iMage: THUNDENEK (තුන්දෙනෙක්)

හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයන් තිදෙනක් විය. ශ්‍රී ලංකා ජනරජයේෙ, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන, අගමැති, රනිල් වික්‍රමසිංහ සහ, සාමය සහ සංහිදියා කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජානධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංගය. මගේ මේ ව්‍යායාමය, සිනමා ප්‍රකාශනය විශ්ලේෂණය කිරීම නොව, එහි වූ අඛයානයන් සැබෑ ජිවිත අරගලය සමඟ ගලපා, මේ මොහොතේ වන දේශපාලනය පිළිබද, රාජ්‍යට සහ පුරවැසියාට යම් සිහි කැදවීමක් කිරීමය.

සිනමා පටයේ, මුල්ම කතා වස්තුවේ දී මුණ ගැසෙන, කේසවරාජා මට, සබැ ජිවිතයේ දී හමු වුයේ 2015 දී, යාපනේ සුදුමලේදී ය. ඥාති නිවසක, ජිවත් වූ හෙතෙම, විමුකුති කොටි සංවිධානයට සම්බන්ද විය. සංවිධානයට සම්බන්ද වුමේ ඔහුගේ සබුද්ධිකත්වය වුයේ, පාසල අවසන්ව නිවසට, බයිසිකලයෙන් ගමන් කළ ඔහුට කිසිදු හේතුවක් නොමැතිව, බයිසිකල් චේන් පටියෙන්, යුධ හමුදාව විසින් පහර දීමය. ඔහුට වූ, එකම උබතොකොටිකය වුයේ, ඇයි, මගේ පාඩුවේ පාරේ ගිය මට, හමුදාව, කිසිදු වැරැද්දක් නොමැතිව පහර දුන්නේ? ඔහුම එයට පිළිතුරු සොයාගත්තේය. ඒ පහර දීම සිදුවුයේ, ‘දෙමළ වීම ’ හේතුවෙනි. දෙමළ වීම පීඩනයට හේතු කාරකයක් වුයේ නම්, එයින් මිදීමට හෙතෙම, විමුක්ති කොටි සංවිධානය තෝරා ගත්තේය. එහෙත් ඔහුගේ සිහිනය වුයේ, ‘සිනමා ප්‍රකාශකයකු ’ වීමය. මිය යාම, උත්තරීතර බවත්, මරා දැමීම වීරත්වය බවත්, පිළිගත් සන්දර්භයක හෙතම ජීවිතය සෙවිය. ඔහුගේ වචනයෙන් කියන්නේ නම්, ‘හින තිබුනට උතුරට, දකුණට මේන් නොමැතිවිය අවස්ථාව’. කේසාට සේම අපි හැමෝටම හීන වේ.

ඒවැනි හීනයක් හිමි, මගේ ආදරවන්තියක් වුයේ, නදීකා බණ්ඩාරය. කුරුණෑගල, මාවතගමින් කොළඹ විත්, වානිජ්‍ය විද්‍යා උපාධියකින් පසුව, සිනමා කතාකාරියක් වීමට ඇය සිහින මැව්වාය. ඇය, ලිංගිකත්වය හේතුවෙන්, ස්ත්‍රියව යටපත් කරණ පුරුෂයා සහ පීතෘ මුලික සමාජය පිළිබද රචනා කලේ, පිරිමියාට ඇත්තේ, ‘ස්ත්‍රී ලිංගයක්’ බවත්, එහි ස්වරුපය පමණක් වෙනස් වන හෙයින්, එම වෙනස පදනම්ව බලය නිර්මාණය කිරීම වරදකාරී බවත් පෙන්වා දෙමිනි.

කේසා සේම දකුණේ ඔබට, ඇයව, මුණ ගැසෙනු ඇත. ඇය, තමාගේ වේදිකා නාට්‍ය වෙනුවෙන් ප්‍රග්ධනය සොයා ගැනීමට, කොළඹ නිදහස් මාවතේ දී , ටිකට් විකුණයි. ස්ටුඩියෝවක් වෙනුවට, කාමරයක රූපගත කිරීම් කර අතේ ඇති මුදලින්, තම හීනය පාට කිරීමට උත්සහා ගනී. “නදිකාට මහන්සි නැද්ද?”, මම ඇසුවෙමි.

“මම සමහර දවසට, රාගමෙන්, එන්නේ රුපියල් 10 ක් අතේ තියාගෙන. මගේ පොත් ටිකයි, නාට්‍යයේ, ටිකට් ටිකයි අරගෙන. මහන්සි බල බල ඉන්න බැහැ. ඒවා විකුණ ගන්න ඕනේ. ජිවත් වෙන්න සහ ජිවත් කරවන්න, මට හීනයක් තියන නිසා” යැයි නදීකා මට පිළිතුරු දුනි. “ස්ත්‍රීන්ට වේදිකාව සහ සිනමාව එතරම්ම අමාරු ස්ථානක් ද?” මම නැවත ඇසුවෙමි. “හැම තැනකදීම, පිතෘ මුලික සංස්කෘතිය, ස්ත්‍රියව සහ, පුරුෂ නොවන කණ්ඩායම් පිඩාවට ලක් කරනවා. මගේ වේදිකා නාට්‍ය පෙන්නවන්න, “පිතෘ මුලික සමාජ ආකෘතියේ සිටින කණ්ඩායම් අකමැතියි. හේතුව ඒවා අමුවෙන් තියන ඇත්ත. අපි කැමති, සිනි තවරා ලබා දෙන ඇත්තට මිස, සැබවින්ම පවතින ඇත්තට නෙවේ.” ඒ නදිකාගේ හඬය. ඔව්, යුද්ධය සහ සාමය සම්බන්ද කැරුණේ දී ද අපි කැමති අප වෙත ලබා දෙන ඇත්තට මිස පවතින තත්වය විමසීමට නොවේ.

නදීකා සහ කේසා යනු එකම වේදිකාවේ චරිත දෙකකි. නදීකා සිංහල ගැහැණියෙක් වන අතර කේසා දෙමළ පිරිමියෙකි. සිංහල බෞද්ධ පීතෘ මුලික, ධනේශ්වර සමාජයේ පංගු කාරිත්වය දෙදෙනාටම අහිමිය. එනයින්ම ඔවුන්ව පීඩනයට පත්කිරීමත්, ඔවුන් ගේ අනන්‍යතා උල්ලංඝනය කරමින්, ඔවුන්ට ඔවුන් වීමටත් ඉඩ නොදෙන පරිසරයක් ගොඩනැගී ඇත. අරගලය පැහැදිලිය. කේසා දෙමළෙක් වීම හේතුවෙන්, ප්‍රාග්ධන අරගලයේ දී තව තවත් පීඩාවට පත්වන අතර, නදීකා ස්ත්‍රියක් වීම හේතුවෙන් දැඩි පිඩනයට මුහුණ දෙයි. අරගලය උතුර ට මෙන්ම දකුණ ට ද සමාන ව දැනේ.

තුන්දෙනා ගේ, “ඔහුගේ” කතාව කියන්නේ විමුක්ති ජයසුන්දරය. ඔහුගේ හෝ විමුක්ති කොටියාගේ කතාව ඇසුවේ කවුරුන්ද? දකුණ ට මෙන්ම උතුරේ තරුණයාටද පැවැත්මේ අරගලයක් විය. ඉඩම හිමි, කුලීනයන්, පීඩාකාරි දේශපාලනයෙන් පලා යනවිට, භූමිය වෙනුවෙන් සටන්වැදුනේ කුලහීන උතුරේ තරුණයා හෝ තරුණිය වේ. උතුරේ තරුණයා / තරුණිය, අවි අතට ගැනීමේ සහේතුකත්වය අදටත්, දකුණ අමතක කර ඇත. දකුණට මතක එකම කරුණ නම්, උතුරේ තරුණයා / තරුණියගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමය. එම ප්‍රචණ්ඩකාරී හැසිරීම කිසිදිනක සාධාරණී කරණ කළ නොහැකි වුවද, උතුරේ තරුණයා ප්‍රචණ්ඩකාරී වූයේ ඇයිද යනු අදටත් දකුණ වටහා නොගත් කරුණකි. විමුක්ති ගේ ප්‍රවේශය එය වේ. විමුක්ති කොටි තරුණයකු ගේ නැවත ඉපදීම, මාධ්‍යයේ ප්‍රධානම පුවතක් වන්නේ කෙසේද? එය ඉතා සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකීමට දකුණ පුරුදු වී නොමැත. දකුණ නිරන්තරයෙන්ම සිදු කලේ සහ කරමින් සිටින්නේ ද ස්වීකරණයකි (Assimilation ).

එනම් දකුණට අවශ්‍ය ආකාරයට උතුරක් නිර්මාණය කරගැනීමකි. එයම අද දකුණේ බහුතරය, මුස්ලිම් ප්‍රජාවගෙන් ද බලාපොරොත්තු වේ. එසේ නොවන විට, ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට සිංහල- බෞද්ධ දකුණේ බහුතරය නිරන්තර සුදානමක වේ.

සන්ඝපුල්ලෙයි රදන් නම් අවුරුදු 17 ක කුලකුමරා, කිලිනොච්චියේ උපන් අයෙකි. ඔහු ඕමන්තේ මුරපොලේදී 2009 පෙබරවාරි 12 වැනිදා රදවාගෙන සිට අතුරුදහන් කර ඇත. ඔහුගේ මව තවමත් ඔහුව සොයයි. රදන් ගේ කතාව නැවත මා අහිමුව පෙනී ගියේ, අශෝක හඳගමගේ, ‘අනෙකා’කතාවෙනි. අනෙකාගේ කතාව හමුවන්නේ, තුන්දෙනෙක් චිත්‍රපටය තුලිනි. පසුගිය දිනක, දකුණේ විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලයීය සාකච්ඡාවක දී, එංගලන්තයේ ඉගෙනුම ලැබූ, අචාර්රයවරයෙකු අසා සිටියේ, අතුරුදහන් කරනු ලැබූ උතුරේ මවුවරුන්ගේ අරගලය සත්‍යවාදීම ද? දරුවන් අතුරුදහන් වූ බවට, සාක්ෂි කොහේද? උතුරේ අතුරුදහන් කරනු ලැබුවන් පිලිබඳ වන කතිකාවේ දී දකුණ මතුකරණ ප්‍රධාන මානයන් නම්, ‘සාක්ෂි සටහන් කොහේ ද’ සහ “අතුරුදහන් කල පුද්ගලයන්ගේ විමුක්ති කොටි අනන්‍යතාවය යටතේ සාධාරණ අතුරුදහන් කිරීමක් ලෙස එය සැලකීමය” විමුක්ති කොටි සාමාජිකයන් අතුරුදහන් කිරීම සාධාරණ කිරීමට පවා දකුණේ සමාජය වරක පෙළ ගැසේනුයේ, එය මවුබිමේ නිදහස වෙනුවෙන් බව ප්‍රකාශ කරමිනි. මෙම පෙළඹුම තුල වන සවිඥානකත්වය, හඳගම, “අනෙකා” ගේ කතාවෙන් ප්‍රශ්න කරයි. “යුද්ධේ කරපු LTTE කාරයෝ, එක්කෝ මැරිලා, නැතිනම් භාරවුනා. භාරවුනානම් පුනරුත්ථාපනය කරලා නිදහස් කරා. තාම ගෙදර ආවේ නැතිනම් එක්කෝ මැරිලා, නැතිනම් එයාට ගෙදර එන්න ඕනේ නැහැ” සංවාදය සිනමා රචනයෙන් උපුටා ගත්තකි. දකුණේ සිංහල බහුතරයකින් සැදුම් ලත්, හමුදාව වෙත, විශ්වාස කර හෝ නොකර භාර දුන් ජීවිතහි අවසාන ඉරණම තීන්දු වූ අකාරය නෛමිත්තිව ඉදිරිපත් කිරීම, හඳගම ගේ සිනමා භාවිතය තුළ දැකිය හැකිය. මෙහිම අනෙක් කතාව දකුණේදී ලියවුනි නම් එය, ජනතා විමුක්ති දේශපාලනය හේතුවෙන් අතුරුදහන් කරනු ලැබූ තරුණයන් ගේ ඉරණම කෙසේ විසදුනි ද? එම ඉරණම තීරණය කරනු ලැබුවේ ද සිංහල බහුතර ජන්දයෙන් පත්වූ ආණ්ඩුවකින් පාලනය වූ, කඳවුරු තුළ හෝ ආසන්නයේ විශාල බුදුපිළිම නෙලා, වෙසක් පෝයට දන්සල් සංවිධානය කරන, ශ්‍රී ලංකා හමුදාව විසිනි.

එහෙත්, මව්වරුන්ට විශ්වාසයක් වේ. මළමිනිය නොදක, දරුවා මරා දැමු බව අදටත්, දකුණේ හෝ උතුරේ අතුරුදහන් කරන ලද දරුවන්ගේ මවුවරු පිළිගන්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ ද ඉතාම සරල ගැටලුව වන, ‘මගේ දරුවාට මොකද වුනේ’ වෙනුවෙන් පිළිගත හැකි සාක්ෂියකි. දකුණේ අතුරුදහන් කළ දරුවන්ගේ කතාව එසේම පවතින නමුත් එය කාලයේ වැලි තාලාවෙන් වැසි ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත්වීම් කළ, එම ආදරණියයන් අද වයස් ගතව ඇත. එහෙත්, එසේ අතුරුදහන් කළ පුද්ගයන්ගේ කතාව අතුරුදහන් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එය, හඳගමගේ සිනමාරචනයෙන් පෙන්වා ඇත. ත්‍රී-රෝද රථ රියදුරාගේ චරිතය උතුරේ සහ දකුණේ ජනයාගේ නියෝජනයක් ලෙස මා හඳුනාගනී. තමන්ගේ එකම පුතා සොයා, ඇවිදින මව, පොලිස් ස්ථානයක් වෙත රැගෙන එන, ඔහු, නොනැවතී එම මවගේ සොයා යාමට උදව් වන අයුරු පෙනේ, උතුරේ සහ දකුණේ සමාජය ද කළ යුතු වන්නේ මෙයයි. අතුරුදහන්කළ පුද්ගයන්ගේ කතාව, අතුරුදහන් නොකර සිටීමට වග බලා ගැනීමය. ඉතාම අමිහිරි කරුණ නම්, දකුණේ පුද්ගල අතුරුදහන් කිරීම පිලිබඳ දකුණ නිශ්ශබ්දව සිටීම සහ එසේ වන ලෙස උතුරුට ද බල කිරීමය. හඳගම දකුණ රිදවන්නේ මෙතනදීය. හඳගමගේ රචනය දකුණේ දේශපාලන වින්දනය මෙහොතකට හෝ කඩාබිඳ දමනු ඇත.

මේ මොහොතේ දකුණේ දේශපාලන අනුරාගය, මව්බිම නැවත ගොඩ නැගීම, පරාජිත පුද්ගලයන් සමඟ නැවත නැගිටීම සහ විවිධ දේශපාලන මතිමානත්ර නියෝජනය කලද, බලය වෙනුවෙන් එකට අනුබද්ධ වීම වෙනුවෙන් ගොඩ නැගී ඇත. එම වට්පිටාවේම, නිශ්චිත ලිපිනයක් සහිත ස්ථානයක් හෝ නොමැතිව අතුරුදහන් කරනු ලැබූ පුද්ගයන් වෙනුවෙන් වන කාර්යාලයක් වෙත, පත්කිරීම් සිදුකර ඇත. මෙය හඳගම සිනමාව තුල ප්‍රකාශ කරන ආකාරයටම ‘විකාරයකි’. මෙම විකාරරුපි දේශපාලන පරිසරයෙන්, අතුරුදහන් කරනු ලැබුවන් වෙත යුක්තිය ඉටු වේද යන්න නැවත සිතා බැලිය යුතු කරුණකි.

සමස්තයක් ලෙස සිනමා රචනාව තුළම තිරසාර සාමයක් වෙනුවෙන්, මනුෂ්‍යතත්වය යොදාගැනීමක් කතිකා කර තිබුනද මගේ ගැටලුව වුයේ, එහි කතා නියෝජනයයි. උදාහරණ ලෙස, ඇයගේ කතාව පිරිමියකුගේ, පීතෘ මුලික මනෝ විශ්ලේෂණය තුලින් ඉදිරිපත් කිරීම මගින්, ‘ගැහැණිය’ නියෝජනය කිරීමට උත්සාහාකිරිම ගැටළු සහගතය.

කෙසේ නමුත් මෙම කතා ත්‍රිත්වයම යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය ප්‍රතිරුපනය කරයි. සාමය ගොඩනැගීම වෙනුවෙන් ආමන්ත්‍රණය කළයුතු විෂයන්, වර්තමාන ජනාධිපති, අගමැති සහ හිටපු ජනාධිපතිනය යන, ප්‍රතිපත්ති තීරණය කිරීමේ ප්‍රධාන පුද්ගයලන් වෙත සන්නිවේදනය කිරීමට මෙම සිනමා රචනාව සමත් විය. එසේම, සේනාධිනායකයා ලෙස, වර්තමාන ජනාධිපතිවරයා වටහා ගත යුතු වැදගත්ම කරුණ නම්, හමුදා ශ්‍රමිකයන්ගේ නීති විරෝධී, අමානුෂීය හැසිරීම් කිසි දිනක සුජාතකරණය කළ නොහැකි බවය. මා, හිටපු ජානාධිපතිනිය ගරු කරණ එක් අවස්ථාවක් නම්, සේනාධිනායකාව සහ රටේ ජනාධිපතිනිය ලෙස, ඇය සමුහ දුෂණ කර මරා දැමු, ක්‍රිෂාන්ති කුමරස්වාමිට යුක්තිය ඉටු කිරීමය. එම යුක්තියම අද, ඉස්ප්‍රියා ගේ මරණය බලාපොරොත්තුවෙන් සිටි. සංක්‍රාන්ති යුක්තිය සහ සාමය පිළිබද නිරන්තර අවධානය යොමු කරණ, සිරිසේන ජනාධිපතිතුමනි සහ වික්‍රමසිංහ අගමැතිතුමනි මේ ඔබේ අවස්ථාව වේ.

අරුණි සමරකෝන් | Aruni Samarakoon