iMAGE: Agencia EFE

නිගමන, ෂර්ලොක් හොම්ස් සහ පෙති

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබදව නොයෙකුත් කරුණු කාරණා වලින් ජනමාධ්‍ය සහ සමාජ ජාල පිරී පවතින මොහොතකි. උදෑසන පත්තර විස්තර හරහා ෂර්ලොක් හොම්ස්ලා, ඕගස්ටේ ඩූපින්ලා පරදන සුරුවිරු රහස් පරීක්ෂකයන් සිය උපකල්පන ගොඩ නගිමින් සිටිති. නිගමන ලබා දෙති. සිරකරුවන්ගේ සැලසුම්, සිදුවීමට පෙර ඔවුන්ගේ සිතිවිලි ආදී වැදගත් කරුණු මුල සිට සරලව ජනතාවට කියා දීමට මේ අය කටයුතු කරති. “Data Data Data I Cannot Make Bricks Without Clay”  මැටි නැතුව ගඩොල් හදන්න බෑ. (දත්ත නොමැතිව නිගමන වලට එළඹෙන්න බැහැ යන අදහස) කියූ එංගලන්තයේ ෂර්ලොක් හොම්ස්ලාට අපේ දේශීය හෝම්ස්ලා සමග හැරෙන්නටවත් බැරිය. ඒ අතරේ එක්තරා අමාත්‍යවරයෙක් දින කීපයකට පෙර පෙත්තක් ගැන කතා කළේය. ඔහුට අනුව පෙති බීම නිසා මත් වී නාලාගිරි ඇතා මෙන් කලබල කිරීමට සිරකරුවන් කටයුතු කර ඇත. ( නාලාගිරි ඇතා බීවේ පෙති යැයි වරදවා නොසිතන්න. ඇතා බීවේ රා කල දහසකි) කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ථාව අනුව නම් එවැනි පෙත්තක් ගැන සාධක නොමැත. අනෙක් අතට මානසික රෝග සදහා දෙන පෙති වලින් සිදුවන්නේ ඔය සංසිද්ධියේ අනිත් පැත්තය. එනම් කලබලකාරී තත්වයන්ගෙන් මිදී සන්සුන් වීමට ඒවායේ ප්‍රතික්‍රියාවන් උපකාරී වීමය. එහෙත් අර අමාත්‍යවරයා ඇමරිකාවේ CIA ඔත්තු සේවාවෙ රහසිගතම තොරතුරු පවා සිය තොරතුරු සේවය හරහා සොයා ගන්නා නිසා ඔහුගේ මතය බැහැර කිරීමට අපහසුය. අප නොදන්නා දැනුමක් තොරතුරක් යමෙක් තුළ සැගව තිබීමට පුළුවන් වන අතර නිව්ටන්ට ඇපල් ගෙඩිය වැටුණු සැනින් ගුරුත්වාකර්ෂණය ගැන සකල විධ දැනුම පහළ වූ එකේ මේවාද වියහැකිය.  බන්ධනාගාර ඇමති සිරකරුවන් දෙපිරිසක් ගහගැනීම නිසා මරණයන් සිදු වූ බවක් කියන අතර පෙරකී වාර්ථාව නම් පෙන්වා දෙන්නෙ මරණයන් සිදුව ඇත්තේ වෙඩි තැබීම නිසා බවයි.

PCR ඉල්ලුවාට වෙඩි ?  

මේ කථාව පටන් ගන්නේ PCR පරීක්ෂණ   ඉල්ලීමකිනි. PCR පරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලා සිටීම නිසා වෙඩි තැබුවා යැයි අන්දමේ සිද්ධීන් ලෝකයේ කිසිම රටක වාර්ථා නොවේ. උතුරු කොරියාවේ කොවිඩ් 19 රෝගීන්ට වෙඩි තබා ඇතැයි කියවෙන පුවත් හැර මීට සමාන සිදුවීම් ගැන දැන ගන්නට නැත.

ලෝකයේ PCR පරීක්ෂණ  සිදු කෙරෙන්නේ කොපමණ ප්‍රමාණ වලින්දැයි  බලමු. දිනකට PCR පරීක්ෂණ මිලියනය බැගින් සිදු කරන රටවල් ඇත. ඇමරිකාව, ඉන්දියාව, රුසියාව ඉතා වේගයෙන් දිනපතා විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කිරීම් වල පෙරමුණේ පසුවෙයි. රෝගය සාර්ථක ලෙස පාලනය කළ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිවානය, වියට්නාමය සහ ස්කැන්ඩිනේවියානු රටවල් වලද තවමත් සැලකිව යුතු ප්‍රමාණයෙන්  PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ එය රෝග පාලනයට, සැබෑ වාතාවරණයට මුහුණ දීමට උපකාරී වන බැවිනි. (අඩු ටෙස්ට් අඩු කේස් පන්නයේ උපක්‍රම වලින් මර්ධනය කළ හැකි වයිරසයක් ලෝක ඉතිහාසය තුළ අපට හමු නොවේ.)

