නානසාර නම් චීවරධාරියා එවැනිම වූ ඔහුගේ චීවරධාරීන් පිරිසක් සමග බණ දේශණාවකට යැයි කියමින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිය සුපුරුදු මුස්ලිම් භිතිකාව එහි ජනතාවට පවසා ජනතාව කුපිත කළේය.( එය තවදුරටත් සනාථ වන්නේ පොලීසිය විසින් නානසාර අත්අඩංගුවට ගැනීමට පැමිණුනා යැයි කියන අවස්ථාවේ නානාසර හැසිරුනු විලාසය දැකීමෙනි. ඒ හැසීරීම ඔවුන් විසින් ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර ඇති අතර එයින් නානසාරගේ අන්තවාදී, වෛරී ස්වාභාවය මනාවට ඔප්පු වේ. එය මුස්ලිම්වරුන්, දෙමළ මිනිසුන් සහ ලංකාවේ අගමැතිවරයා දක්වාම දිව යයි)

ඉන් පසුව වාර්තා වූයේ 20වන දා රාත්‍රියේ කුරුණෑගල, මල්ලවපිටියේ මුස්ලිම් මස්ජීදයකට කිසියම් පිරිසක් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. එම බෝම්බ ප්‍රහාරයෙන් මස්ජීදයට හානි සිදු වී ඇති අතර සුපුරුදු පරිදි මේ වන තෙක්ම එයට වගකිව යුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.

අලුත්ගම ඛේදවාචකය

2014 ජූනි 15 වනදා නානසාර ඇතුලු චීවරධාරී නඩය අලුත්ගම රැස්වීමක් පවත්වා මුස්ලිම්වරුන්ට එරෙහිව සිය මුග්ද ජාතිවාදය පතුරුවා හැරියේ මහ දවාලේ ය. ඒ පොලීසි බලා සිටියදීමය. ඉන්පසුව උදාවූ රාත්‍රියේ අලුත්ගම, දර්ගා ටවුන්, බේරුවල ප්‍රදේශවල ඒ නානසාරගේ අන්තවාදයේ ප්‍රතිඵල ගලා ගියේ මිනිස් ජීවිත මතින්ය. 2014 ජූනි 15-17 දිනවල එහි මුස්ලිම් වරුන්ට එරෙහිව ඇති කරන ලද විනාශයෙන් 4 දෙනෙක් ඝාතනයට ලක් වී, 80කට වැඩි පිරිසක් තුවාළ ලබා, 10000කට අධික පිරිසක් අවතැන් කරන ලද අතර මුස්ලිම්වරුන්ගේ දේපල විශාල ප්‍රමාණයක් ප්‍රහාරයකට ලක් වී විනාශ විය. ඒ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ය. එකල නානාසාරට රාජපක්ෂගේ පූර්ණ සහය ලැබිණි. එකළ ආරක්ෂක ලේඛම්වරයා වූ ගෝඨාය රාජපක්ෂ නානාසර ඇතුලු චීවරධාරින්ගේ ‘සිංහල පමණයි‘ වැඩසටහන්වල ප්‍රධාන අමුත්තෙක් විය. එහි ආනුභාවයෙන් නානසාරවත් ඔහුගේ සහචරයින්වත් කිසිකෙනෙක් අත්අඩංගුවට හෝ නීතිය ඉදිරියට පැමිනවීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කලේ නැත. ඒ නිසාම අලුත්ගම ගිණි තැබූ අපරාධකරුවන් නිදැල්ලේ පසු විය. අලුත්ගමට යුක්තිය ඉටු වූයේ නැත. එතැනින් නොනැවතුනු නානසාර පන්නයේ චීවරධාරීන් මුස්ලිම් දේවස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල කළේ ය. රාජපක්ෂ ආණ්ඩුව නොදැක්කා සේ සිටියේ ය.

නමුත් රාජපක්ෂ ආණ්ඩුව පරදා ‘යහපාලන‘ ආණ්ඩුව පැමිණිය ද ඒ අපරාධවලට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි විය. මුස්ලිම්වරුන්ට සේම කිතුනුවන්ට එරෙහිව නානසාර පන්නයේ චීවරධාරීන් විසින් කරන ලද අපරාධවලට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

තත්ත්වය මෝරමින් ඇත.

ඒ ජාතිවාදී සිවුරුකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැති තත්ත්වයක් තුළදී ඔවුන් විසින් තව තවත් වෛරය වපුරමින් ජනතාව කුපිත කරමින් සිය වර්ගවාදී මුග්ධ ආශාවන් ඉටු කරමින් ඇත. එය ඇමතිවරුන්ගේ කාමර තළ සිට මහ පාර දක්වා නැවතත් පැමිණි ඇත. එය දැන් අගමැතිවරයාට කුණු හරුපෙන් බනිමින්, පොලීසියට චන්ඩ් පාට් දමන තත්තවයක් දක්වාද වර්ධනය වි ඇත.

රාජපක්ෂ විසින් මේ චීවරධාරීන්ට හිතේ හැටියට මෝරන්ට පස සපයා දුන්නේ ය. එහි ප්‍රථිපල අද දක්වාද පැමිණ ඇත. දැන් ඒ තත්ත්වය තව තවත් මෝරන්නට ඉඩ දිය යුතු නැත. බෞද්ධකමට මුවාවී අනෙක් ජාතීන් පෙළන මෙවැනි චීවරධාරීන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කල යුතුය. එසේ නොවුනහොත් තවත් කාලකන්නි තත්ත්වයක් මේ ලේ පිපාසිතයන් විසින් ඇති කරනු ඇත. එය වහාම නතර කල යුතුය. එසේම මේ අන්තවාදී චීවරධාරින් සමග මාධ්‍ය සාකච්ඡා තියන බුද්ධසාසන ඇමතිවරයා වන විජේදාස රාජපක්ෂ සේවය කරන්නේ කුමක් වෙනුවෙන් ද, කවුරුන් වෙනුවෙන් දැයි යන්නත් සොයාබැලීම ද කල යුතුයි.