සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රජාතන්ත්‍රවාදය එල්ලා මැරීම

ක්‍රිශාන් රාජපක්‍ෂ

එල්ලුම් ගස, එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කිරීම ආදිය නැවත නැවත සමාජ කතිකාවතක් ලෙස ගොඩනැගෙන සෑම අවස්ථාවකදීම එල්ලුම් ගසට නියම වී සිටින සිරකරුවන්ට සිහිවිකල්ව, ඔවුන්ට උණ සන්නිපාතය තත්ත්වයන් ඇති කරන බව අප අසා ඇත්තෙමු. ඒ කොයි මොහොතක හෝ තමන්ගේ දණ්ඬනය ක්‍රියාත්මක වේ යැයි යන බියෙනි. ඔවුන් නීතිය ඉදිරියේදී කළ වැරිදිවලට වරදකරුවන් වී එම දඬුවමට නියමවූවන් වීම නිසාය.

මෙරට මිනිස් දහම අගය කරන්නන්ට සිහිඑලවා ගැනීමට විනාඩි කීපයක් ගත වන පුවතක් ජාත්‍යන්තර මාධ්‍යන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණි.

ඉතාම මෑත දිනයකදී ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් අගයන ඒ වෙනුවෙන් පෙනීසිටින ශ්‍රී ලංකාවේ සිටින අතලොස්සක් වූ පිරිසට කණට අතුල් පහරක් ගැසුවාක් මෙන් වූ ප්‍රකාශයක් සුප්‍රසිද්ධ බීබීසී නාලිකාවේ “හාඩ්ටොක් ” සංවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කළේය. ඒ යුධ අපරාධ හා සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්ණයකදි ඔහු ප්‍රකාශකර සිටියේ “ඒක පාවාදීමක් … ඔහු ඒක කළොත් අපි එයාව එල්ලලා මරනවා” යනුවෙනි.

මෙම ප්‍රකාශය අතිශය බරපතළ කාරණාවක් වන්නේ සරත් ෆොන්සේකා තවමත් හමුදා නිතිය අනුව වේවා, සාමාන්‍ය සිවිල් නීතිය අනුව හෝ කිසිඳු කරණාවක් වෙනුවෙන් වරදකරුවෙකු ලෙස සාක්‍ෂි සහිතව ඔප්පුනොවී තිබීමය. එබැවින් වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙක් , මෙරට වැසියන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව සිටින අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජාත්‍යන්තර මාධ්‍යක් වෙත ප්‍රසිද්ධියේ කල ප්‍රකාශයක් වීමයි. රාජ්‍යයකට එරෙහි වූවෙකු වේවා කිනම් වරදකට වරදකරුවෙකු ලෙස දඩුවම් පැමිණවීමට අවශ්‍ය කාරණා නිෂ්චිතවම නීතිය ඉදිරියේ ඔප්පු වී තිබිය යුතුය. යම් කාරණාවක් නීතිය තුළ, යම් උසාවි පද්ධතියක් තුළ පසිඳලමින් සිටියදී එහි අවසානයේ ලබාදෙන දඬුවම සම්බන්ධව එළිපිටම කථාකිරීම නීතියේ ස්වාධිපත්‍යයට එල්ල කරන මරුපහරක් වනවා සේම ප්‍රජාත්‍රන්ත්‍රවාදෙයේ අක්මුල් සිඳිමකි. තවත් එහි බෑරෑරුම්කම වැඩිවනුයේ මේ වන විට තීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පැවතීම සහ ඉහත ප්‍රකාශයේ කතෘ ඔහුගේ සහෝදරයා වීම නිසාම එම ප්‍රකාශයේ රාජත්‍රාන්ත්‍රීය ගුණය වැඩි හෙයිනි.

මේ මොහොත වන විට සියලු රාජ්‍ය ආයතන අතිශයින් දේශපාලනීකරණය (රාජජක්‍ෂකරණය) වී ඇති සමයක මෙවැනි ප්‍රකාශයක් කර, එය නීතිය ඉදිරියේද සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ආයතන සියල්ලද රාජපක්‍ෂ රෙජීමය සතු වීමද ප්‍රකාශයේ බරපතළ තත්ත්වය තීව්ර කරවයි.

සරත් ෆොන්සේකා වරෙක හමුදාපති ලෙස සිටි සේවාකාලය තුළදී මෙරට හමුදාවේ ඉහළම ජෙනරල් නිළය දැරුවෙක් නිසාද, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක පක්‍ෂ නායකයෙකු නිසාද ඉහත ප්‍රකාශය තවත් ගැටළු ගණනාවකට මුලපුරයි. ඒ ඔහු වැනි මෙරට ප්‍රධාන පුද්ගලයෙක් හට ප්‍රසිද්ධියේ එවැනි දඩුවමක් නියමකරන බව කිව හැකිනම්, සාමානය ජනයා සඳහා වන සැලකුම කෙසේ වේදැයි සිතාගැනීමට තරම් නොහැකි තරම් අපි මන්දබුද්ධික නොවෙමු. නමුත් අද හොඳහැටි පදම් වී වෙසක් සමරා පොසොන් නිවාඩුව එනතුරු ඔහේ බලා සිටින අයටනම් කිසිඳු බලපෑමක් නැත. ඔවුන්ට එහි බරක් පතළක්ද නැත. එසේ අබුද්ධික ෆන් එකක සිටිනා අය නොදන්නා දෙයක් ඇත. තම ගෙලටද තොණ්ඩුව වැටී හමාරය කියාය. ඔවුන් ඔහේ සිටින නිසාවෙන්ම තොන්ඩුවක් ලෙස නොදැනේ. ඔවුන් සිතන්නේ මේ තමන්ට පැළඳූ මල්මාලාවක් කියාය. කාලය පැමිණි කළ ඔවුන්ටත් නොදැනීම පය ගසා සිටින ලෑල්ල ඉවත් වූ සැනිණ් ඉහට ඉහළින් ඇති ලණුව ක්‍රියාත්මක වෙනු ඇත.

ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ටද මෙහි වෙනසක් නැත. පය ගසා සිටින තැන ඉවත් වූ සැනිණ් ඔවුන්ගේද ඉරණම තීරණය කරනු ඇත්තේ ඉහළින් තිබෙන ළණුවයි. සියල්ල හිස් කරන ලද සමාජයක නිකමුන් සේ සිටින තාක් තොණ්ඩුවේ බලපෑම අල්පවනු ඇත.

ළඟදීම ව්‍යවස්ථා සංශෝධනයකට ද සූදානම් වන ආණ්ඩුව එහි ප්‍රධානම පරමාර්ථය වන ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන සීමා රහිත කිරීමට වාසුදේව සහෝදරයාගේ (වල්වැදුනු) වම එරෙහි වූවද විපක්‍ෂයෙන් අවශ්‍ය ප්‍රමාණය ඩවුන්ලොඩ් කර නව ව්‍යවස්ථාවට එම කාරණය අප්ලොඩ් කරනු ඇත. ඉන් ඩිලීට් වී යන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයන් වේ. එසේ විධායකයේ බලතල ක්‍රමිකව වැඩිවූවද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයන් එකින් එක ගලවමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අබ්බගාත කිරීමේ කාර්ය පසුගිය කාලයේ තීරය පිටුපස සිදුවූවද දැන් එළිපිටම පැමිණ රඟ දැක්වීමට තරම් රාජපක්‍ෂ යාන්ත්‍රනය බලවත් වී ඇත.

මෙරට ජනයා බැලිය යුතු නාළිකා, ඇසිය යුතු පුවත්, කියවිය යුතු පොත පත, සෑදිය යුතු චිත්‍රපට, පානය කළ හැකි මත්පැන් පමණක් නොව බණ ඇසිය යුතු ස්වාමීන් වහන්සේලා පවා මෙරට රට්ටු දැන හෝ නොදැන පාලනය කරන්නේ ඉහත් බල අධිකාරිය විසින් ය. මේ සෑම දෙයකම හොඳ නරක, දේශදෝහීත්වය, දේශ ප්‍රේමීත්වයන් නිර්ණය කරන්නේ රාජපක්‍ෂ රෙජීමය විසිනි. ජනතාවද සියල්ල උකස්කර දී අවසානය. හෘදසාක්‍ෂිය රහිත ජන කොටසක් වී හමාරය. ඒ නිසාම කවුරුන් එල්ලා මරාදැමුවද, ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවෙන් හිටෙව්ව ද ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. ඒ තමන් සුරක්‍ෂිත යැයි උපකල්පණයක් කිරීමෙනි. නමුත් එය උපකල්පණයක්ම වන්නේය. සැබෑව එයට වඩා බොහෝ වෙනස්ය.

නුඳුරේදීම මෙරට බලසම්පන්නම විධායක බිහිවනු නොඅනුමානය. එයට අවශය සියලු කාරණා සම්පූර්ණ වීමට අවශ්‍ය ඉඩ ජනතාපරමාධිපත්‍ය විසින් තම ගෙළට තොණ්ඩුව තම අතින්ම දමානිමින්ම සලසා දී ඇත. රටක 2/3 කට වැඩි රාජ්‍ය හා දේශපාලන බලය එක් කණ්ඩායමක් වෙත ගොනුවූ කළ බහුතරයකගේ අයිතිවාසිකම් හා නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද ආර්ථිකයේ මූලයන් සියල්ලේද භාරකාරත්වය රාජපක්‍ෂ රෙජීමය සතු වටපිටාවක බලය උතුරා යමින් පවතින අවස්ථාවක ජාත්‍යන්තර මාධ්‍යයන් වෙතද ඉහත අන්දමේ දැඩි බරපතල ප්‍රකාශයන් කරන්නට බලය සපයන්නේ මෙරට සබුද්ධික ජනතාපරමාධිපත්‍යයි.

දැන්, කෑ බලමාලු ජීර්ණය කරගන්නට බැරි තත්ත්වය පත්ව සිටින මෙරට බුද්ධිමත් ඡන්දදායකයගේ සුරතින්ම ජ්‍රජාත්‍රන්තවාදය තොණුඩුව දමා එහි පාලන පද්ධතිය ඉහත බලඅධිකාරිය වෙත පවරා දී ඇත. දැන් නූල ඇත්තේ ඔවුන් අතය. නටන්නට වෙනුයේ ඔවුන්ගේ පදයටය. නැටීමට අකමැති, වෙනත් වන්නම් නැටීමට සූදානම් වන සියල්ලන්ගේ නූල් ගෙලට හිරවුනු නොඅනුමානය. එබැවින් බුද්ධිමත්, අල්ලස් ඡන්දදාකයා දුන් වරමේ අනුහසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පෝරකයට නියම කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.