iMAGE: Vikalpa

“ නංගි පොලිසිට ලියුමක් ලියන ගමන්…, බලන්නකෝ  ඇය පටන් ගත්තාය. ඒ මට හොඳට හුරු පුරුදු කට හඬය.දැන් ඈ දිගට කියාගෙන යයි.ඇයට ඒ ශක්තිය ලැබුණේ කොහොමදැයි මම ආයෙත් සිතමි. ඇගේ ජිවිත අරගලය නම් නිමක් නැතිය. ඇය ජිවිතේ දෙකෙන් පංගුවක් සුදු ඔසරියටත්, උසාවි බංකුවලටත්, දහඩිය පෙරාගෙන, දුවිලි කමින් ගිනි අව්වේ පාරවල් දිගේ බෝඩ් උස්සාගෙන ගිරිය රත්වෙන තුරු කෑ ගැසීමටත්, දැන් ගෙවා අවසන්ය. ඒත් ඒ හැම කතාවකම අවසානයේ මා  හිත බලාපොරොත්තු දල්වන කතාවක්  ඇය කියයි.

“මේ පින්තූරය ඇඳල තියෙන්නේ  ප්‍රගීත්. මට ලැබුනේ  මීට අවුරුදු 9කට පෙර සුනන්ද අයියගෙන්. ඔවුන්ද කාගේ හෝ උවමනාවකට අපගෙන් වෙන්ව ගොස් ඇත. ඔබලා ඔවුන් හඳුනනවාද?”

පසුගිය ඔක්තෝම්බර් 20 වන දා ඇගේ ෆේස් බුක් ගිණුමේ සවස් වරුවේ ඉහත සටහන සහ පින්තූරයක් පළ කොට තිබුණි. එය ප්‍රගීත් එක්නැලිගොඩ විසින් අදින ලද්දකි. එදා උදෑසන ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව නම් සංවිධානය විසින් නිර්මාණය කළ ස්ත්‍රී ප්‍රඥප්තියක් කොළඹ දී එළි දැක්විය. එදින එම උළෙලට පැමිණි සිටි, ඝාතනය කරන ලද මාධ්‍යවේදියෙකු වූ ප්‍රේම කිර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ඔහුගේ ඝාතනය සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් එහිදී  කළාය. එකී ඝාතනයට මෙතෙක් කලක් වගකිවයුතු යැයි නම් ලද පාර්ශවය ඈ විසින් එහිදී නිදොස් කොට නිදහස් කරන ලදී. ඈ කතාවේ කියන ලෙසම මේ ඝාතනය ගැන ප්‍රකාශ කිරීමට සේම මේ රටේ වූ සිදු වූ අනෙකුත් කිසිම අතුරුදහන් වීමක් සම්බන්ධව හෝ අපරාධ මුක්තිය සම්බන්ධව කතාකිරීමට ඈ මීට පෙනී සිටි අවස්ථාවක් ද මා දැක නැත.

ඒ වැඩසටහනේ අතුරුදහන් වුවන් ගැන රංගනයක් ද සමඟ ගීතයක්ද පසුබිමින් අතුරුදහන් වුවන්ගේ සැමරුම්  වල රූප පෙළක් ද දර්ශනය විය. සන්ධ්‍යා  නම් ඒ කිසිම රූපයක සිටිනු මා දැක්කේ නැත. ඊට පසුව ගෙවී ගිය දින ගණනාව තුළත් ස්ත්‍රීන් වෙනුවෙන් විවිධ උත්සව, ප්‍රකාශන ආදිය ජනාධිපති අපේක්ෂකයන්ගේ වේදිකාවන් හි දී ප්‍රකාශයට පත් විය. ජනාධිපතිවරණය ළඟ එන තැනක කාන්තාවන්ගේ අගය එන්න එන්නම වැඩි වෙන බව දැන් නොරහසකි. මේ රටේ කන්තාවන් 52% ක් ඉන්නා බවත්, ඔවුන්ට අයිතීන් ඇති බවත් වම, දකුණ, ලිබරල් හෝ ඔය කොයි කාටත් හදිසියේ  දැන් මතක් තිබේ.

අනෙක් අතට බලහත්කාරයෙන් අතුරුදහන් වීම් ගැන ලොකු සංවේදී වීම් ද ඒ අතර වේ. ඔක්තෝම්බර් 30 වන දින රත්දොලුගම අතුරුදහන් වුවන්ගේ ස්මාරකය අභියසදී, 29 වන ජාතික අතුරුදහන් වුවන්ගේ දිනය සැමරීම ද ඒ අස්සේම යෙදී තිබුණි.

