සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර මාස 6යි. අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු වැදගත් තොරතුරක් නෑ -මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන සැරි සැරීමයි. ප්‍රගීත්ගේ දරවන් ප්‍රගීත් ගෙදර එන තුරු නොඉවසිල්ලෙන් බලා සටීමයි. මේ වේදනාත්මක සිදුවීම් කිසිදු බලධරයෙකුට නොදැනෙන්නේය. නොඇසෙන්නේ ය. ඒ තරමටම ඔවුන් ‛මිනිසුන්’පිළිබදව [අව]සංවේදීය.

කෙසේ නමුත් ප්‍රගීත්ගේ අතුරදහන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ‛‛ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව හා අයිතිය සඳහා හැමවිටම සටන් කරන සංවිධාන ලෙස අපට පෙනී යන්නේ, රටේ වෙනත් සිදුවීමකදී ඒ පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් රටට හෙළිකිරීමට සමත් මේ රටේ ආරක්‍ෂක අංශ, ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වීම හෝ ඝාතනය වීම හෝ සම්බන්ධ ප්‍රශ්නවලදී කිසිදු ප්‍රගතියක් අත්කර නොගන්නා බවයි. දශක දෙකකට පෙර ඉන්ටර් ප්‍රෙස් පුවත් සේවයේ ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිට මේ දක්වා සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ හා අතුරුදහන් කිරීමේ සිදුවීම් එකක්වත් ගැන තොරතුරු හෙළිදරව් කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කොට නැති බව අවධාරණය කළ යුතුව ඇත. එම සිදුවීම් පිළිබඳව වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට තබා පරීක්‍ෂා කොට අත්අඩංගුවට ගැනීමටවත් කටයුතු කොට නැත. මෙය රටේ වෙනත් සිදුවීමකදී පොලීසියේ හෝ ආරක්‍ෂක අංශවල හෝ ක්‍රියාකාරිත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.’’ මාධ්‍ය සංවිධාන එකුතුව විසින්, මාධ්‍යවේදී ප්‍රගීත් පිළිබදව වන එම මාධ්‍ය නිවේදනය අප මෙසේ පළකරමු.

මාධ්‍ය සංවිධාන එකතුවේ මාධ්‍ය නිවේදනය

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස හයයි.

මේ රටේ ජනමාධ්‍ය, මාධ්‍යවේදීන්, පුවත්පත් පාඨකයින්, ප්‍රවෘත්ති වෙබ් අඩවි පාඨකයින් මෙන්ම මානව හිමිකම් සංවිධාන අද සිහිපත් කරන්නේ ජනමාධ්‍යවේදී, කාටූන් ශිල්පී සහ ලේඛක ප්‍රගීත් එක්නැලිගොඩගේ හදිසි අතුරුදහන් වීමෙන් මාස හයක් ගත වීමයි.

එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ගැන පරීක්‍ෂණ අලුත් කොට වේගවත් කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන එකතුව ලෙස අපි ඉල්ලා සිටිමු. යුද්ධයේදී ඇතැමි සිදිුවීම් පිළිබඳ තොරතුරු දින කිහිපයකදී රටට හෙළිදරව් කළ හා අනෙකුත් අපරාධ පිළිබඳවද එබඳුම කාර්යක්‍ෂමතාවයක් පෙන්නුම් කරන මේ රටේ ආරක්‍ෂක අංශවලට එක්නැලිගොඩ අතුරුදහන් වීම ගැන කිසිදු තොරතුරක් මාස හයක් ගතවන තුරු හෙළිදරව් කර ගත නොහැකි වීම පිළිබඳව අපි විමතියට පත් වෙමු.

ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් පසුව පොලීසියේ අධිකාරීන් මෙන්ම ආරක්‍ෂක ප්‍රකාශක ආදීන්ද කියා සිටියේ මෙම සිදුවීම පරීක්‍ෂා කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. මෙම පුදුම සහගත අතුරුදහන් වීම ගැන තමන්ට තොරතුරු ලැබී තිබෙන බවද ඇතැම් පොලිස් නිලධාරීහූ ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් දැන් මාස හයක් ගත වී ඇත්තේ මෙම මාධ්‍යවේදියා පිළිබඳව කිසිදු වැදගත් තොරතුරක් නොමැතිවය. එදා කී විශේෂ පොලිස් කණ්ඩායම්වලට සිදුවූයේ කුමක්ද යන්න ගැන අපට ප්‍රශ්නයකි.

මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව හා අයිතිය සඳහා හැමවිටම සටන් කරන සංවිධාන ලෙස අපට පෙනී යන්නේ, රටේ වෙනත් සිදුවීමකදී ඒ පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් රටට හෙළිකිරීමට සමත් මේ රටේ ආරක්‍ෂක අංශ, ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වීම හෝ ඝාතනය වීම හෝ සම්බන්ධ ප්‍රශ්නවලදී කිසිදු ප්‍රගතියක් අත්කර නොගන්නා බවයි. දශක දෙකකට පෙර ඉන්ටර් ප්‍රෙස් පුවත් සේවයේ ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිට මේ දක්වා සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ හා අතුරුදහන් කිරීමේ සිදුවීම් එකක්වත් ගැන තොරතුරු හෙළිදරව් කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කොට නැති බව අවධාරණය කළ යුතුව ඇත. එම සිදුවීම් පිළිබඳව වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට තබා පරීක්‍ෂා කොට අත්අඩංගුවට ගැනීමටවත් කටයුතු කොට නැත. මෙය රටේ වෙනත් සිදුවීමකදී පොලීසියේ හෝ ආරක්‍ෂක අංශවල හෝ ක්‍රියාකාරිත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.

මෙබඳ තත්ත්වයක් පවතිද්දී මානව හිමිකම් ආරක්‍ෂාව සඳහා පෙනී සිටින අන්තර්ජාතික ප්‍රජාව අතුළු ශ්‍රී ලංකාවෙන් පිටස්තර ලෝකය මෙරටෙහි මානව හිමිකම් සහ මහජන ආරක්‍ෂාව සැලසීමේ හැකියාව පිළිබඳ සැක කිරීම ගැන පුදුම විය යුතු නැත.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ පරීක්‍ෂණවල වත්මන් තත්ත්වය රටට හා ජනතාවට හෙළිදරව් කරන ලෙස ආණ්ඩුවෙන් හා පොලීසියෙන් අපි ඉල්ලා සිටිමු. මේ පිළිබඳ පරීක්‍ෂණ සාර්ථකව කිරීමට ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ සතු විශේෂඥ දැනුම සහ තාක්‍ෂණික හැකියාව ප්‍රමාණවත් නොවේනම් පිටරටින් විශේෂඥ සහාය ලබා ගෙන හෝ අසල් වැසි රටවල අධාර ලබා ගෙන හෝ මෙම අතුරුදහන් වීම පිළිබඳ පරීක්‍ෂණ අවසන් කොට එම තොරතුරු හෙළිදරව් කරන මෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි නැවතත් ඉල්ලා සිටිමු.

මාධ්‍ය සංවිධාන එකතුව
2010 ජූලි 23

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ Sri Lanka Working Journalists Association (SLWJA)
Federation of Media Employees Trade Union (FMETU)
Sri Lanka Muslim Media Forum (SLMMF)
Sri Lanka Tamil Journalists Alliance (SLTJA)
Free Media Movement (FMM)
South Asian Free Media Association (SAFMA) යන මාධ්‍ය සංවිධාන විසින් ය.