Image By: http://www.tamilcanadian.com/news/eng/cat/SriLanka/32/

John Rawls ලිවූ A Theory of Justice(2009) ට අනුව සමාජ සම්මුතියෙන් බිහිකරගනු ලබන ප්‍රභාවී අස්ථානය (Original Position) තුල කිසිවෙකු තමාගේ සමාජ ස්ථානය, තත්වය, පංතිය නොදැන සිටිය යුතුය. එසේම පුද්ගලයා තුළ වන ස්භාවික වත්කම් සහ හැකියාවන් ද, බුද්ධිය සහ ශක්තිය පිලිබදව ද අවබෝධයක් නොතිබිය යුතුය. එවිට පුද්ගලයා තමා අවට වන සමාජයේ සංස්කෘතිය, ආර්ථික තත්වය සහ දේශපාලන වාතාවරණය වෙත අවිඥානික වීමෙන් අනාගත සමාජය තුළ යුක්තිය ගොඩනැගිය හැක. Rawls තවදුරටත් පෙන්වා දෙන්නේ ස්භාවික හෝ ද්‍රව්‍යයාත්මක වත්කම් නොසලකා හැරීම මගින් සියලු දෙනා වෙතම සමාන කොටසක අයිතිය ප්‍රාථමික සමාජ භාණ්ඩ සදහා හිමිවේ. එකී ප්‍රාථමික භාණ්ඩ අතර අයිතිවාසිකම් සහ නිදහස, බලය සහ අවස්ථා, අදායම් සහ ධනය සහ ආත්මගරුත්වය වේ. මෙකි සමාජ භාණ්ඩ පරිභෝජනය සදහා ඉහත කී පුර්ණ නිශ්චිත විනිශ්චයන් වෙත එලඹ සිටීමෙන් වැළකි සිටීම අත්‍යවශ්‍ය වේ.

2015 ජනවාරි 08, ජානාධිපතිවරණය මගින් ශ්‍රී ලංකාවේ බිහිකර ගැනීමට අපේක්ෂිත වුයේ Rawles ගේ කල්පනය තුළ වූ ආකාරයේ අනාගත සමාජයක් නොවූනද, වියරුවෙන් සහ පවුල් පාලනයේ බලපෑමෙන් යම් දුරකට වියුක්ත වූ අයිතිවාසිකම්, නිදහස, බලය, අවස්ථා සහ ධනය සෑම පුද්ගලයකු වෙතම යම් ප්‍රමාණිකව හිමිවන පාලනයකි. එහෙත් සිදු වුයේ ජානාධිපතිවරයා, තාමාගේ සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජ තත්වය මත පදනම් ව ආණ්ඩුකරණ තීරණ ගැනීමය. උදාහරණ ලෙස අතුරුදහන් වූ දියණියකගේ මවක්, වර්තමාන ජනාධිපති සමග තම දරුවා වන ජායාරූපයක් පෙන්වා, ඇය සොයා දෙන ලෙස කළ මානුෂිය ඉල්ලීම වෙත, හෙතම ප්‍රතිචාර දැක්වුයේ එම ජායාරුපය දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන ව්‍යාපෘතියක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. එයින් නොනැවතී, ලක්ෂාන් ඩයස් ලිඛිත දත්ත පදනම් ව 2017 දී ක්‍රිස්තියානි පල්ලි සහදා එල්ලවූ ප්‍රහාර 166 පෙන්වා දෙනු ලැබූ විට, මෙරට විධායක ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා, මෙකි දත්ත වැරදි බව හා ප්‍රචණ්ඩත්වය උදෙසා හේතුකාරක වන බව පෙන්වා දෙනු ලබන්නේ කාර්දිනල් මැල්කම් රන්ජිත් ගේ ප්‍රකාශනයක් පදනම්වය.

කාදිනල් මැල්කම් රන්ජිත් යනු 2016 දී, මානව අයිතිවාසිම් යනු බටහිර සංකල්පයක් ලෙස වැරදි අර්ථකතනයක් සිදුකළ පූජකවරයෙකි. ඔහුගේ දේශපාලන ප්‍රකාශයන්ට විරුද්ධව, කතෝලික පියතුමන් විසින් එකමුතුව ප්‍රකාශනයක් පවා නිකුත් කර ඇත. (http://www.jdslanka.org/index.php/news-features/politics-a-current-affairs/622-sri-lanka-catholics-slam-cardinal-for-rejecting-secularism-and-human-rights).