සාපේක්ෂව මෙරට සිදුවන PCR පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අදාළ ක්ෂේත්‍ර විද්වතුන් විසින්ම අවස්ථා කිහිපයකදී පෙන්වා දෙනු ලැබීය.  මහර සිරකරුවන් ඉල්ලා සිටියේ රෝගීන් හදුනාගැනීමට, අවධානම් තත්වයෙන් මිදීමට PCR පරීක්ෂණ ලබා දෙන ලෙසය. අවශ්‍ය නම් රටේ PCR පරීක්ෂණ සිදු කිරීමට ඇති පහසුකම් වල ධාරිතාව අනුව කෙටි කලකින් එම ඉල්ලීම ඉටු කිරීමට හැකිව තිබුණි. මේ විශාල කලබගෑනියකින් අවසන් විය යුතුව තිබූ ප්‍රශ්නයක් නොවේ.

සමාජයේ ප්‍රතිචාර සහ ශිෂ්ටත්වය 

 මහර සිරකරුවන් ඝාතනය වීම, සිය ගාණනක් තුවාල ලැබීම, අම්මාවරුන් දරුවන්ගේ ඉරණම අසා පොලිස් නිලධාරීන්ගේ දෙපතුලේ වැද වැටීම, මේ සියල්ලටම වඩා සමාජයේ බහුතරය නැතිනම් සැලකිව යුතු ප්‍රමාණයක් එය සාධාරණීකරනය කිරීම, (වඩාත්ම බිහිසුණු දෙය එයයි) මාධ්‍ය නාලිකා හෙවත් ප්‍රොපගැන්ඩා මැෂින් හරහා සිදුවීමට විවිධ අර්ථකථන ලබා දීම ආදී සිදුවීම් පෙළ ගැසෙද්දී අසන්නට ඇති ප්‍රශ්නය මෙයයි. අප සමාජයක් ලෙස ගමන් කරමින් සිටින්නේ කොතැනටද ? මිනිසුන් මරා දැමීමෙන්  කම්පනයක්, තිගැස්මක් ඇති කරගන්නා සමාජයක් වෙනුවට එය අපරාධ මර්ධනයක්, “සුපිරි වැඩක්”, “ඔහොම තමයි කරන්න ඕන”, “ඔය මදී”, “ඒ සිල් ගත්ත අයද ?” අන්දමේ අදහස් ඇති කරගන්නා සමාජයකින් බලාපොරොත්තු විය හැක්කේ කවර ශිෂ්ඨත්වයක්ද ? ඔවුන් මිනිසුන් ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ ඇයි ?

වැලිකඩ මතකය 

මේ සිද්ධි මාලාව සමග අපේ මතකයට නැගෙන්නේ    මීට කලකට පෙර සිදුවූ වැලිකඩ සංහාරයයි. එවක එය ඇති කල ආන්දෝලනය, ඒ සම්බන්ධ කමිටු, වාර්තා ඔබට මතක ඇතුවා නිසැකය. එහිදී සිදුවූ පරිදි බන්ධනාගාරයට පැරා මිලිටරි ඒකකයක් ඇතුළු වීමම බරපතළ අන්දමේ නීති උල්ලංඝනයකි. සිරකරුවන්ට වධ හිංසා එහිදීද පැනවී තිබුණි. ඝාතනයන්‍ රැසක්ද සිදුවූ අතර ඒ බොහෝ දෙනාගේ මරණ සමග බොහෝ අපරාධ වල ජීවමාන සාක්ෂිද විනාශ වූ බව සිහිපත් කළ යුතුය. ඒ කාලයේද මාධ්‍ය නාලිකා සිය කාර්‍යභාරය කළේ මෙලෙසින්මය. සමාජයේ ප්‍රතිචාරද මීට සමානය. වැලිකඩ සංහාරයට වගකිව යුත්තේ කවුද ? එහි වාර්තා, කමිටු වල ප්‍රතිඵලය කුමක්ද ? 2015 දී බලයට පත් වූ රජය මේ සිදුවීම පිළිබද පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ව හදුනාගැනීමටත් යුක්තිය ඉටු කිරීමටත් මැතිවරණයේදී පොරොන්දු වී තිබිණි. නමුත් ඔවුන් ඩීල් දමමින්, එකිනෙකා සමග කුලල් කා ගනිමින් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරමින් ප්‍රතිවාදී කදවුරට ෆුල්ටෝස් පන්දු යවා ඔවුන් හයේ පහරවල් ගසනවා බලා සිටිමින් සිටියා විනා ඉටු කළ යුක්තියක් නැත.

පළමුව ඛේදවාචකය දෙවනුව විගඩමක් ලෙස !

” First as a tragedy, then as a farce ! ” (පළමුව ඛේදවාචකය  ඉන්පසු විගඩමක් ලෙස) යනුවෙන් අපූරු කියමනක් පවතී. මනුෂ්‍ය ඝාතන, අතුරුදන්වීම්, දූෂණ වංචා, ඒකාධිපති පාලනයන් ආදිය ඛේදවාචකයන්ය. ඒවා නැවත නැවතත් සිදුවන කළ ඒවා ප්‍රහසනයන්, විගඩම් බවට පත්වේ. ඒවා බිය, කම්පනය වෙනුවට ප්‍රහසනය උපදවති.  අප සමාජයක් ලෙස පත්ව ඇත්තේ මෙම තත්වයටයි. වැලිකඩ ඛේදවාචකය, ඒ වසන් කිරීම්, ඒ සමාජ ප්‍රතිචාරයන් ඒලෙසින්ම අත්දකිමින් සිටිමු. වැලිකඩට තාම යුක්තියක්ද නැත. අපට ඒවා සාමාන්‍යකරණය වී ඇත. ලංකාව ලෝකයේ වැඩිම අතුරුදන්වීම් ප්‍රමාණයක් සිදුවූ රටවල් අතරට එක්වේ.  71, 88/89, තිස් වසරක සිවිල් යුද්ධය හා ඉන්පසුවද විවිධ ප්‍රමාණයන්ගෙන් අතුරුදන් වීම් සිදුවිය. මේවා මුලින් ඛේදවාචකයන් ලෙස සමාජයේ කම්පනයක් ඇති කළ සිදුවීම්‍ වන අතර පසුව අතුරුදන්වීම් සාමාන්‍යකරණය විය. මේ කාලෙ අතුරුදන් වුනේ කීපදෙනයි. කලින් පාලනයේදි මෙච්චර අතුරුදන් වුනා කියමින් සන්සන්ධනය කිරීමටද දේශපාලකයන් හා සාමාන්‍ය ජනතාව කටයුතු කරන අවස්ථා ඇත. අතුරුදන් වෙන්නෙ කුඩ්ඩො, කොටි ආදී අදහස්ද ජනගත වී ඇත.  ඒ ඛේදවාචකයන් විගඩම් වීමේ ලක්ෂණයන්ය.

සිදුවූ ඝාතන ප්‍රමාණයන් වල තරමේ හැටියට ඝාතන කිහිපයක් සිදුවීමද දැන් මේ සමාජයට අරුමයක් නොවේ. ඒ පිළිබද ඇති සංවේදිතාව වියැකී ගොස් ඇත. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන ඉර පායා බැස යාම තරමට සාමාන්‍යකරණය වී ඇත. මහා පරිමාණ මූල්‍ය වංචා තරම් විගඩමක් බවට පෙරළී  ඇති ඛේදවාචකයන් තවත් නැත. ඒවාට එරහිව සිදුවූ පරීක්ෂණ අද හදුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීම් ලෙසිනි. පරීක්ෂකයන් හිරේට ගොස් වංචනිකයන් ව්‍යවස්ථාදායකයට යන තරමට එය විගඩමක් වී හමාරය.

එහෙව් රටක වැලිකඩ ඛේදවාචකය ලෙසින්ම මහර විගඩමද යටව යනු ඇත.  යුක්තිය, අපක්ෂපාතී විමර්ශන ඉල්ලා සිටිමින් මේ මර්ධනයන්ට එරහිව සැලකිව යුතු මට්ටමේ රෙසිස්ටනයක් සමාජය තුළ ඇති වන්නේද නැත. පැනිය ගැන, පරණ මෙගා නාට්ටි නිම වී එන අලුත් නාට්ටි ගැන, අතීත සමෘද්ධිය ගැන, රාවණාව නින්දෙන් නැගිට්ටවීම ගැන කථා කරමින් ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නැගී සිටින සශ්‍රීක හෙට දවස ගැන සිහින දකින අභිමානවත් ජාතියකට මේවා ප්‍රශ්න නොවේ. ඔවුන් ප්‍රීතියෙනි.  ලොව ප්‍රීතිමත්ම රටවල් අතර පෙරමුණට පත්විය යුත්තේ ෆින්ලන්තය නොව මේ කුඩා පින් දේශය බව කිව යුතුමය. මන්ද යත් කවර අන්දමේ ඛේදවාචකයකටවත් අපේ ප්‍රීති ප්‍රමෝදය, දළ දේශීය සතුට සහ ඒක පුද්ගල ආතලය බිද දැමිය නොහැකි හෙයිනි. ඒවා දැන් අපට විගඩම් වී ඇත.

ශාලිත බණ්ඩාර | Shalitha Bandara