සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Poems

‛‛මගේ සිහිනෙට වෙඩි තියන්නට කාටවත් නම් නොහැකී..’’


මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න ඔබත් එන්න’ යනුවෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ප්‍රගීත්ගේ බිරිද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් කියෙව්වේය.

මේ ඒ කවි පෙළයි..

කඳුළු බිඳුවක නොරැඳී
කොතැන ඉන්නෙද සැඟවී..
හැංගි මුත්තම ඉවර කළ මැන
දින දෙසීයම දිනෙකී
රජ කිරුළු යට සැඟවී
සිටියේ නම් සැනසුමෙකී
එහෙත් පන්හිඳ නිවට නැති බව
කියා දුන් හිමි සඳුනී ..

වඳන් සොයන්නට බැරිවී
පුතුන් දෙතොලඟ ගොළුවී ..
තාත්තේ යැයි කියා ගන්නට
වරක් හිනැහෙනු මැනවී..

හදේ ගින්දර ඇවිලී
ඇඳේ ඉන්නෙමි ඇලවී..
එහෙත් නින්දට මඟ කියන්නට
ඔබේ සුසුමන් නොමැතී ..

ඔබේ ඇස් යට ගුලිවී
සිහිනයක් මම දකිමී ..
මගේ සිහිනෙට වෙඩි තියන්නට
කාටවත් නම් නොහැකී…