එසේම මන්නාරම මුල්ලිකුලම් හි දේවස්ථාන ඉඩම්, වයඹ නාවික හමුදා ව විසින් බලහත්කාරයෙන් යටත්කරගෙන පවතින අවස්ථාවේදී, කතෝලික ජනයා වෙත පිඩාව වෙත හෙතෙම විරුද්ධ නොවිය. තමාගේ දැනුමේ ප්‍රමාණය අනුව, මැල්කම් රන්ජිත් පුජකවරයා, කොළඹ කතෝලික පුජ්‍ය ස්ථාන වෙත පහරදිම සිදු නොවූ බවත්, යම් පහරදීමක් සිදු වී නම් එය අන්තවාදීන් වෙත වූ ප්‍රහාර සහ පීඩා වියහැකි බවත් පෙන්වා දෙයි. ඔහුගේ ප්‍රකාශ එනයින් සලකන්නේ නම් ඉතා බැරෑරුම්ය. එනම්, ඔහුත් දැනුවත්ව, ඔහුගේ කතෝලික පල්ලිය තුළ අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක බවය. එසේම, ඔහුට අනුබාවික සාක්ෂි නොමැති බව පුනපුනා කියමින්, අනුබාවික සාක්ෂි සහිත ලියවිල්ලෙහි වන කරුණු ව්‍යයාජ බව පෙන්වාදිය හැකිද? අවසානයේදී සිදු ව ඇත්තේ, මැල්කම් රන්ජිත් පුජකවරයා, විධායක ජානාධිපති සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ සහ දෙරණ රුපවාහිනිය විසින් බිල්ලට දීමකි. අනෙක් කරුණ නම්, සේනාධිනායකයා සහ අධිකරණ ඇමති, පුජක වරයකු මත රැදෙමින්, ප්‍රචණ්ඩත්වයන් සිදුනොවූ බවට සදහන් කිරීමට උත්සුක වීමය. එය කුරුණෑගල පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද එවක සුමනදාසගේ මතය අනුව මැතිවරණ සිතියම සකස් කිරීමෙන් වෙනස් නොවේ. සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා වෙත, පොලිසිය, හමුදා සතු වන දත්ත සදහා කිසිදු ගැටලුවකින් තොරව ප්‍රවේශ විය හැකිය. එවැනි ප්‍රවේශ සහිත ජනාධිපතිවරයා, ප්‍රචණ්ඩත්වය පිළිබද සිදුවීම් පිරික්සා බලන්නේ කොළඹට බලය සහ වගකීම සිමා වූ පුජකයෙකුගෙනි. එකී ජාධිපතිවරයා සමග වන අධිකරණ ඇමතිවරයා ද, නව නීති ගෙන එමින්, වාර්තා ගත වූ දත්ත, ජනතාව වෙත හෙළි දරව් කළ නීතිඥවරයා ගෙදර යැවීමට තටමනුයේ, පුජක වරයාගේ පෞද්ගලික දැක්මක් පදනම්වය. එකී පුජකයාම, තම වදන්, විද්‍යාත්මකව සොයාගත් කරුණු මත පදනම් නොවන බව පවසන විට, පූජක හිතළු මත පදනම්ව නීති වෙනස් කර වෘත්තියවේදියකුගේ අයිතීන් විනාශ කිරීමට හීන මවන අධිකරණ ඇමතිවරයකු සිටින රටක, අයිතීන්, නිදහස, බලය සහ අවස්ථා කිසි දිනක පුරවැසියන් වෙත හිමි නොවනු ඇත. මෙවැනි විද්‍යාත්මක පදනමක් නොමැතිව කරනු ලබන ප්‍රකාශන විකාශ කරණ, ජනමාධ්‍ය, තම ඔලුවෙන් සදාගත් තොරතුරු නොව, නිරවද්‍ය තොරතුරු සමාජ ගත කල යුතුය. නොඑසේ නම්,එය නිවැරදි තොරතුරු ලබාගැනීමට වන ජනතා අයිතිය උල්ලංඝනය කිරීමකි.

Nancy Fraser , Scales of Justice: Remaining Political Space in a Globalizing world හි යුක්තියේ පරිමාවන් පිළිබද සාකච්ඡාවෙදී මෙසේ පවසයි.

“අපක්ෂපාතිත්වය වෙනුවෙන් වන ස්ථාවරයන් තුලනය කිරීම නිරන්තරයෙන්ම ගැටලුකාරී වේ. අවංක තක්සේරුකරණයන් වන බවට සහතිකයන් වේද යන්න ගැටලුවකි. බලය අසමමිතික සන්දර්භයක, අවම අවස්ථා සහිත ප්‍රජාවක් යුක්තිය බලාපොරොත්තු වන්නේ නම්, එය බලාපොරොත්තු වියමට සිදුව ඇත්තේ ද අපක්ෂපාති නොවන ක්‍රමයක් තුලින් නම්, යුක්තිය අපක්ෂපාතී වන බවට සහතිකයක් වේද?”(Fraser, 2009, පිටු.01).

ශ්‍රී ලංකාවේ අද වන විට ඕනම වාර්ගිකත්වක් සහිතව පුරවැසියකු, තමාගේ අයිතිය, නිදහස, බලය සහ අවස්ථා ඉල්ලා සිටින විට, එය වාර්ගිකතත්වය වෙත පක්ෂාපාති වූ කුඩා කණ්ඩායමක් විසින් එය නොසලකා හැර තිබේ. උදාහරණ ලෙස, පුරවැසියාගේ අයිතීන් වෙනුවෙන් වන අරගලය, බටහිර කුමන්ත්‍රණ ලෙස සබුධිකනොවී ක්‍රියාත්මක මාධ්‍ය ඉදිරියේ නිර්ලජ්ජිතව අර්ථකතනය කරනු ලබන භුමි පුත්‍රයන් ලෙස පෙනී සිටින කණ්ඩායම, සිංහල ජනතාවද ඇතුළු සමස්ථ පුරවැසියාගේ අයිතීන් විනාශ කිරීමට කටයුතු කරයි. බොහෝ වාර්ගික භුමි පුත්‍රයන්ට අවශ්‍යවී ඇත්තේ, දේශපාලනික බලය කුඩා කණ්ඩායමක් වෙත සංකේද්‍ර ව, නොදියුණු අශිෂ්ඨාචාර, සුරාකෑම හිරිකිතයකින් තොරව වූ රාජාණ්ඩුවක් නැවත ගොඩනැගීමය. මෙරට භූමියේ අයිතිය තමන්ට පමණක් හිමිකම් කියන බව සිතන කණ්ඩායම විසින් එකී රාජආණ්ඩු තුළ, කුල බේදය, ස්ත්‍රීය පුද්ගලයකු ලෙස පිලි නොගැනීම සහ රජුගේ අත්තනෝමතික බලය මගින් ජනතාව යටත් වැසියන් කරගැනීම නොසලකා හැරීම සාධාරණිකරණය ඉතා අමානුෂීය , නිර්ලජ්ජිත දේශපාලන හැසිරීමකි.

