Image Credit:Transgender Universe

පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි.

ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන ලද පුවත්පත් හා යම් යම් වෙබ් අඩවි ඒ පිළිබඳව විග්‍රහ කර තිබු අයුරු දුටු විට සිතට නැගුනු කරුණු කාරණා ගොනු කරමින් මෙම ලිපිය ලිවීමට අදිටන් කරගත්තෙමි. එම ලිපියෙහි “කාන්තා ඇඳුම් ඇදගත් තරුණයා” යනුවෙන් එම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා යනුවෙන් හඳුන්වා දී තිබුණි. මේ පුද්ගලයන් කාන්තා ඇදුම් අඳින්නේ ඇයි යන්න කවුරුත් නොසිතා මෙය මානසික ලෙඩක් යනුවෙන් හැදින්වීමට මෙම සමාජය නිතරම පුරුදුව සිටි. නමුත් ඒ පිටුපස තිබෙන කරුණු කාරණා සොයා බැලීමට හෝ දැනගැනීමට කවුරුත් උනන්දුවක් දක්වන්නේ නැත. සංක්‍රාන්ති සමාජභාවය සමාජයට අලුත් මාතෘකාවක් ලෙස පෙනුනද මෙය සමාජයේ අලුත් දෙයක් නොවේ. නමුත් පුද්ගලයන් බලනා කෝණය තවමත් වෙනස් වී නොමැත. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය තමන්ගේ ඉන්න බැරි අමාරුවකට කරගන්න ලබන දෙයක් ලෙසටය. නමුත් එය එසේ නොවේ. එය පිටුපස එයට බලපාන විද්‍යාත්මක කාරණාවක්ද තිබේ. මෙලොව ඉපදෙන සෑම දෙනාටම ශරීර දෙකක් පිහිටනු ලබයි. එනම් මානසික ශරීරය හා කායික ශරීරයයි. බොහෝ දෙනාට මනසට සරිලන ශරීරයක් ලැබුනද සමහරුන්ට මනසට සරිලන ශරීරයක් පිහිටන්නේ නැත. ඔවුන්ව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලෙස හඳුන්වනවා. මෙය ලෝක සෞඛ්‍යය සංවිධානය හා ඇමරිකානු මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින්ද මානසික රෝග තත්ත්වයක් නොවන වගට සනාථ කොට තිබෙනවා.

සැත්කම් මගින් ලිංගික අවයවයන් වෙනස් කරගැනීම දැන් සමාජය තුළ රහසක් නොවේ. එසේ කළ හැකි බව බොහෝ දෙනා දන්නවා. එහෙත් එය කිසිම අයුරකින් සුළුපටු කාරණයක් නොවන බව මා කීමට කැමතිය. ලිංගික අවයව වෙනස් කිරීමට සිදු කිරීමට පුදුමාකාර මානසික ශක්තියක් තිබිය යුතුය. මන්ද මෙය ඉතාමත් අභියෝග වලින් පිරි ගමනක් බැවිනි. පළමුව මනෝ විශේෂඥ වෛද්‍ය අනුදැනුම යටතේ වසර දෙකකට නොඅඩු කාලයක් නිරීක්ෂණයට ලක්විය යුතු අතර තමාගේ වෙනසට අනුව සමාජය තුළ ජීවත් වී පෙන්විය යුතුය. එහිදී එම පුද්ගලයා අඳින පළදින ආකාරය, ජීවත් වීම යන සියලුම දේ තම වෙනසට අනුකුලව සිදු කළ යුතුය. මෙහිදී තමා පමණක් නොව තමා අවට සමාජයද තම වෙනසට හුරු කරවීමක් සිදු කරනු ලබයි. එපමණක් නොව සමාජය තුළින් එල්ලවන බලපෑම් වලට මුහුණ දීම සඳහා මානසික සූදානමක්ද ඇති කරයි. සාමාන්‍යයෙන් පිරිමියෙක්ව ඉපිද කාන්තාවක් බවට සංක්‍රමණය වන කෙනෙකුට තමන්ගේ ඇඳුම් පැළදුම් පවා කාන්තාවක ලෙස වෙනස් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවක් වැනි රටක පිරිමියෙකු ගැහැණියෙතු ලෙස ඇඳ සිටීම කෙතරම් අභියෝගයක්ද?..

එතනින් පසු එම වෛද්‍යවරයා විසින් අදාල පුද්ගලයාව හෝර්මෝන පප්‍රතිකාර සඳහා යොමු කරනු ලබයි. නියමාකාර හෝර්මෝන ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 3000ක් පමණ වැයවෙයි. එපමණක් නොව පිරිමියකු ලෙස ඉපිද කාන්තාවක් බවට පරිවර්තනය වන පුද්ගලයකුට තම මුහුණේ වැවෙන රැවුල ඉවත් කළ යුතු වෙනවා. සමහර පුද්ගලයන්ගේ රැවුල වැවීමේ ප්‍රතිශතය හෝර්මෝන ප්‍රතිකාර මඟින් අඩු වීමක් සිදු වුණද සම්පූර්ණයෙන් නවතින්නේ නැහැ. ඒ සඳහා ලේසර් ප්‍රතිකාර නොහොත් රැවුල ඉවත් කිරීමේ ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා. මුහුණේ වැවෙන රැවුල ඉවත් කිරීමේ එම ප්‍රතිකාර කිරීම සඳහා එක සැසි වාරයකට රුපියල් 20,000 කට ආසන්න මුදලක් වය වන අතර සැසිවාරයන් 5කට නොඅඩු ප්‍රමාණයක් සඳහා සහභාගීවීමට සිදු වෙනවා.

එපමණක් නොව එලෙස කිරීමෙන් අනතුරුව පියයුරු සැකසීමේ ප්ලාස්ටික් සැත්කම දැනට රජයේ රෝහලෙන් නොමිලයේ සිදු කරගත හැකි නමුත් එම ප්ලාස්ටික් සැත්කම සඳහා අවශ්‍ය කරන පිරවුම් බැලූන පුද්ගලික ආයතනයකින් මිලදී ගත යුතු වන අතර ඒ සඳහා 130,000 පමණ මුදලක් වැය වේ. එය පුද්ගලික රෝහලකින් සිදු කරනු ලබන්නේ නම් 300,000 මුදලක් වැය වෙන අතර යෝනි මාර්ගය සැකසීමේ සැත්කම් ලංකාවේ සිදු කරනු නොලබන බැවින් ඒ සඳහා විදේශ ගත වීමට සිදුවේ. එම සැත්කම සඳහා ගමන් වියදමත් හා ඉදුම් හිටුම් වියදම් සහිතව රුපියල් 600,000 මුදලක් වැය වේ.

අපේ රටේ සංක්‍රාන්ති පුද්ගලයන්ට පිළිබද හොද පිළිගැනීමක් නැත. නිසා මා දන්නා බොහෝ සංක්‍රාන්ති පුද්ගලයන් නිවසින් එළවා දැමූ අයයි. මේ අය ජීවත් වෙන්නේ කුළියට ගත් කාමරයක හෝ කුඩා නිවසකයි. බොහෝ දෙනෙක් සුළු රැකියාවක් කර ජීවන වියදම සොයා ගනිති. එවැනි පුද්ගලයෙක් මා ඉහත දැක්වූ තරම් මුදලක් වැය කර තමාට අවශ්‍ය පුද්ගලයා බවට පත් වන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න.

අප දන්නා ප්‍රායෝගික තත්ත්වය නම් පහළ සමාජ ආර්ථික මට්ටමකින් පැමිණෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ට ඔවුන්ගේ සමාජභාවය නිසා සමාජයේ පිළිගන්නා රැකියාවක් සොයා ගැනීම අපහසුය. එවැනි පුද්ගලයෙකුට ලිංගික අවයව වෙනස් කර ගැනීම යනු ලගා විය නොහැකි සිහිනයකි. මෙවැනි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ඇතැම් විට ඇති එකම විකල්පය වන්නේ ලිංගික වෘත්තියේ යෙදීමයි. නමුත් පසුබිම් කාරණා කිසිවක් නොසලකමින් නිතර මෙම සමාජය විසින් මෙම පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය හෙළ දකින අතර ඔවුන් තලා පෙලා දමමින් ඔවුන්ගේ ජීවිතයටද හානි පමුණුවනු ලබයි.

තමන්ට ලැබුණු ඇග කපා කොටා ගනිමින් අවයව වෙනස් කර ගනිමින් මොවුන් ලිංගික තෘප්තිය සඳහා හෝ මොලේ අමාරුවක් නිසා මේ දේවල් කරනවාය යන්න බොහෝ විට නැගෙන චෝදනා වෙයි. පදනම් විරහිත චෝදනා කිරීමට හෝ විනිශ්චය කිරීමට පෙර මදක් සිතන්න. ලිංගික තෘප්තිය ලැබීමට නම් අයවය වෙනස් කළ යුතු නොවේ. එය කිනම් හෝ අකාරයකට ලබාගත හැක. නමුත් මානසික තෘප්තිය, තමන්ට හිමි විය යුතු ජීවිතය ලබාගැනීම මේ තුළ වෙයි. අමානුෂීය විවේචනයන් හා විනිශ්චයන්ට පෙර ඕනෑම කාරණාවක තිබෙන සත්‍යය පැතිකඩ පිළිබඳව පරිනත හා බුද්ධියෙන් මුහුකුරා ගිය සමාජයක් ලෙස මීට වඩා අවධානයක් යොමු කළ යුතු නොවේද?

@www.bakamoono.lk

භූමි හරේන්ද්‍රන් | Bhoomi Harendran [භූමි හරේන්ද්‍රන් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරිණියකි. චිත්‍රපට නිළියක් සහ වේදිකා නාට්‍ය නිළියකි. දැනට භූමි යංග් අවුට් හියර් සංවිධානයේ සම්බන්ධීකාරීණියක් ලෙස කටයුතු කරයි.]