මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි  ‘චොකා මල්ලි’ නොහොත් ප්‍රේමලාල් ජයසේකර අද(08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස,  මහින්ද යාපා අබේවර්ධන ගරු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. කළු සාටක පැලද පාර්ලාමේන්තු සභාවට පැමිණි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් සිය විරෝධය පළකරමින් සභා ගර්භයෙන් ඉවත්ව ගියේය.

තමන්ට ලබා දුන් මරණ දඬුවමට එරෙහිව ‘චොකා මල්ලි’  විසින් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කර තිබේ.

දැක්කද ඒ දිවුරුම?

උදේම ඇහැරුනේ මිතුරෙකුගේ කෝල් එකකිනි. ඔහු යුරෝපා රටක ස්ථීර පදිංචි වී නීති ක්ෂේත්‍රයට අදාලව රැකියාවක් කරමින් සිටින අයෙක්.

දැක්කද වැඩේ. චොකා මල්ලි දිවුරුම් දෙනවා. ඔව්! මම උත්තරේ කෙටියෙන්! 

මචං, මම ඉන්න රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නෑ. එකක් අධිකරණය කුමක් කීවත්, නීතියේ කුමක් තිබුණත් මෙහෙ ගොඩක් මිනිසුන්ට හෘද සාක්ෂියක් කියලා එකක් තියනවා. දැන් මේ වගේ එකකදී ඔවුන් හැසිරෙන්නේ මිනිස්සු විදිහට. ශිෂ්ටත්වයත් එක්ක , දැන් බලපං, දැනට ඔහු කොහොමද වැරදිකරුවෙක්. ඒ අපරාධය ට, මරණ දඩුවම හම්බවෙලා, බන්ධනාගාරයේ ඇතුලේ ඉන්න කෙනෙක්. ඒ නිසාම ඔහු ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියට ගරු කරනවා නම් නීති හදන තැනට, ‘මම එන්නෙ නෑ කියලා’ කියන්න තිබුණා. අඩුම තරමින් ඔහු මේ වන විට දාලා තියන අභියාචනය විභාගවෙලා, භාගෙවෙලාවට එයින් නිවැරදිකරුවෙක් වෙනකංවත් මම එන්නැ කියන්න තිබුණා. ඒක තමයි හෘද සාක්ෂිය කියන්නේ. ශිලාචාරකම කියන්නේ,  ඉතින් මේ චොකා මල්ලිට වගේම, ඕකේ ඉන්නේ ගොඩක් උන්ට දේශපාලන හෘද සාක්ෂියක් නෑ. හෘදසාක්ෂියක් තියනවා නම් රටෙ උත්තරීතරම තැනට අපරාධයකට වරදකරුවී දඩුවම් ලබන කිසිවෙක් එන්නේ නෑ. එන්නේ නැ වගේම, ගෙන්න ගන්නෙත් නෑ. ඒ නිසා ඕකේ බහුතරයකගේ සාමූහික හෘදසාක්ෂියත් මැරිලා. වෙලාවකට හිතනෙවා මැරිලා නෙමෙයි මරළා කියලා.  එහෙවු තැනකින් උඹලට කවදාවත් යුක්තියක්, සාධාණත්වයක් ලබා ගන්න බෑ,

මාර උත්තරීතර තැනක් මචං! මරණ දඩුමක් නියම වෙලා හිරගේ ඉන්න අපරාධකාරයෙක්ට කියලා, ඒ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුමක් ගන්නවා. ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. මම හිතන්නේ මට මතක හැටියට මේ තමයි පාර්ලිමේන්තුවේ දෙවන මළගේ. එකක් 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා, ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්තවයක් නිර්මාණය කරපු දවස තමයි පළමු මළගේ. දෙවැන්නේ අද !

මම හිතන්නේ ආයෙත් තුන් වැන්නකුත් එනවා. ඒ තමයි දැනට උඹලට කියවන්න කියලා ප්‍රසිද්ධ කරලා තියන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. සුභ දවසක්! මම හිතන්නේ උඹල සුභ වෙන්න නං සෑහෙන්න කැපකිරීම් කරන්න වෙයි. මැරුණු හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගේ භූමියක් යළි අවදිකරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒත් ඒ ලේසි නොවන, පට්ට අමාරු වැඩේ කරන්නම වෙනවා.

ඔව්! උඹ හරි. 3වන මළගේ ළගම එනබවට අද දවස කියන්නේ හොදම සාක්ෂියක්. පෙරහැර තව දිගයි. මේ එන්නේ පංදම්කරුවො. කස කාරයෝ. අනිත් ඒවා තව පස්සට. නිවිතිගල පැත්තේ මිනිස්සු මේ වෙලාවේ පාරවල් වල කිරිබත් උයාගන කනවා වගේ, එදාටත් කිරිබත් කයි. පොහොසත්, උත්කර්ෂවත් සංඛේතයක් උණ කිරිබතුත් දැන්, අශිලාචාර තැනකට පත්කරපු මිනිසුන් ඉන්න රටක් මේක. තව ඉස්සරහට කිරිබත් වෙනුට මූනිස්සම් ලැබුනත් ඒකේ වේදනාව සැපක් සෙ ඇතැම් විට ඇතැම් මිනිසුන් හිතන්න පුලුවන්! නමුත් ඒකට ආයුෂ නෑ! කවදා හෝ දිනක ශිෂ්ටත්වය පණගසා නැගිටීවී! 

‘චොකා මල්ලි’ පාර්ලිමේන්තු පැමිණිම කියන්නේ පෙරහැරේ මුල් කොටස් පමණයි.

 

 

කැලුම් බණ්ඩාර | Kelum Bandara