රාජාණ්ඩු පක්ෂාපති දේශපාලන ක්‍රමයක් සකස්කරනු ලබයි. රාජාණ්ඩු නොවූ, යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත වර්තමාන ආණ්ඩුවද පක්ෂපාතිව ආණ්ඩුකරණයේ යෙදෙන්නේ නම්, රාජාණ්ඩුවක් තුලින්, එකී පක්ෂපාති තීරණ ගැනීම් වඩාත් දැකිය හැකිවනු ඇත. රාජාණ්ඩු ක්‍රමයේදී, රජු නම් නිතිය වන අතර රජු තම ප්‍රත්‍යක්ෂ කිරීම් මත යුක්තිය ලබාදෙයි. එදවස රාජාණ්ඩු යුගයේ ප්‍රවෘත්ති පත්‍ර නොමැති හෙයින්, තමා පසුදලුනු ලබන යුක්තියේ වෙනුවෙන් වන යටත්වැසි ප්‍රතිචාර දැනගැනීම අරමුණුව රජා වෙනත් වෙස් ගෙන පුරවර සැරි සරු බව බලධාරීන් ලියු ඉතිහාසයේ වේ. වර්තමානයේ දියුණු තාක්‍ෂණ උපාංග, සමාජ මාධ්‍ය සහ දෘෂ්ඨිවාදිව ළදරු නමුත් විකාශන තාක්ෂණයන් සහිත මාධ්‍ය වේ. එමගින් පාලකයා, නිතිය මුලික ක්‍රමය විසින් පසිදලනු ලබන යුක්තිය සදහා ජනතා ප්‍රතිචාර පිළිබද කෙටි කාලයක් තුල අවබෝධයක් ලබාගත හැකිය. ගැටලුව නම්, පාලක කුලකය, රාජාණ්ඩුවේ මෙන් නිතිය, තමන් නොවන බවත්, සිටිනුයේ, පුරවැසියන් වීමට උත්සහා කරණ හුස්මගන්නා කණ්ඩායමක් බවත් අමතක කිරීමය. එවැනි තලයකදී පක්ෂපාතිව කටයුතු කිරීම ප්‍රශ්න කිරීම සිදුවනු ඇත. මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් අද සිදු ව ඇත්තේ එයයි. පවතින නිතිය ක්‍රියාත්මක නොකර, අගමැතිවරයා නව නීති සම්පාදනය වෙත අවධානය යොමුකරනුයේ, නිතිය තීරනය සහ ක්‍රියාත්මක කිරීම තමාගේ අභිරුචිය මතවන බව ඒත්තු ගන්වමිනි. අලුත්ගම 2014 දී කලු ජූලියක් කිරීමේ අපරාධකරුවන් පිළිබද තොරතුරු තමා සතු බව සදහන් කළ විපක්ෂ නායක වරයා අද අගමැතිය (http://www.vikalpa.org/?p=30633). ආගමික ප්‍රචණ්ඩතත්වය සදහා නව නීති ගෙන ඒමට උනන්දුවෙන් සිටින ඔහුට පවතින නිතිය යටතේ අපරාධ කරුවන්ට දඩුවම් දීම කඩිනම් කරන ලෙස තම කැබිනට්ටුවේ වන අධිකරණ ඇමති වෙත උපදෙස් නිකුත් කිරීමක් සහ සිදු වූ විනාශ වෙනුවෙන් හානි පුර්ණය සදහා කටයුතු කිරීමක් හෝ දැකිය නොහැකිය. එසේනම් Fraser පෙන්වා දෙන ආකාරයට පක්ෂපාතිතත්වය ක්‍රියාත්මක ආයතන වෙතින් අපක්ෂපාති තිරණ ලබා දෙන බවට කිසිදු සහතික කිරීමක් කළ නොහැක.

තව දුරටත්, පවතින ආණ්ඩුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ප්‍රදර්ශනය නොකරයි. එය සැබවින්ම වාර්ගිකවූ ද සුරාකෑම සිදුකරන්නා වූ ද කුඩා කණ්ඩායමක ආයතනයකි. එකී ආයතිනික නියෝජිතයන්ගේ දේශපාලනකි පැවැත්ම, වර්ගවාදය මත රැදී පවතී. විජයදාස රාජපක්ෂ , සිවිල් සමාජය ඩොලර් මත යැපෙන බවට චෝදනා කරයි. එහෙත් ඔහුට අමතක වූ කරුණ නම්, ඔහු ද සමාජිකත්වය ලබා ඇති ආණ්ඩුව ඩොලර් ණය මුදලින් යැපෙන බවත්, ඔහුත් එකී ඩොලර් ණය මුදල් මගින් නඩත්තු වන බවත්ය. එකී විජයදාස රාජපක්ෂ සහ කණ්ඩායම මතක තබා ගත යුතු කරුණ නම් යුක්තිය වෙනුවෙන් වන අරගල කිසිදිනක නොනවතින බවය. Niromi de Soyza ගේ Tamil Tigress: My story as a child solider in Sri Lankan’s bloody civil war (2011) හි ඇය විමුක්ති කොටි සමග එකතුවීමට හේතුව පැහැදිලි කරයි; “මා එකතුවන්නේ නිදහස වෙනුවෙන් වන අරගලයක් සමගිනි.එය කිසිදිනක ආයුධ විරහිත අවිහිංසක සිංහල ජනතාවකට එරෙහි අරගලයක් නොව, නිදහසේ ජීවත්වීම ලබාගැනීමට වන අරගලයකි.” අද පවතින්නේ ද ද මෛත්‍රීපාල සිරිසේන, විජයදාස රාජපක්ෂ, හෝ මහින්ද රාජපක්ෂට එරෙහිව වන අරගලයක් නොව, නිතිය සහ යුක්තිය මගින්, නිදහස ලබාගැනීම සදහා වන අරගලයක් පමණි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon