ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි නිරත විය. මේ සියළු ව්‍යාපාරයන් ප්‍රදර්ශනය කලේ, ජනතාවගේ ‘ප්‍රමාණාත්මකව’ තිබෙන වර්ධනය මිස ගුණාත්මක චර්යාවන්ගේ පිබිදීමක් නොවේ. එයට කදිම උදාහරණය වුයේ, පසුගිය 2017 අප්‍රේල් මස, කුණු කඳු කඩා වැටීමෙන් ජනතාවක් මිය ගොස් ඇති පසුබිමක, පොලිතින් භාවිතය අවම කලයුතු කාලයක, දිනක සැමරුමක් වෙනුවෙන් සාදන වෙසක් කුඩු, පොලිතීන් මගින් ආවරණය කිරීමය. මෙලෙසම, බුදුන්ගේ රුපය ද කුඩු කර එයට ප්ලාස්ටික් ආවරණ සවි කිරීම ද අද වන විට බහුලව දැකිය හැකි තත්වයකි. බුදුන්ගේ ප්‍රතිමාව ආරක්‍ෂා කිරීමට උත්සුක වන බහුතරයක් කණ්ඩායම්, බුදුන්ගේ දේශනාවන් විනාශ කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි. හොඳම උදාහරණය නම්, බුදුන් වහන්සේ මහත් සේ අගය කළ, ‘අවිහිංසාව’ වෙනුවට හිංසාව, වෙසක් කලාප සහ කාලපරිච්ඡේදය තුළ ප්‍රවර්ධනය කිරීමය. වෙසක් සිරි නැරඹීමට පැමිණි, බොහෝ කාන්තාවන් ගේ ශරීරාංග එම කාලාප වල සිටි පිරිමි විසින් බලාහාත්කාරයෙන් ස්පර්ෂ කිරීම හොඳම උදාහරණය වේ. ගැනුන්ව අතගෑම වෙසක් දවසට පමණක් නොව ඕනෑම අවස්ථාවක සිදුවන බවට කවුරුන් හෝ තර්කයක් ගෙන ඒ නම්, මට කිව හැක්කේ, දෛනික ජීවිතයේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන ස්ත්‍රියට, මහා විශාල බුදුන්ගේ තෙමඟුල සැමරුමේ දී වත් නිදහසක් නොමැත්තේ නම්, බුදුන් ව වෙළඳ භාණ්ඩයක් කරණ මේ වෙසක් සැමරුම් සහ වෙසක් වෙළද කලාප නවත්වා දැමිය යුතු බවය.

පසුගිය වෙසක් සමරු අප්‍රේල් 30 වන දින මා ස්ත්‍රීයක ලෙස මුහුණ දුන්නේ බැරෑරුම් ගැටලුවකටය. එම ගැටලුව හේතුවෙන් මා, මගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ප්‍රශ්න කලෙමි. පුරවැසියකු ලෙස මා බදු ගෙවන මුත්, මට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතීන් වත් භුක්ති විදීමට නොහැකි පරිසරයක සිට, විමුක්තිය වෙනුවෙන් අරගල කළ යුතුව ඇත. පසුගිය අප්‍රේල් 30 වැනි දා මම කොළඹ – මහනුවර නගරාන්තර බස් රියට, මහනුවරින් පස්වරු 2.30 ට පමණ ගොඩවීමි. ඉන් ඉක්බිතව බස් රථය තුළදී තද නින්දටකට වැටුණු මා අවධිවුයේ පස්වරු හරතරට පමණය. ඒ වන විටත්, බස් රථය ගෙවා තිබුනේ කිලෝමීටර හතරකට අඩුවෙන් වූ දුරක් වූ අතර එය පිළිමතලාව නානුඔය මාර්ගයේ හිරවී තිබුණේ, පාර අයිනේම ක්‍රියාත්මක වූ හිමකිරම (ice- cream) දන්සැල් හේතුවෙනි. බස්රිය නිට්ටඹුවට පැමිණෙන විට රාත්‍රී 8 පසුවී තිබුණි. මා සිටියේ යටි බඩේ වේදනාවෙනි. මාසික ඔසප් වීම හේතුවෙන් දැඩි යටි බඩ වේදනාවක් මා හට ඇති අතර, දවාල ඇඳි සනීපාරක්ෂක තුවාය මට දැඩි අපහසුතාවක් ඇතිකරණ ලදී. එසේම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් මාහට ඇති වුව ද එය ඉවසා සිටීම හැර වෙනත් විකල්පයක් නොවීය. බස් රථය කොළඹ බස් පර්යන්තත වෙත පැමිණෙන විට රාත්‍රී 10 පසුවී තිබුණි. එවැනි අවස්ථාවක, ගමන් මලු සමඟ නිදහසේ විවේක ගැනීමට ස්ථානයක් කොළඹ කොටුවේ හෝ ලංකාවේ වෙනත් ස්ථානයක හෝ නොතිබීම ස්ත්‍රීන් පිඩාවට පත්කිරීමකි. මම ගමනාන්තය වෙනුවෙන් 138 බස් රියක් වෙත ගොඩවීමි. එය සියලු ආකාර සිරසා සහ වෙනත් ස්ථාන ද නාමාමි වැඩසටහන් පසුකර නුගේගොඩට පැමිණෙන විට මධ්‍යම රාත්‍රීයට ආසන්න විය. පැය 09වක ට වැඩි කාලයක් යටිබඩේ වේදනාවක් සහිතව මේ රටේ, පාරේ කාලය කා දැමීමට සිදුවන විට, පොළොවෙන් සහ කේම්බ්‍රිජ් ටෙරසයෙන් මතුවූ බොහෝ පිරිමි තම ගැහැණු සමඟ සුව නින්දේ පසුවනු ඇත. එසේම, බුදුන්, වෙළඳ භාණ්ඩක් කර විකුණන කහ සිවුරු වෙළදුන් සහ එයට අනුබල දෙන පිරිමි සහ ගැහැණු ද කිසිදු හිරිකිතයකින් තොරව, වෙසක් කලාප ප්‍රවර්ධනය කරණු ඇත. තවත් බොහෝ ගැහැණු, මේ පුරුෂ මුලික මිත්‍යාවන්ගේන් කායිකව සහ මානසිකව පිඩා වින්දිමින්, සිංහල- බෞද්ධ පුරුෂයන්ගේ ආශාවේ පීඩාවට ගොදුරු වනු ඇත.

ප්‍රීති වෙසක් ගැහැණුන්ට පමණක් නොව පරිසරයට ද වේදනාවකි. දාන පාරමිතාව පුරණ උදවිය, තමන්ගේ පහසුව වෙනුවෙන් ප්ලාස්ටික් බඳුන් භාවිතා කරණ ආකාරයක් විය. හොඳම සාක්ෂිය නම්, ඉබ්බන්වල හන්දියේ වූ බෙලි මල් දන්සලයි. එහිදී සැදැහැවත් දාන පාරමිතා පුරණ උදවිය ප්ලාස්ටික් කෝප්ප හි බෙලිමල් පිරිනැමූ අතර, ඒ මල් පානය කළ සද්ගුණවත් වෙසක් සිරි නරඹනන්, කෝප්ප පාර පුරා එය විසිකර දමා තිබුණි. මේ කතාවම, ගංගාරාමයේ නවම් පෙරහැර අවසානයේ දී මා අත්දැකිමි. බුදුන් පරිසරය සමඟ ජිවත් විය. සිද්ධාර්ථ බුදු වන්නේ ඇසතු ගසක් පාමුලය. තමාවෙත කරුණා කළ වෘක්ෂයට කළගුණ දැක්වීමට අනිමිසලෝචන පුජාවක් කළේ, වර්තමාන බෞද්ධයන්ට පරිසර සුරැකීම වෙනුවෙන් ක්‍රියාවෙන් ආශීර්වාදයක් ලබාදෙමිනි. විල්පත්තු විනාශයට මෙන්ම, පරිසර විනාශකාරී වෙසක් සැරසිලිවෙත විරෝධය දැක්වීම ද සිදුකළ යුතුය.

තොරන් සහ නිරාමිස සුවය අතර ඇත්තේ කුමන ආකාරයක සම්බන්දයක් දැයි පැවසිම අසීරුය. තොරණ මගින් සිද්ධාරථගේ සංසාර චක්‍රයේ අවස්ථා නිරුපණය වන අතර, අදවන විට එම නිරුපණය, වෙළඳ භාණ්ඩයක් වී අවසානය. මෙකී තෝරන් වෙළද කලාප, ප්‍රධාන මාර්ග අවහිරවන ලෙස ඉදි කර තිබෙනුයේ, මාර්ග භාවිතයේ අවස්ථාව, තීරණ කිරීමේ බලය, එකී තොරන් ඉදිකරීමට අනුග්‍රහය ලබා දෙන අදාළ වෛශාඛ්‍ය කණඩායම වෙත පවරා දෙමිනි. මෙහි ප්‍රතිපලය නම්, අනවශ්‍ය ලෙස මාර්ගස්ථ තදබදයක් නිර්මාණය වීමත්, එනයින් සිදුවන්නේ කාලය අපතේ යාම සහ ඉන්දන දහනය වේගවත් ව, ගෝලීය උණුසුම ඉහළ දැමීමට දායක වීමත්ය. එපමණක් නොවේ; ශබ්ද දුෂණය ද මෙහි තවත් එක් බරපතළ විපාකයකි.

මහජනයා අපහසුතාවයට පත් කරමින්, වෛශාඛ්‍ය කණඩායම්, වෙසක් සැමරුම්, අත්නොමතිකව සිදුකරන විට, ජනයා බදුගෙවා, පවත්වාගෙන යනු ලබන, බුද්ධශාසන අමාත්‍යාංශය, පණිවිඩ නිකුත් කිරීම හැර කරණ කාර්ය කුමක්ද යන ගැටළුව පැන නැගේ. එකී අමාත්‍යංශය දැක්ම ලෙස සටහන් වන්නේ “සාරධර්ම සපිරි ගුණගරුක සමාජයක් බිහිකිරීමේ ප්‍රමුඛ පහසුකරන්නා බවට පත්වීම” වන අතර “බෞද්ධමධ්‍යස්‌ථාන කේන්ද්‍ර කරගනිමින්, බෞද්ධාගමික ඉගැන්විම් මත පදනම් වෙමින් සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කර, ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් ජිවන රටාවක් සහිත ගුණගරුක සමාජයක් බිහිකිරීමට උරදීම වේ” (http://www.mobs.gov.lk/si/). මෙම මෙහෙවර සහ දැක්ම, යතාර්ථවාදී වීම ගැටළුකාරීවී තිබේ. බෞද්ධාගමික ඉගැන්වීම් මත වැඩකටයුතු කරණ පාර්ශව කරුවන්, අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්ති සකස් කිරීමේ දී සපයා ගන්නේ කෙසේද? බෞද්ධාගමික ඉගැන්වීම් නිරන්තරයෙන් උත්සුක වුයේ, ලද මිනිස් ආත්මයට ගරු කර, ස්වාධින ජනජීවිතයක් ගත කිරීමට මාර්ගය සැලසීමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති ගුණාංග, මනුෂ්‍යකු ලෙස, ගරුත්වයක් සහිතව ජිවත්වීමට අවැසි මාර්ගෝපදේශනය වේ. එහෙත් ස්වාධින මනුෂ්‍යයකු තැනීම පසෙක තබා, බෞද්ධාගමික ඉගැන්වීම් බැහැර කරමින්, ස්වයං වින්දනය වෙනුවෙන් කැප ව සිටින පාර්ශවකරුවන්, ගුණගරුක සමාජයක් බිහිකිරීමට දායක කරගන්නේ කෙසේ ද? විශේෂයෙන්ම අඬබෙර ගසා පරිභෝජන භාණ්ඩ බෙදා දීම සිදුකිරීම මගීන්, අධාරමත යැපෙන, මානව ගරුත්වය අහිමි වූ ජනතාවක් බිහිවී ඇති ආකාරයක් දැකිය හැකිය. ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, මෙසේ අඬබෙර ගසා පාරිභෝජන භාණ්ඩ පිං පිණිස බෙදන පෝලිම් හි, බඩුමලු වෙනුවෙන් පැය ගණන්, රිදුම් දෙන දෙපා සමඟ රැදී සිටින ජනයාගේ වර්ධනයක් වේ. මා අත්දුටු දැක්ම නම්, 2018 අප්‍රේල් 30 වැනි දින මහනුවර සීමාසහිත ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ දී අළුත්ගම ධම්මානන්ද හිමි, අමාත්‍ය සරත් ඒකනායක, පුරපති කේසර සේනානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යනාදී පුද්ගලයන් එකතුව වියළි අහාර මලු 1000 ක් බෙදා දීම වෙනුවෙන් දවස පුරාම, සමිති දොරටුවේ පොරකමින්, දරුවන් ද කිහිල්ලේ ගසා රැදී සිටින ජනතාවය. මෙහි සමහර ජනයා, සමිති සාමාජිකාවන් වෙත ගමන් කරමින්, බඩු මල්ල ලබා දෙන ලෙස බැගෑපත් වීය. පිං පිණිස හුදු ජනයාගෙන්ම එකතු කර, තවත් ජනතාවක් වෙනුවෙන් බඩු මලු බෙදා දීමේ සංස්කෘතියක් නිර්මාණය කර, එයින් ජනප්‍රියත්වයට පත්වීමට උත්සුක වන පාර්ශව කරුවන්ගෙන් දැහැමි සමාජයක් කවදා නිර්මාණය වේද?

එසේම දැහැමි සමාජයක් කෙසේ වෙතත් මෙම අමාත්‍යාංශයේ සේවා ප්‍රභේදනය සඳහන් ආකාරයට අමාත්‍යාංශ සේවා මගින් සිදු කරන්නේ පිං වෙළඳපලකරණයයි (http://www.mobs.gov.lk/si/services). පිං වෙළඳපළ කරණය කල අමාත්‍යාංශයක්, යහපත් සමාජයක් ලෙස හඳුනා ගනු ලබන්නේ, ස්වේත වස්ත්‍රභරණයෙන් සැරසී, නෙලුම් මල් අත දරා, පෝලිමක් තැනි, පන්සල් යන ගැහැණු සහ පිරිමි නම්, බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාව තුළ විනාශ වීම වැළැක්විය නොහැක.

බෞද්ධ දර්ශන මාර්ගයේ ගමන්ගත් පුරුෂයාගේ උපත, බුදුවීම සහ පිරිනිවීම සැමරීම උදෙසා වන වෙසක් උත්සවය මිතුරු හෙටක් වෙනුවෙන් විය යුතුය. එම මිතුරා, ස්ත්‍රියක් හෝ වෙනත් ජනවාර්ගයක් හෝ ආගමක් හෝ සමාජ කණ්ඩායමක් නියෝජනය කරනු ඇත. එම ජනයා අපහසුවට පත් නොවන ආකාරයට, මානව ගරුත්වය සහ නිදහස අගය කල පුද්ගයාගේ තෙමඟුල සැමරිය යුතුය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon