නවසිය අනූ ගණන් වල බෙරේ කුණුවෙලා, කානු හිරවෙලා, කුණු කඳු ඉහලට එසවෙන කාලේ ඔන්න ලෝක බැංකු ආධාරයෙන් කුණු මැනේජ් කරන හැටි සමාජ ගත කරන කැම්පේන් එකක් මෙහෙය වන්න මටත් චාන්ස් එකක් ලැබුණා. මාර සතුටින් රිසර්ච් එහෙම ලොකුවට කරලා ‘කොළඹට අසාධ්‍යයයි’ කියල එල කැම්පේන් එකක් කරා.

නමුත් එදත් ඇත්ත කියන්න බය වෙච්ච සෙට් එකක් තමයි අපිට වැඩේ බාර දුන්නේ. අපේ කැම්පෙන් එක බලල කට්ටිය දාඩිය පිහිදාන්න ගත්තා. මේක දැම්මොත් ඒ සෙට් එකට යන එන මං නැතිවෙන බව තේරිලා බොරු බයිලා කියල රිජෙකට් කරා. මම ඉතින් හැමදාම දෙන ෆයිට් එක දුන්න. එත් මගේ ඒකාලේ හිටපු බොස්ලත් ඒක කරුමෙට ජබොස් කරා. ඊට පස්සේ ලකයක් නැති, ඇල් මැරුණු ජරාවක්, සල්ලිත් නාස්ති කරලා, අපේ කාලෙත් කාලා ‘සෝෂල් මාකටින් කැම්පේන් ෆෝ ගාබේජ් මැනේජ්මන්ට්’ කියල සත පහකට වැඩක් නැති ජරාවක් සෝබනේට මාධ්‍යගත කරා.

ඒ පරණ කතාව මට මතක් වුනේ අද කොළඹට විතරක් නෙවෙයි මුළු රටටම වෙලා තියන නස්පැත්තිය දැක දැක හුල්ලන ගමන්.

මොකක්ද අපේ රටට ගහල තියෙන මේ හේනේ?

යහපාලනයක් කරන්න කියල අපි ෆුල් ෆයිට් එකක් දීල ගෙනාපු දේසපාලුවෝ ටික පිස්සුම පිස්සු කෙලිනවා. රටේ බොස් කවුද කියලත් මට ශුවර් නෑ. මොකද අගමැතුමයි, ජනාධිපතිතුමයි මට දැනෙන්නේ රටවල් ගානේ රස්තියාදු වෙවී හැංගිමුත්තන් කරනවා කියල. රට අයාලේ යනවා. ඇමතිලා ‘ගස් මාරු-පෙති චෝරු’ කරනවා. මැර සාධු සෙට් එක කඩ පුච්චනවා. හොර දේසපාලුවෝ උන්ව හංගනවා. පොලිස් ලොක්ක මේවා ඔක්කොම දැක දැක භාවනා කරනවා. දොස්තරලා කොන්දොස්තර ලෙවල් එකට බැහැල වීදි සංචාරය කරනවා. ඒ අතරතුර ඩෙංගු හැදිලා ලෙඩ්ඩු මැරෙනවා. කුණු කඳු පුපුරනවා. ගං වතුරෙන් රට නස්පුට් වෙනවා. ඒවා කළමනාකරණ ඇමතියා මෙක්සිකෝවේ පච බානවා.

අවුරුදු දෙකක් ඉවරවෙලත් රටට පෙනෙන දේශපාලන හෝ ආර්ථික දැක්මක් තියෙනවද? තිබුනත් අපිට ඒක පෙනෙන්නේ නම් නෑ. ආයෝජන මුකුත් එන්නේ නෑ. මොකද ප්‍රතිපත්ති කියල පිළිවෙලට දෙයක් ඉදිරිපත් කරන්න තරම් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාශීලී නැති බවයි පිටතින් බලන කෙනෙකුට පෙනෙන්නේ. ජරාව ගැනිල්ලෙත් අඩුවක් නැති බවයි කවුරුත් කියන්නේ. මේවා සහ ගහන අපරාද.

මිලියන විසි එකකගේ සිහින, බලාපොරොත්තු මෙහෙම තුට්ටුවකට ගණන් ගන්නේ නැතිව, රජයක් කරගෙන යන එක සහගහන අපරාදයක් නෙවෙයිද?

අවුරුදු විස්සකටත් වැඩි කාලයක් ගිහින් අද මට හිතෙන්නේ ‘කොළඹට අසාධ්‍යයි’ කියල කැම්පේන් කරන්න නෙවෙයි, ‘මුළු රටටම අසාධ්‍යයි‘ කියල අර බාගෙට හදපු නෙලුම් කුලුන උඩට නැගල විලාප තියන්න!

එත් බීරි අලින්ට වීණා ගැසීමෙන් පලක් නැති බව මම තේරුම් අරන් දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙනවා… වෙන කරන්න දෙයක් නැති කමට මමත් සියලු සත්ත්වයන්ට මෛත්‍රී භාවනාව වඩන්න ෆුල් ට්‍රයි කරනවා!

සංධ්‍යා සල්ගාදු | Sandya Salgado

lifeisnotabeach