සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ කඩිනමින් කරන ලෙසත්, ඒ මහතාගේත්, ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන්ගේත් ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ පොලීසිය ඇතුළු අනෙකුත් අදාළ ආයතන වෙතින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සාමාජිකයෙකු ද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ වෘත්තීය සමිතියේ ලේකම්වරයා ද වන ගාමිණී පුෂ්පකුමාර මහතා, ජනවාරි මසදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව සේවයෙන් ඉවත් කරනු ලැබුවේය.

සේවයෙන් පහ කිරීමෙන් පසුව, පුෂ්පකුමාර මහතා මැතිවරණ කටයුතු ආවරණයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පිළිගත් සාධාරණ මූලධර්මයන් අනුගමනය කළ යුතු බවට දියත් කළ උද්ඝෝෂණ මාලවේ ක්‍රියාකාරී සංවිධායකයෙක් ලෙස කටයුතු කළේය.

ආරක්ෂක හේතූන් මත පුෂ්පකුමාර මහතා හොරණ පිහිටා ඇති සිය නිවසින් බැහැරව කොළඹට ආසන්න ස්ථානයක ජීවත් වෙයි. ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයන් ජීවත් වන්නේ හොරණ නිවසේයි. පසුගිය ජූලි 12 වෙනිදා එම නිවසට ගිය නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පුෂ්පකුමාර මහතාගේ බිරිඳට (වරුණි බාලසූරිය) ඉතා තර්ජනාත්මක ආකාරයෙන් කතා කොට ඇත. පුෂ්පකුමාර ‛සිංහල කොටියෙකු’ බවත්, යුද්ධයෙන් පරාජය කර දැමූ දෙමළ බෙදුම්වාදී සංවිධානයට සහය පළ කරන දේශද්‍රෝහියෙකු බවත් කියමින් මොවුන් දෙදෙනා වරුණි බාලසූරිය මහත්මියට තර්ජනය කර ඇත. මේ සිදුවීම ගැන පොලීසියට පැමිණිලි නොකරන ලෙසත් එසේ කළහොත් දරුණු දේවල් සිදුවිය හැකි බවත් පවසා මොවුන් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශාල වශයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී පවතින මේ මොහොතේදී, ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහා උත්සුක විය යුතු යැයි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

‛‛අවාසනාවට ශ්‍රී ලංකාවේ බලධාරීන් ක්‍රියා කරන ආකාරයෙන් පෙනෙන්නේ නිර්භයව සත්‍යය වාර්තා කරන්නට උත්සාහ කරන මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් සහ තර්ජන එල්ල කිරීම් සම්බන්ධන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ඔවුන් තවමත් මැලි වෙන බවයි’’ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒයිඩන් වයිට් පවසයි.

[2010 ජූලි 21 වනදා ජාත්‍යන්තර ජනමාධ්‍යවේදින්ගේ සංගමය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනයයි]

For further information contact IFJ Asia-Pacific on +612 9333 0919
The IFJ represents more than 600,000 journalists in 125 countries
Find us on Twitter: @ifjasiapacific