iMAGE: UN Photo/Violaine Martin

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් වාචිකව ඉදිරිපත් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය  විසින් ඊයේ දින විශේෂ  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඩේලි මිරර් පුවත්පතෙහි පසුගිය සඳුදා දින පළ කළ ලිපියකට ( OHCHR chief Admits UN report erroneous: NP Governor) තම අදහස් දක්වමින්, මෙවර ජිනීවා හි පැවතී මානව හිමිකම් සැසිය වෙනුවෙන් ශ්‍රී  ලංකා රජය නියෝජනය කරමින් පැමිණි  දුත පිරිසෙහි සමාජිකයෙකු වූ  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රඝවාන් මහතා,” මිෂෙල් බැචලේ  වන තමන් විසින් ශ්‍රී  ලංකාවට එරෙහිව UNHRC වාර්තාවට ඇතුළත් කර ඇති ඇතැම් කරුණු කෙසේවත්  අනුමත කළ නොහැකි බව එම සැසියේදී පිළිගත් බවත්”, කරුණු ඉදිරිපත් කිරීමේදී මිට පසු “වඩා වගකීමෙන් හා පරෙස්සම් සහගත “ ලෙස එය කරන ලෙස තම ජේෂ්ඨ නියෝජිතයන් දෙදෙනෙකුට උපදෙස් දුන් බවත් යනුවෙන් කොට ඇති ආණ්ඩුකාරවරයාගේ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කොට තිබේ.

මෙහි  කියන කරුණු  කිසිසේත්ම සත්‍ය නොවේ” යනුවෙන් අවධාරණය කරමින් ඇය විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර, එක්කෝ ආණ්ඩුකාරවරයා තමන්ගේ  ප්‍රකාශය වැරදි ලෙස වටහා  ගෙන එය වැරදි ලෙස උපුටා දක්වා ඇති බවත් , එසේ නැත්නම්  ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය පුවත් පත වැරදි ලෙස වාර්තා කොට ඇත්දැයි තමන් නොදන්නා  බවත් ඇය ප්‍රකාශ කොට තිබේ. කෙසේවෙතත් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමයන් සැලකිය යුතු ලෙස වැරදි අර්ථකථනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රවෘත්ති ආයතනද කටයුතු කරන බවත් ඇයගේ විශේෂ නිවේදනය තුළ පෙන්වා දෙයි.

තමන් විසින් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාවත්, එසේම එහිදී තමන් විසින් කළ වාචික ප්‍රකාශය වෙනුවෙන් මුළුමනින්ම පෙනී සිටින බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එම වාර්තාව  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධ සාධාරණ හා විෂයික නිරුපණය වන්නක් බවත්  යි ඇය කියා සිටියි.

ඒ අනුවමා විසින්  ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව උඩු යටිකුරු කිරීම සම්බන්ධයෙන් මා  දැඩි ලෙස කම්පාවට පත්වෙනවා” යනුවෙන්  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රඝවාන් විසින් කොට ඇති ප්‍රකාශයට මිෂෙල් බැචලේ මහත්මිය අප්‍රසාදය හා තම කල කිරීම පළ කොට තිබේ.

සම්ප්‍රදායට  අනුව යමින් හා  ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ම ඉල්ලීමට අනුව  මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජය වෙත ද ලබා දී තිබුණු බවත් , වාර්තාව සකස් කිරීමේදී ශ්‍රී ලංකා  රජය පාර්ශවයේ  මතය සැලකිල්ලට ගත්‍  සේම , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ ජේෂ්ඨ  නිලධාරීන් පිරිසක් පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිය දී රජයේ පාර්ශවයෙන් නිලධාරීන් රාශියක් සමඟ එහි අන්තර්ගතය ගැන සාකච්ඡා කළ  බවත් මෙම නිවේදනයේ ඇය දක්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකා රජයේ සම දායකත්වයෙන් ස්ථිර කොට ගත්  යෝජනා 30/1 (2015) සහ 34/1 (2017) ක්‍රියාත්මක  කිරීම සඳහා ශ්‍රී ලංකා  රජය සහ ජනතාව වෙත සහාය වීමට ඇය සහ ඇයගේ කාර්යාලය තවදුරටත් කැප වී සිටින බවත්,  මීට සිව්වසරකට පෙර පිළිගත් එම කැපවීම් සම්බන්ධව මෙවර  මානව හිමිකම් කවුන්සිලයේ තවත් යෝජනාවක් සම්මත කරගනිමින්  (40/1)  ශ්‍රී ලංකා  රජයට තවත් වසර දෙකක දීර්ඝ කිරීමක් ලබා දුන් බවත් ඇය එහි සඳහන් කොට තිබේ.

දැන් ශ්‍රී ලංකා රජය කැප විය යුත්තේ  2009 දී යුද්ධය අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ  සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා වන යුක්තිය සහ වගවීම සැපයීමට ඇති වගකීම ඉටු කිරීම හා ප්‍රතිසංහිදියාව  ප්‍රවර්ධනයට බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මෙහිලා විශේෂයන් අවධාරණය කොට තිබේ.

කෙසේවෙතත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්ගේ පාරම් බෑමට අනුව මානව හිමිකම් මහා කොමසාරිස්වරිය විද්‍යාත්මකව වාර්තාවක් ලියන්නට තරම් වත් නොදන්නා සේම එය කළමනාකරණය කරගන්නට බැරි කෙනෙකි. මේවා කියන්නේ කාට ද? හෙළුවෙන්, උඩු බැලි අතට සිටගත්විට තමන්ගේ නිරුවත අන් සියලු දෙනාට නොපෙනෙන බව ඇතැම්හු නොදනිති. ඒ නිසා නිරුවතින් කරන මේ බොරු බයිලා අසන්නට තරම් මන්ද මානසික පුරවැසියන් රටේ ඇතැයි ඔහු සිතා වරද්දා ගෙන ඇත. කොටින්ම ගැමියන්ගේ වහරට අනුව නම් දැන් සුරේන් රාඝවන් ප්‍රමුඛ මේ විගඩම් ආණ්ඩුව දැන් “රෙද්දේ රෙවා ගෙනය”.

තවත් පුරවැසියන්ට ජිනීවා බිල්ලකු මාවා පෑමෙන් එහා ගිය තිරසාර විසදුමකට සද් අරමුණක් තම දේශපාලන න්‍යාය පත්‍රයන්ට අවශ්‍ය බව රට කරන්නෝ සිහි තබා ගත යුතුය. එසේ නොමැති වුවොත් රටක් ලෙස අපට මුහුණ දීමට වන හතර විලිලැජ්ජාවෙන් වත් අපට ගැලවීමක් නැත.

සබැඳි

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය  විසින් ඊයේ දින විශේෂ  මාධ්‍ය නිවේදනය
  2. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව
  3. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව ඉදිරිපත් කළ ප්‍රකාශය