මේ රටේ  ඉතිහාසය පුරා පැවති ප්‍රේමදාස සහ රාජපක්ෂ  වැනි ආණ්ඩු  පිහිටෙන්ද,දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පිහිටෙන්ද, දෙමළ ජාතික විමුක්ති කොටි ව්‍යාපාරයේ පිහිටෙන්ද මේ රට තුළ අදටත් ආගිය අතක් නැති වූ පිරිස අපිරිමිතය.ඒවායේ වැඩි බර කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදය වෙත පැවරෙන බව සැබෑය. එහෙත් ඒවා කවුරුන් කළත් ඔවුන් විසින් කළ එකඳු එක අතුරුදහන් කිරීමක් හෝ කිසිසේත් බැහැර කිරීමට  මම  පෞද්ගලිකව එකඟ නොවෙමි. එහිදී අතුරුදහන් වීම් සම්බන්ධව රාජපක්ෂ පාලනය අගතිගාමී වන්නටත්, ප්‍රේමදාසට පාලනය හොඳ වන්නත්, එල්.ටි.ටි.ය. නරක වන්නටත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හොඳ වන්නටත් විදියක් නැත.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ගැන තමන් විසින් තම තමන්ගේ ගිණුම් වලට අය කරගෙන ඇති බැර සම්බන්ධයෙන් මේ කිසිදු පාර්ශවයක් අද දක්වාම සාධනීය ප්‍රතිචාර දක්වා නැත.ඒවායේ නඩු කටයුතු වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් කිරීමට මේ කිසිවෙකු ඉදිරිපත් වී නැත. අපරාධ කරුවන්ට එරෙහි  දණ්ඩ මුක්තිය නිමා කිරීමට තඹ දොයිතුවක මැදිහත් වීමක් ඔවුහු විසින් කොට නැත.තමන් විසින් සිදුකළ, සිදුවුණු අපරාධ යළි නොවන බවට වන සහතිකය මට මේ රටේ පුරවැසියෙකු ලෙස ඔවුන් ලබා දී නැත. අතුරුදහන් ව ගිය ජිවිත වෙනුවෙන් සැබෑ හෘදය සංවේදී සමාවක් මේ කිසිවෙකු මේ පවුල් වල සාමාජිකයින්ගෙන් අවංකව ගෙන ඇද්ද? නැත.

මිනිසෙකු මම ආදරය කරන පිරිමියා හෙට දවසේ  අතුරුදහන් කර දැමීම තරම් මට කළ හැකි වෙනත් නපුරක් නැත. මිනිසෙකු මගේ ලෙයින් උපන් දරුවා මට ආගිය අතක් නැති කිරීම තරම් මවක ලෙස මට දිය හැකි දරු දුකක් නැත. මට ලෙය දුන් පියා උදුරාගෙන යන්නට තරම්  මිනිසෙකුට දුවක ලෙස මට දිය හැකි වෙනත් දුකක් නැත. එහෙත් මගේ රටේ දහස් ගණන් බිරින්දෑවරුන්ට, ආදර කතා වලට, ජිවිත කතා වලට, දු වරුන්ට ඒ දුක උරුමව තිබේ.

ඒ නිසා මගේ එකා නොමැරූ පළියට කෙනෙකු මට හොඳ හෝ විනීත විය හැකිද? නැත; එසේ  වන්නේ නැත. මේ අතුරුදන් ව ගිය මිනිසුන්ගෙන් සාතිශය බහුතරය අතුරුදන් වුයේ අවි ගැනීම නිසා නොවන බව අප මතක තබා ගත යුතුය. ඒ සියල්ලන්ගේ සමාජ කාර්ය භාරය නිමා කිරීමත්, සමස්ත සමාජය බය ගැන්වීමත් එහි මුඛ්‍ය අදහස විය. ඒ නිසාම වගකිව යුත්තෝ මෙතෙක් කළක් වැළලී යන අතීතය, වැළලී යන්නටම හැරියා මිස ඒ ගැන හා හුවාක් තැබුවේ නැත. එය මා නම් දකින්නේ නිර්මලා මහත්මිය දකින ලෙස විනීත කමක් ලෙස නොව කපටි කුසිත ඇල්මැරුණු කමක් ලෙසය. මා අදටත් ආදරය කරන නොදුටු  පිරිමින් අතර ප්‍රේමකිර්ති උඩින්ම හිදියි.ඔහුගේ හදවතේ තෙතමනය;අඩි 5 යි අගල් ගාණක් වූ, බර 58 ක් වූ ඔහුගේ ශරීර කූඩුවට වෙඩි තැබීමෙන් මරා දැමීය හැකි යයි කෙනෙකු කල්පනා කළේ කෙසේදැයි මම නොදනිමි.

මා සන්ධ්‍යා ගැන ලියන්නට හිතුවේ ඒ නිසාය. ජනමාධ්‍යවේදී  ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය තරම් දිනපතා ඇනුම් බැනුම් වලට ලක්වන මෑත කාලයේ වෙනත් ගැහැනියක සිටි දැයි වරෙක මට සිතී තිබේ. තම සැමියා බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලදුව එහි උපරිම වින්දතභාවයට පත් වූ ඇය වසර 9 ක් පුරා 2010 ජනවාරි මස 25 වන දින ඔහුගේ නොපැමිණීම පිළිබඳව  පොලිසියට දැනුම් දුන් දින සිට ඔහු වෙනුවෙන් වන යුක්තිය ඉටු කර ගැනීමේ සෑම ක්‍රියා පිළිවෙතක්ම කොට තිබේ. යන්නට තිබෙන සෑම අධිකරණයටම ගොස් තිබේ. සුදු රැවුල් ගස් කීපයක් සමඟ උඩු රැවුලක්  ඇතිව නිකටේ අතක් තබාගෙන සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ පින්තූරය බොහෝ දෙනෙකු දැක ඇතුවාට සැක නැත. ඒ වූ ප්‍රගීත් ලෝකය පුරා ජීව මානව සිටින්නේ ඇගේ මේ නොසැලෙන ශක්තිය නිසාමය.

ගැහැනියක පලා යනු ඇතැයි සිතන සම්මත සමාජ සිතීම් පවා අතික්‍රමණය කොට දරුවන් දෙදෙනෙකු සමඟම ඇය ඉදිරියට ආවේ ඇගේ ජීවන අරගලය බරින් පිරි තිබියදිමය . ඈ මා තරම් ම සාමාන්‍ය ගැහැනියකි. එහෙත් ඈ මෙරටේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවුවන්ගේ ප්‍රශ්නයට ඇස් නෑරුණු මෙරටේ බොහෝ දෙනාගේත්, ලෝකයේ බොහෝ දෙනාගේත් ඇස් ඒ වෙත ලබා දීමට ජීව ගුණය එක් කළ යකඩ ගැහැනියක බව අපට කෙසේවත් අමතක කළ නොහැකිය.

උතුරේ දින 900 කට වැඩි කාලයක් පුරා උපවාසයේ යෙදෙන මව්වරුන් තරම්ම ඇය තනිවම මේ වෙනුවෙන් පෙනී  සිට තිබේ. එය දකුණට උතුරට  ප්‍රගීත් ට පමණක් සිමා වුවක් නොවේ. ඒ සියල්ල කොට ඇත්තේ අවලාද අපහාස මධ්‍යයේය. ඇය යනු; ගොළු වත රකින්නටම ගැහැනියට හුරු කොට ඇති සමාජය කුඩු කොට දැමු ගැහැනියක බව මේ දිනවල වේදිකා මස්තකව ඉන්නා බොහෝ ස්ත්‍රීවාදිනියන්ට ද, ප්‍රගතිශිලින්ටද අමතකව ගොස් තිබේ.

අවුරුදු 30 ක් පුරා ලංකාවේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වන සාකච්ජාව රාජ්‍ය නොවන සංවිධාන වල ඉවෙන්ට් බවට පමණක් පත් ව තිබු කලෙක, යුක්තිය උදෙසා වන බලකිරීමකට ජීව ගුණය දුන්නේ සන්ධ්‍යා ය. එය අභියෝගයට ලක් කළ නොහැකි සත්‍යකි. ඇගේ හඬ ප්‍රබල නිසාම ඈගේ මානයෙන් ආණ්ඩු බලය ලබා ගැනීමට පවා පෙළඹුණු ඇතැමෙක් බලයෙන් පසු ඒවා අමතක කර දැමුවද, ඇය තනිව මේ රටේ ආරාජික යුක්තිය වෙනුවෙන් සටන් වැදුණු බව නොකිව මනාය. අසාධාරණය කොතනත් එක ලෙස නොඉවසු නිසා ඇයට අධිකරණ භූමියේම කුඩු කේඩු කතා කියුවෝ චීවර ධාරීන්මය. ‘ඒ මගේ ප්‍රගීත් හැර අනික් මිනිසුන්ද මේ මහපොළොවේ අතුරුදන් නොවිය යුතුය’ සේම ‘දණ්ඩ මුක්තිය ලැබීම’ කිසි විටෙක මනුෂ්‍යත්වයට එරෙහි ඉහළම අපරාධයකට නොවිය යුතුය යන තීර අභිලාශය ඈ තුළ නිරන්තරයෙන් තිබුණු නිසාය.

ඒ නිසාම මට  ඈ මා මහපාරේ දුටු හුස්ම ගන්නා ගැහැනියකි. තියරි නැතුව මහපොළොවේ ඇය මට ස්ත්‍රිත්වය කියා දුන්  ස්ත්‍රිවාදිනියකි. නියම ගැහැනියක, ප්‍රගතිශීලි ගැහැනියක යන්නට නිර්ණායක මොනවාදැයි මම නොදනී. එහෙත් මේ ප්‍රගතිශීලි සන්දර්භයන්ට සන්ධ්‍යා නැමැති ගැහැනිය අතහැරී යාම හෝ මඟ හැරී යාම පුදුම සහගතය.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara