iMage by: Reuters

රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක් ලෙස පෙනෙන ඉතිහාසයේ සරදමකි.

රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති ප්‍රධාන සාධකය සිිංහල බෞද්ධ හැගීම් ඇවිස්සීමට එහි ඇති සූදානමයි. යුද ජයග්‍රහණය සහ ‘රණ විරුවන්’ ආරක්ෂා කර ගැනීම පාදක කර ගනිමින් එල්ටීටීඊ භීතිකාව මැවීම එහි මූලෝපාය තුළ පවත්නා වැදගත් උපක්‍රමයකි. මර්දනය මගින් රට ගොඩ නැගීමද ගෝඨාභයගේ තවත් ‘හැකියාවක’ ලෙස සළකනු ලැබේ. ගෝඨාභය රැස්වළල්ල කැරෙකෙන්නේ එම සාධක වටා ය. ගෝඨාභය ජය ගත යුත්තේ තනි සිංහල ඡන්ද වලිනි.

ගෝඨාභය රාජපක්ෂට සැළකිය යුතු දෙමළ සහ මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැත හැකි වනු ඇතැයි සිතිය නොහැක. ඔහුගේ මර්දනකාරී අතීතය සැළකිය යුතු ප්‍රමාණයක සිංහල ඡන්ද දායකයා ද බිය ගැන්වීමට සමත් වනු ඇත. එමෙන්ම අන්තර් ජාතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සැළකෙන්නේ යුද අපරාධයන්ට ඍජුවම සම්බන්ධ චීන හිතවාදී දේශපාලනඥයකු ලෙසිනි. මේ නිසා බටහිර යුරෝපා රටවල් පමණක් නොව ඇමෙරිකාව සහ ඉන්දියාව ද ගෝඨාභය රාජපක්ෂ මෙරට නායකයා වනු දැකීමට නොකැමැති වනු ඇත. යම් හෙයකින් ඔහු මෙරට ජනාධිපතිවරයා බවට පත්වුව හොත් යුද සමයෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධ අන්තර් ජාතික බලපෑම් ඉහළ යාමට ද බොහෝ දුරට ඉඩ තිබේ.

මෙම තත්වය තිබියදීත් රාජපක්ෂ කදවුරෙහි ජනාධිපති අපේක්ෂකයා මට පෙනෙන විදිහට නම් දැනටමත් තෝරා අවසන් ය. ඒ අන් කිසිවකු නොව මෙම උභතෝකෝටිකය නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ ම ය. ආන්තික සිංහල බෞද්ධ ජන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය මතවාදී පදනමක් වන ශ්‍රී ලංකාවෙහි දෙමළ සහ මුස්ලිම් ජනයා ජිවත් විය යුත්තේ සිංහල ආධිපත්‍යය යටතේය යන ආකල්පය තහවුරු කළ හැකි මර්දනකාරී දේශපාලනඥයා ද ගෝඨාභය රාජපක්ෂම වේ.

අනෙක් අතට පවුලෙන් පිට කිසිවකුට සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක. දිනේශ් ගුණවර්ධන ඉල්ලා සිටි වාසුදේවගේ කට දැන් වැසී තිබේ.

ජනාධිපතිවරණ දේශපාලන ව්‍යාපාරයක් අරඹා ඇත්තේ ගෝඨාභය පමණය. ඔහු නැගෙනහිර කුඩා මුස්ලිම් කණ්ඩායමක් අැමැතීමට පසුගියදා එහි ගොස් තිබුණි. යාපනයේ රාජපක්ෂ පාර්ශවයේ ප්‍රධානියා වන රාම්දාස් ද ගෝඨාභය ජනාධිපතිවරණයට අවශ්‍යම බව කියා තිබේ. එමෙන්ම සිය හොරණෑකරුවන් නිසා නැගෙන ඒකාධිපති විවේචන නොසළකා ගෝඨාභය හිටපු අන්තවාදී යුද්ධ නායකයින් සිය රැස්වීම්වල කථිකයින් ලෙස දිගටම යොදා ගනියි.

පෙනෙන විදිහට රාජපක්ෂ පවුල ගෝටාභය සම්බන්ධයෙන් සම්මුතියකට එළඹ තිබේ. එනම් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය යම් දුරකට පවුලේ ආධිපත්‍ය යටතට ගැනීම ය. ඊට එක් සාක්ෂියක් පසු දිනෙක දක්නට ලැබුණි. එනම් කොලඹ නගර සභාවෙහි රාජපක්ෂ පාර්ශවයේ තරුණ නායකයා වන මිලින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ නිල ප්‍රකාශකයා ලෙස නම් කිරීම ය.

ඇතුගල්පුරවාසී මිලින්ද රාජපක්ෂ සමාජ ක්‍රියාකාරිත්වයට පැමිණියේ මානව හිමිකම් ක්ෂේත්‍රය හරහා ය. ඔහු දෙදහස් දශකයේ මුල් භාගයෙහි වසරයන්හි ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනයේ තරුණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. අනතුරුව එක්සත් ජාතින්ගේ සංවිධානයට සම්බන්ද විය. පසුව ඔහු රාජපක්ෂවාදී දේශපාලනයට ඇදී ගිය අතර නාමල් රාජපක්ෂගේ සමීතමයකු බවට පත් විය. තවද පසුගිය කාලය පුරා සිය සමාජ මාධ්‍ය ජාල හරහා මිලින්ද රාජපක්ෂ පෙන්වා ලූ එක් කාරණයක් නම් ඔහු සහ නාමල් රාජපක්ෂ අතර ඇති සමීප සම්බන්ධයයි. තවද ඔහු බැසිල් රාජපක්ෂ අනුගාමිකයෙක් ද වේ.

දැන් ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකයා ලෙස එකී මිලින්ද රාජපක්ෂ බවුතීස්ම කර තිබේ. බැසිල් රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට හෝ නිල මාධ්‍ය ප්‍රකාශකයකු නැත. මහින්ද රාජපක්ෂට මාධ්‍ය ප්‍රකාශකයකු සිටින නමුත් ඔහු කට අරින්නේ සිංගප්පූරුවට ගොස් අමාරුවේ වැටුනාක් වැනි අවස්ථාවලදී පමණය.

මෙම පත් කිරීම වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ලඟම කවයේ සිටින පක්ෂපාතී යුද හමුදා නිලධාරීන් අතරින් කෙනෙකු වෙනුවට නාමල් රාජපක්ෂගේ දේශපාලන අගසව්වකු මෙම තනතුරට, එය නාමික එකක් විය හැකි නමුත්, පත් කර ගන්නා ලද බැවිනි. විශ්‍රාමික ජාතිවාදි යුද නිලධාරීන් වටාකරගනිමින් ගිය ගමනම ගියේ නම් ගෝඨාභය ගේ නිල ප්‍රකාශකයා විය යුතු වූයේ ‘ ගොටාගේ යුද්ධය’ ලියූ සී. චන්ද්‍රප්‍රේම හෝ් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ ප්‍රධානී මේජර් අජිත් ප්‍රසන්න වැනි අයෙකි. දැන් ඒ තැන නාමල් රාජපක්ෂ අගසව්වකුට ලැබී තිබේ.

දේශපාලන විචාරකයකු වන ජයදේව උයන්ගොඩ සිය සති අන්ත ලිපි මගින් කියා සිටි කාරණයක් වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් තම දේශපාලන ලුතිනන්වරුන් ලෙස හිටපු යුද හමුදා ප්‍රධානීන් පත්කරගෙන සිටීම මහින්ද රාජපක්ෂගේ අකමැත්තට හේතු විය හැකි බවයි. ඔහු තව දුරටත් කියා සිට තිබුණේ සමහර විට ගෝඨාභයගේ මිලිටරි – දේශපාලන සැලැස්ම පරාජය කිරිම පිනිස විකල්ප සොයන මහින්ද රාජපක්ෂ, ශිරන්තී සහ චමල් හැරුණ විට රනිල් වික්‍රමසිංහට වුව සිය රහසිගත කැමැත්ත දිය හැකි බවයි. මෙම තර්කය මූලික වශයෙන් පදනම් වී ඇත්තේ 2025 වර්ශයේදී නාමල් රාජපක්ෂ මෙරට නායකයා බවට පත් කිරීම මහින්ද රාජපක්ෂ පවුලේ ප්‍රධාන අරමුණය යන උපකල්පනය මතය . එනම් ගෝඨාභයට නොදී නාමල්ට රට බාරදීමට ඇති රාජපක්ෂ පවුල් සැලැස්ම ය.

නමුත් අප මතක තබා ගතයුතු තවත් වැදගත් සාධකයක් තිබේ. එනම් රාජපක්ෂ පාර්ශවයේ සෙනවියන් ගණනාවකට ම විරුද්ධව දැනටමත් වංචා–දූෂණ නඩු විභාග ආරම්භ වී තිබීම යි. විශේෂ අධිකරණ පවා කෙකෙරගාමින් වුව සිය කටයුතු ආරම්භ කර තිබේ. ගෝඨාභ්‍ය රාජපක්ෂ සම්බන්ධ දූෂණ නඩුවක් වංචා දූෂණ විභාග කරන විශේෂ අධිකරණයට යොමු කරන සේ එෆ්.අයි.සී.ඩී. ය දැන් අගවිනිසුරු ගෙන් ඉල්ලා සිට තිබේ. ජනමාධ්‍යවේදී කීත් නොයර් පැහැර ගෙන ගොස් යුද හමුදා රහස් නිවෙසක රඳවා වධහිංසා පැමිණවීමෙන් පසු නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි. ඉදිරි මාස කිහිපය තුළ මෙම ක්‍රියාවළිය ඉදිරියට ගිය හොත් රාජපක්ෂ පවුලට සම්බන්ධ දේශපාලනඥයින් දුෂ්කර තත්වයකට පත්වීමට හොදටම ඉඩ තිබේ.

මෙම තත්වය යටතේ මෙම නඩු විභාග කඩාකප්පල් කර දැමීම රාජපක්ෂගේ අන්තේවාසික දේශපාලනඥයින් බහුතරයක හදිසි අවශ්‍යතාවය බවට පත්ව තිබේ. බලට පැමිණ අධිකරණ ක්‍රියාවලීන් කඩකප්පල් කර මෙම නඩු මෙහෙයවූ පොලිස් සහ නීති නිලධාරීන්ට පාඩමක් ඉගැන්විය හැකි පුද්ගලයා ලෙස සැළකෙන්නේ ද ගෝඨාභය රාජපක්ෂම වේ. මර්දනය හැර අන් දේශපාලනයක් ඔහු දන්නේ නැති නිසාය‍.

පෙනෙන විදියට ආණ්ඩුව කිසිවක් නොකළේය යන චෝදනාව 2019 අවසානය වන විට එතරම් බලගතු සාධකයක් නොවීමට ඉඩ තිබේ. මන්ද යත් ආණ්ඩුව බර කරත්තයෙන් ගිය ගමන දැන් වාෂ්ප ඇන්ජිමක වේගයෙන් දුවන්නට පටන් ගෙන තිබෙන නිසා ය.

රාජපක්ෂ හම්බන්තොටට ලබා දුන්නේ එහි ජනයාට වැඩක් නැති රාජපක්ෂ නම බොඩ්ලෑලිවල ඇලවූ දැවැන්ත සුදු අලි ව්‍යාපෘතිය. රාජපක්ෂ වරාය, රාජපක්ෂ ගුවන්තොටු පොළ පමණක් නොව රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවද රන්මිණි තැන්න එළිමහන් චිත්‍රාගාරයද ලබා දෙන්නේ අතිවිශාල පාඩු මිස ජනතා සේවයක් නොවේ.

රාජපක්ෂ මෙන්ම සිය දිස්ත්‍රික්කයට ලොකු හැන්දකින් බෙදා ගත් නමුත් ඊට ප්‍රතිවිරුද්ධව මෛත්‍රීපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව යටතේ ඉදි කරන ලද්දේ මහජන සේවාවන් වන ව්‍යාපෘති රැසකි. ඔහුගේ නම ඒ්වායේ අලවා නැත.

මෙම දුවන වේගයෙන්ම ඉදිරි මාස 15 තුල දුවන්නට ආණ්ඩුවට දුවන්නට හැකි වුවහොත් රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඉතිරිවනු ඇත්තේ ජාතිවාදයට බර දේශපාලනයක් පමණි.

ගොඨාභය තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි. නිල වශයෙන් තමා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන තුරු තමා සිය ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කර නොගන්නා බව ගෝඨාභය කියන්නේ රාජපක්ෂ පවුලට වෙනත් අපේක්ෂකයකු නැති බව ඔහු දන්නා නිසාය. ඇමෙරිකානු පුරවැසිකම තබා ගෙනම ගීතා කුමාරසිංහ කළාක් මෙන් ඔහුට නාමයෝජනා දිය හැක. ඡන්ද ව්‍යාපාරයද ගෙන ගිය හැක. නමුත් එය දැවැන්ත සූදුවකි. මන්ද යත් ඔහු ඡන්දයෙන් ජය ගත්තද ශ්‍රේෂඨාධිකරණය හමුවේ පැරදී රට මහා අවුලකට යට යැවිය හැකි නිසා ය.

මෙම තත්වය යටතේ ඉක්මණින්ම සිය අපේක්ෂකයා නම් කිරීමට රාජපක්ෂ පවුලට සිදුවනු ඇත. ඒසේ නොවුව හොත් පවුලේ අවුල රාජපක්ෂ කඳවුරෙහිම අවුලක් බවට පත්වීමට ඉඩ නැතුවා නොවේ.

මෙම චිත්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍ය අනෙක් අත්‍යවශ්‍ය සාධක දෙකක් තිබේ. ඒනම් රනිල් වික්‍රමසංහගේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ සැළැස්ම කුමක්ද යනු ය. පෙනෙන විදිහට ඒ් දෙදෙනාටද නිශ්චිත අදහසක් නැත.

මේ වනාහී වත්මන් ශ්‍රී ලංකික දේශපාලනයේ ඇති අතාර්කික අවිනිශ්චිත ස්වභාවයේ පිළිබිඹුවයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya