමින් හැසිරීමක් පෙනෙන තෙක් මානයකවත් නොමැත. ඒ වෙනුවට පුහු පුරසාරම් දොඩමින් චන්ඩිකම් පාති.

මෙවැනි ව්‍යාජයක් හමුවේ වෘත්තීයවේදීන් සතු වගකීම ඉතා විශාල වන්නා සේම ඊට දක්වන එක් ප්‍රතිචාරයක් ලෙස වර්ජනය හැඳින්විය හැකිය. නමුත් එය උෂ්ණයට අයිස් ක්‍රීම් අනුභව කරන ආකාරයෙන් කළ නොහැකිය.

මෙම වර්ජකයින් රටේ දේශපාලන යථාර්තය ගැන මූලික අවබෝධයෙන් පසුවන්නේ නම්, ඔවුහු දැන ගත යුතු සැබෑ සත්‍යයක් තිබේ. එනම් වැඩ වර්ජන වූ කලී පඩික්කමේ කැඳ බීම හා සමාන බවයි. පඩික්කම කෙතරම් සෝදා දැමුවද එය කැඳ බීම සඳහා භාවිතා කරන්නේ නැත. එනමුත් ශ්‍රී ලංකාව වැනි රටක ව්‍යාජ දේශපාලනඥයින් රටේ බරපතළ ගැටලු අපහරණය කරන විට පඩික්කමක වුවද කැඳ බීමට සිදු වේ. එය සැබෑ සටන් කාමීත්වයේ ප්‍රකාශනයකි. නමුත් වැදගත් වන්නේ එම සටන්කාමීත්වය නිවැරදිව කළමනාකරණය කර ගැනීම සඳහා මූලික වැඩපිළිවෙලක් තිබීමය. ඊට පටු දේශපාලන මුහුණුවරක් ලබා නොදීමය.

නමුත් අවාසනාවට මෙන්, මෙම කාරණයේදී බොහෝමයක් වෘත්තීයවේදීන් කිසිඳු පොදු අවබෝධයකින් කටයුතු නොකරන ස්වරූපයක් දක්නට ලැබේ. වෘත්තීයවේදීන්ගේ වර්ජනය කිසිඳු ශක්තිමත් ක්‍රමෝපායක් නොමැතිව දියාරූ වූ විට ජයග්‍රාහකයා කවුරුන්ද යන්න කිව යුතු නොවේ.

වෙනස් කළ යුතු තැනක් වෙනස් කිරීම හිතා මතාම අමතක කරමින් රටේ බරපතළ ගැටලු විසඳීමට දවල් හීන දැකීම රටේ අවාසනාවකි.

සහෝදරවරුණි; දෙමළ ජනතාවගේ හර්තාල් වලින් ඉගෙන ගන්න. මන්ද; ඔබ සොයන සත්‍යය ඇත්තේ එතැනමය.


නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa