ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර් 22වනදා, 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගෙන දින 21කි. සම්මත කර ගත් එම 20වන ව්‍යවස්ථා සංශෝධනය, ජනාධිපතිවරයාට ‘අධි බලයක්’ සහිත ව්‍යවස්ථාවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. දැන් ජනාධිපති, අගමැති සහ අයියලා මල්ලිලා සමග 20වන ව්‍යවස්ථාවත් සමග රාජපක්ෂ පාලනය ට ‘ඕනෑම දෙයක්’ කළ හැකි ගානය. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා කීයූ දෙයත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කොරෝනා දෙවන රැල්ල පැමිණිමත් සමග ජනාධිපතිවරයා කියූ දෙය නැවතත් කියවා ගැනීම ඉතාමත් වටින්නේය.

පෙර ගෝඨාබය

මාර්තු 17වනදා/em> ගෝඨාබය ජනාධිපතිවරයා මෙසේ කීවේය.

”ජනතාව කලබල කරන්නේ නැතුව, පැනික් කරන්නේ නැතුව, මේ කාර්යය මොලෙන් කල්පනා කරලා කරන්න ඕන. මේක ලේසි වැඩක්. එච්චර අමාරු වැඩක් නෙවෙයි. මම ජනාධිපතිවරයා වශයෙන් පත් උනයින් පස්සේ එවකට තිබුණු රජය අයවැයක් ගෙනල්ලා තිබුණේ නැ. දැන් අපි අපේ රජයක් හැදුවා ඒක සුලුතර රජයක්. අපිට අලුත් අයවැයක් ඒකෙන් ගෙනල්ලා සම්මත කර ගන්න පුලුවන් කමක් තිබුණේ නැ. මට ජනතාව බාරදුන්න වගකීම ඉදිරියට ගෙන යන්නට නම් අපිට රජයක් පවත්වගෙන යන්නට ඕන. එහෙම නැත්නම් අපිට වැඩ කරන්නට පුලුවන් කමක් නෑ. දැන් මේ කොරෝනාව ආවාම මේවට වියදම් කරන්නේ කොහෙන්ද? ඒවටවත් අපිට මුදල් ගන්න ක්‍රමයක් නෑ. දැන් මම නැවතත් මැතිවරණ ක්‍රමවේදය කල් දැම්මොත් මට ආපහු මේක පාර්ලිමේන්තුවට ගෙන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ඒක සම්මත වෙන්නේ නැ. එතකොට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්නට වෙනවා. පාන් පෝලිමක් එනවා. එළවලු පෝලිමක් එනවා. මේවා නම් මට එච්චර ප්‍රශ්ණ නෙවෙයි. යුද්දෙ තියන කාලේ, ඔන්න කියනවා කැබිතිගොල්ලෑවේ බෝම්බයක් ගියැයි කියලා. ඔන්න හමුදාපතිට බෝම්බයක් ගැහුවැයි කියනවා.
ඔන්න කියනවා ආරක්ෂක ලේකම්ට බෝම්බයක් ගැහුවයි කියලා. පූර්වේ කරපු පවක් නිසා, බේරුනා. නැත්නම් මේ කරදර විදින්න වෙන්නේ නැ නෙ. ඒ කාලෙටම විතරක් 5000කට ආසන්න ගානක් අපේ මිය ගියා. 10000කට වැඩි ගානක් ආබාධිත උනා. හැබැයි අපි රට ගෙනිච්චා. ලොක්ඩවුන් කරේ නෑ රට. කොරෝනා 28ක් තිබුණම අපිට රට වහන්න පුලුවන්ද? ඉතාලියෙ කරපු හැටි ගැන මට කියලා එවනවා. ඉතාලියෙ තාමත්, මැරෙනවා දහස් ගනන්!”

ඒ ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාම පසුගිය නොවැම්බර් 9දා මෙසේ කීවේය.

”දැන් ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නම් මට පුලුවන් මේක පහසුවෙන් විසදන්න. මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නෙමෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්. ඉතින් මේකේ වැඩි වගකීමක් තියෙන්නේ සෞඛ්‍යය අංශයට. මේ සෞඛ්‍ය අංශයේ ඉන්නේ අපේ රටේ ඉන්න ක්‍රීම් එකනේ. එතකොට ඒ අයට වගකීම තියෙන්නේ සමස්ථයක් විදිහට කල්පනා කරලා සමස්ත වශයෙන් උත්තරයක් දෙන්න. විශේෂයෙන්ම මාධ්‍යට එන අය කතා කරන‍්නට ඕන මොනවද කල යුත්තේ ජනතාව මේක පාලනය කරන්න කියලා. මේක ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න ක්‍රම මොනවද? ඩොක්ටස්ලානේ මේවා දන්නේ. ඒ කට්ටිය ආවාට පස්සේ මේවා තමයි ජනතාවට කියන්නට ඕන. මේකේ බැරැරුම්කම. මෙන්න මේ විදිහට තමයි, පාලනය කර ගන්න පුලුවන් වෙන්නේ, රටක් දුවන ගමන්.”

ජනාධිපතිවරයා ඉගෙන ගත්තාද?

කොරෝනා වෛරස් වසංගතය සෞඛ්‍ය ප්‍රශ්ණයක් යන්න ලොව පුරා රටවල්වලට තේරුම් ගන්නට දවස් ගනන් ගියේ නැත. එම නිසා ‘වෛරසයක් ආසාදනය වීම’ යනුම සෞඛ්‍ය ප්‍රශ්ණයක් බව බබාලාට උනත් තේරෙන සරල තත්ත්වයකි. නමුත් අපේ රටේ එය ‘ඊනියා යුද ජයග්‍රහණයත්’ සමග කලවම් කර සමාජයට මුදා හැරියේ ගෝඨාබය ජනාධිපතිවරයා ඇතුලු පිරිස් විසිනි. ‘ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ අපිට කොරෝනා මොකද්ද’ වැනි උද්දච්ච අදහස් සමාජ ගත වූයේ ඉන් පසුවය. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වසංගතය මර්දනය කිරීමේ පෙරටුගාමී ක්‍රියාකාරීත්වය හිමි වූයේ යුද හමුදාවටය. ඒ ලෝකයේ අනෙක් රටවල් සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාවය දෙමින් අනිකුත් අංශ සහයට ගන්නා විටකදීය. ලංකාවේ සිදුකල එම තත්ත්වය උත්කර්ෂම අදහස කීවේද ජනාධිපති ගෝඨාබය ය. ‘ඒ කාලෙටම විතරක් 5000කට ආසන්න ගානක් අපේ මිය ගියා. 1000කට වැඩි ගානක් ආබාධිත උනා. හැබැයි අපි රට ගෙනිච්චා. ලොක්ඩවුන් කරේ නෑ රට. කොරෝනා 28ක් තිබුණම අපිට රට වහන්න පුලුවන්ද?’ වැනි දේ ඔහු කීවේය. එම අදහස්වලින් සමාජය තේරුම් ගනු ලැබුවේ බරපතල වසංගතය සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස නොව මිලිටරි සංකීර්ණයක් ලෙසය. ඒ තරමටම එය ‘මිලිටරි ක්‍රියාන්විතයක්’ ලෙස රූපාන්තරණය විය. රාත්‍රියේ ආයුධ සන්නද්ධව පැමිණි හමුදාවෝ ගෙවල් දොරවල් වටලා රෝගීන් යැයි සැක කල අය කුදලාගන ගියෝය. ඒ අතර සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෛද්‍යවරු පවා සිටි බවට වාර්තා විය. ඉන් පසු සිදු වූයේ, වෛරසය වැලදුනු අය රෝගීන් ලෙස නොව ‘අපරාධකරුවන්’ ලෙස නාමකරණය වීමයි. එතැනින් නොනැවතුනු රටේ ඇතැම් ජනමාධ්‍ය අමු අමුවේ රෝගීන්ගේ සහ රෝගින්ගේ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය කෙළෙසුවෝය. දැන් තත්ත්වය දරුණු අතර හැරෙමින් තිබේ. එම නිසා ජනාධිපතිවරයා නින්දෙන් ඇහැරුනා සේ කියන්නේ ‘සෞඛ්‍ය අංශය මෙයට මූලිකත්වය ගත යුතු බවය.’ වෛරස් පිළිබද විශේෂඥයින්, වෛදයවරු, සමාජ ක්‍රියාකාරින්, ඒ සම්බන්ද වෘත්තිය සමිති ඒ බව කලින්ම කියා සිටි නමුත් එයට කන් දුන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව ‘මිලිටරියට’ රටක ඕනෑම දෙයක් කළ හැකි යැයි කල්පනා කරන මනසකින් හෙබි පුද්ගලයෙක් රටේ නාකත්වයට පත්වීමය. නමුත් ආණ්ඩුවට දින 100ක් ගත වුවත්, ජනාධිපතිවරයා පත් වී දින 361ක් ගත වුවත්, ලංකාවේ භූමියේ තත්ත්වයන්ගෙන්වත්, ලෝකයේ තත්ත්වයන්ගෙන්වත් ලංකාවේ පාලකයන් කිසිවක් ඉගෙන නැති සේයකි.

එය ඔහුගේ වරදක් ද?

ගෝඨාබය රාජපක්ෂ, ජනාධිපතිවරයා වීමට පෙර සිටම සාකච්ඡා කලේ සහ සාකච්ඡාවන් සදහා පදනම ලෙස ගනු ලැබූවේ යුද්ධයයි. ‘යුද ජයග්‍රහණයයි’. ‘ත්‍රස්තවාදය’ පරාජය කිරීම ගැනයි. ‘අපේ හමුදාවේ’ ශක්තිය ගැනයි. ‘ජාතික ආරක්ෂාව’ ගැනයි. ජාතික ආරක්ෂාව යන්න ද අර්ථ ගැන්වා තිබුණේ කොහෙන් හෝ කවුරුන් හෝ පැමිණ ‘ජාතිය’ විනාශ කිරීමට යත්න දැරුවහොත් එය පරාජය කිරීමක් ලෙසය. එසේත් නැතිනම්, රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව ගැනය. එසේ නොමැතිව සියලු මිනිසුන්ගේ ජීවිතවල සහ සොබාදහමේ ආරක්ෂාව පිළිබද සාරයක් එහි ගැබ්වී නොතිබිණි. ඒ නිසාම අධ්‍යාපනය පිළිබද ප්‍රශ්ණයකදී ‘මම දේශපාලන විද්‍යාව හැදෑරුවේ’ කියා කිව් සිසුවියකට ඔහු සිනාසුනේය. දේශපාලන විද්‍යාව හදාරලා කොහේද ජොබ් තියෙන්නේ වැනි අදහසක් ඔහු කීවේ සමච්චලයට මෙනි. අති-සන්වේදී ලෝක උරුම වනාන්තරයක පැවැත්මට හානි කරමින්, ඒ වනාන්තරයේ ජෛව විවිධත්වයට හානි කරමින්, මාර්ගයක් ඉදිකිරීමේ අර්බුදයකදි ඔහු කීවේ, ‘ගස් කපන්නේ නැතිව පාර කපන්න කියලා උපදෙස් දුන්නා’ වැනි අදහසකි. ඒ ඔහුට තේරෙන කලාපයයයි. එබැවින් දැන් උත්ගත වී ඇති බියකරු තත්ත්වය හමුවේ ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආඩපාලි කියා වැඩක් වන්නේ නැත. ඔහු ක්‍රීඩා කරන්නේ ඔහුට සුපුරුදු ක්‍රීඩා විලාසයෙනි. දැන් කොරෝනා නිසා පීඩාවට පත්වන මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම පිළිබදව ඔහු‍ගෙන් විමසා වැඩක් වන්නේ නැත. ගෝඨාබය ජනාධිපතිවරයා සිය ජීවිතයේ අභ්‍යාස කර ඇත්තේ යුද්ධයකට අවශ්‍ය දැනුම සහ භාවිතයයි. ඔහු රාජ්‍ය පාලනයකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම විද්‍යාත්මක මූලයන්වලට වඩා ඔහු ලැදියාවක් දක්වන්නේ ‘මිලිටරිමය’ මූලිකත්වයකට ය. ප්‍රජාතන්ත්‍රවාදී, විවෘත, විනිවිදභාවයකින් යුතු සහ සාමූහික රාජ්‍ය පාලනයකට වඩා ‘අණදීම’ මූලික කරගත් මිලිටරිමය අධිපතිවාදී ක්‍රමයකටය. ‘විධායක ජනාධිපති කියන එක තමයි චක්‍රලේඛය. වෙන මොකද්ද?’ ඔහු කීවේ ඒ නිසාය. දැන් යම් තරමකට හෝ කොරෝනා ‘සෞඛ්‍ය ප්‍රශ්ණයක්’ බව ඔහුට තේරුම් ගිය ඇති බවක් පෙනෙන්නට තිබුණත්, එම වෛරසය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අංශය මූළික කර ගැනීමට වඩා ‘මිලිටරිය’ මූළික කර ගැනීම හොද බව, තව දුරටත් ඔහුගේ තෝරාගැනීම බවට පත්ව ඇත්තේ ඒ නිසාය. ‘මෙය ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් නම් මට එය විසදන්න කිසිදු ප්‍රශ්ණයක් නෑ’ වැනි අදහස් ඔහු පවසන්නේ ඒ නිසාය. එය ඔහුගේ වැරැද්දක් ද? එසේ නැති නම් කාගේ වැරැද්දක්ද? වරද ඇත්තේ කොතනද? වරද්දා ගත්තෙ කොතනද?

බරපතල වසංගත තත්ත්වයක වුවද සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී ඇසකින් ඒ ප්‍රශ්ණ පිළිබද කල්පනා කළ යුතුය. සාකච්ඡා කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී, විවෘත සහ විනිවිදබාවයකින් යුතුව මානව හිමිකම් ආරක්ෂා කර ගනිමින් ක්‍රියාත්මක විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද විශ්වාසයන් සහ භාවිතයන් පසෙකලා, අධිපතිවාදී අදහස් මූලික කරගත් ඕනෑම රාජ්‍ය නායකයෙක් මෙවැනි බරපතල වසංගත තත්ත්වයක නොව, මහපාරේ සිදුවන සාමකාමි විරෝධතාවයකට, එම රාජ්‍ය නායකයා විසින් දක්වන ප්‍රතිචාරයන්ගෙන් වුවද ඔහුගේ හෝ ඇයගේ ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට ඇති නොහැකියාව ඉතාම ඉක්මනින් ප්‍රදර්ශණය වනු ඇත. විද්‍යාව පිළිබද නොව තමාට ඇත්තේ ‘මිත්‍යාව’ පිළිබද වන විශ්වාසයන් බව දියුණු සමාජයක් නම් ඉක්මනින් වටහා ගන්නවා ඇත. නමුත් ‘දියුණු’ බව අප අර්ථකතනය කර ගන්නේ ‘බිලිඩින් වල ප්‍රමාණයෙන්’ නම්, ‘පාරවල් කාපට් කිරීමෙන්’ පමණක් නම්, අපගේ අනාගත මාර්ගය අප සකසා ගන්නේ ගෝත්‍රිකත්වය දෙසට යන මාර්ගයකය. එය අනාගතයේ කොරෝනා වසංගතයට වඩා බියකරු විය හැකිය. එය එසේ වන්නේ ‘වෛරස් වසංගතයට’ එරෙහිව එන්නතක් මිනිසා විසින් සොයා ගනු ලෑබූවත්, ‘අධිපතිවාදි (අ)දේශපාලන වසංගතයකට’ එසේ ‘එන්නතකින්’ එම වසංගතය මර්දනය කළ නොහැකි නිසාවෙනි. 69 ලක්ෂය ඇතුලු ඡන්ද දායකයින් සහ ලංකාවේ පුරවැසියන් කල්පනා කල යුතුම දෙය වන්නේ එයයි!

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොටලු!!!!!! ඔබ දැක්කාද?

වසන්ත බණ්ඩාර | Wasantha Bandara