iMage: srilankamirror

“අපට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නෑ. පසුගිය රජය කාලෙ ඔය හැමදේකටම ඉඩදීලා තිබුණා ඉතිං අපේ රජය ආපු ගමන් අපි ඒවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ගියොත් එතන මං හිතන්නෙ ඒක එච්චර හොඳ නෑ. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම නීතිය කඩකිරීමක් එතන සිද්ධවෙලා නෑ. කිසිම කලබලයක් වෙලා නෑ. ඉතිං ඒ අය මහාවීර දිනය කියලා ඒ අය පවසන දිනයක් සැමරීමක් පමණක් සිද්ධ වෙලා තියෙන්නෙ” ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න එසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ(30) මහනුවරදී ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමිනි.

ඒ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ම 2017 වසරේ දී උතුරේ පැවති ‘මහාවීර දින’ සැමරුම් පිළිබද මෙසේ කියා සිටියේ ය. ‘අපි මීට වසර කිහිපයකට පෙර ඔය එල්ටීටීඊ මහා වීර දිනය ආවාට අපි කිසිදා කිසි තැනක එක පහණක් පත්තු කරන්න දුන්නේ නෑ. එක ඉටි පන්දමක් දල්වන්න දුන්නේ නෑ.’https://www.youtube.com/watch?v=8qzZyU8l4yA )

2018 වසරේ දී ඒ ගුණරත්න මහතාම මේසේ කියයි

ගුණරත්න මහතා කියන්නේ ඇත්තය.

(මුලතිව් පොලිසීය අධිකරණ නියෝගය ලබා ගත් එක් අනුරුවක් Image;VIKALPA.ORG)

2015 දී ‘යහපාලන’ ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර ‘මහා වීර දිනයට’ පමණක් නොවේ, මැයි 18වනදා උතුරේ සහ නැගෙණහිර, මරා දැමූ සිය ආදරණියන් සිහි කරන දිනය දාටවත් පහනක් පත්තු කිරීමටවත් මහින්ද රාජපක්ෂ පාලනය ඉඩ ලබා දුන්නේ නැත. යුද්ධයේ දී මරා දැමුණු මහල්ලන්, කුඩා දරුවන් ද අතුලු මරා දැමූවන් සිහිකර සමූහ වශයෙන් ‘සිහි කිරීම්’ සිදු කරන්නේ මැයි 18 වන දාය. ඒවා කිසිවක් සිදු කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක ඉඩ ලබා දුන්නේ නැත. ඒ 2015ට පෙරය. කමල් ගුණරත්න කියන්නේ සත්‍යය.

නමුත් 2015 දී බලයට පැමිණි ආණ්ඩුව මළවුන් සිහි කිරීම සදහා සිය විරෝධය දක්වා සිටියේ නැත. එම නිදහස භාවිතා කරමින් 2015 සිට 2018 දක්වා යුද වින්දිතයන් සිය සැමරීම් සිදුකලේ ඉතාමත්ම සාමකාමීවය. ඒ සාමකාමී සැමරුම් සදහා මුලතිව් ප්‍රදේශයේ හමුදාව විසින් සිසිල් පැන් දන්සල් පවා ලබා දුන්නේය. කිසි විටක ඒවාට බාධා කිරීම් සිදු වුයේ නැත. 2017 දී පමණක් මරා දැමූවන් සංඛේතවත් කරමින් මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ සොහොනක් සහ කුඩා දරුවෙක් අතින් ගත්, පියතුමෙක් ගේ අනුරුවක් ඉදි කිරීමේ දී මුලතිව් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ‘එල්ටීටීඊ සාමාජිකයන් සමරන’ බවය. නමුත් කරුණු සලකා බැලූ අධිකරණය එම ස්ථානයේ හැර අනෙක් ප්‍රදේශවල දී සැමරුම් සිදු කිරීමට බාධාවක් නොවන බව ප්‍රකාශ කලේය. එයත් සිදුවූයේ ‘යහපාලන’ ආණ්ඩුව සමයේය. එවැනි සිදුවීමක් හැර මිනිසුන් සාමකාමීව සිය සැමරීම් සිදු කලෝය.(එම ස්ථානයේදී මේවර සැමරුම් පැවැත් විය. ඒ සංඛේතවතක් සොහොන, අනුරුව අසලට රැස්වූ ‘යුද වින්දිතයන්’ සිය සැමරීම් සිදු කලෝය)

දන්සල් දෙන හමුදාව – 2018 මැයි 18 – Image;VIKALPA.ORG


‘නීතියක් කඩ කරලා නෑ’ 2019 කමල් ගුණරත්න.

කමල් ගුණරත්න මහතා, 2017දී කෙසේ කීවත් 2019 නොවැම්බරයේදී කියන මෙම ප්‍රකාශය හොද ප්‍රවණාතාවයකි. ‘පැසසුමට’ ලක්විය යුත්තකි! මැරුණේ කවුරුන් වුවත් මැරුණු පසු, ‘මළවුන් සිහි කිරීම’ මිනිසාගේ මූළික අයිතියකි. ඒ අයිතිය පැහැර ගන්නා ඕනැම අයෙක් හෝ පාලනයක් වේ නම් එම පුද්ගලයා හෝ පාලනය ශිෂ්ට ලෝකයට අයිති වන්නේ නැත.

කෙසේ නමුත්, අවුරුද්දක්, දෙකක් තුළ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙනස් වූවා ද, වෙනස් කළා ද,? එසේ නම් හේතුව කුමක්ද? එසේ ප්‍රශ්ණ කිරීමට සිදුවන්නේ පසුගිය වසර 4හිම නොවැම්බර් සහ මැයි මළවුන් සිහි කිරීම් සිදු වූයේ ද මේ ආකාරයටම නිසාය. කිසිදු තැනක නීතිය කඩ වූයේ නැත. කලකෝලාහලයක් ඇති වූයේ ද නැත. රාජ්‍ය දේපල අවභාවිතා හෝ විනාශ කලේ ද නැත. සාමකාමීව රැස්වූ ‘යුද වින්දිතයන්’ සිය ආදරණියන් සමරා ආපසු ගියෝය. පෙර කීවාක් මෙන් එසේ පැමිණි මිනිසුන්ට හමුදාව විසින් සිසිල් පැන් දන්සල් ද සංවිධානය කලෝය. ඒ තරමට එය සාමකාමීය. එය මේ වසරේ පමණක් නොවන බව අප සිහි තබා ගත යුතුය. කෙසේ නමුත් විශ්‍රාමික මේජර් ජනරාල්, වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සිය ස්ථාවරය වෙනස් කර ගෙන ඇත්නම් එයට හේතු අප දන්නේ නැත. ඔහුගේ චින්තන ධාරාවට අනුව(පසුගිය කාලයේ කර ඇති ප්‍රකාශ අනුව) වෙනස් කර ගැනීමට අවශ්‍ය කිසිදු සාධකයක් මහපොළවේ ඇති වී නැත. නමුත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන විෂයෙහි වෙනස්කමක් ඇති වී ඇත්දැයි අපි නොදනිමු. අපි බලා සිටිමු.

කමල් ගුණරත්න කියූ ‘පසුගිය රජය කාලෙ ඔය හැමදේකටම ඉඩදීලා තිබුණා ඉතිං අපේ රජය ආපු ගමන් අපි ඒවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ගියොත් එතන මං හිතන්නෙ ඒක එච්චර හොඳ නෑ. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා.’ ‘වැඩපිළිවෙල’ දෙස ඉතාමත් උනන්දුවෙන් බලා සිටිමු.

වසන්ත බණ්ඩාර | Wasantha Bandara