[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට විරුද්ධව පැණ නැගී ආ බරපතල විරෝධය හමුවේ, නැවත එම ස්මාරකය ඉදිකිරීම සදහා මැදිහත් වීමට බලධාරීන්ට සිදු විය.

කෙසේ නමුත්, යාපනය විශ්ව විද්‍යාලය තුළ තිබූ එම ස්මාරකය ඉවත් කිරීම නිසා, යුද්ධයෙන් මිය ගිය සිය සමීපතමයින් සැමරීමට ඇති අයිතිය, නිදහස පිළිබද නැවත වටයකින් සංවාදයක් මතුවිය. එය ලංකාවේ දකුණ දක්වා විහිදී ගියේය. වෙබ් අවකාශයේ සම්මන්ත්‍රණ ද, ස්මාරකය උදුරා දැමීමට විරුද්ධව සමාජ ජාලාවල විවිද අන්දමේ විරෝධතාවයන් ද මතු විය. නමුත් සෑම විටකම මෙන් එය ඒ මොහොත ග්‍රහණය කර ගනිමින්, ඒ වෙනුවෙන් වැඩ කිරීම සාමාන්‍යකරණය වී ඇති තත්ත්වයක් නැවත පෙන්නුම් කළේය. නමුත් අප විසින් අවබෝධ කරගත යුත්තේ, පීඩික යාන්ත්‍රණය තුළ ඇති ‘පීඩක’ මනෝබාවය එයින් වෙනස් නොවන බවයි. ඒ මනෝබාවය විසින් ක්‍රියාත්මක කරන තවත් එවැනි ක්‍රියාවලියක් දූපතේ තවත් බිමකින් නැවත වටයකින් මතුවිය හැකිය. එය විසින් නැවත වරක් තුවාල කර ඇති ලාංකීය මිනිස් හදවත් යළිත් පාරනු ඇත. එබැවින් අපට එම පිඩක මනෝබාවය පිළිබද ගැඹුරු කියැවීමක් අත්‍යවශ්‍ය වන්නේය. එසේම, එම පීඩක මනෝබාවය විසින්ම මෑත ඉතිහාසය තුළ සිදුකරන ලද එවැනි සාහාසික ක්‍රියාවලීන් යළි යළිත් මතක් කර ගැනීම අවශ්‍යය.’සිහිවටන’ මතින් ඩෝසර් ගමන් කළ මෑත ඉතිහාසය යළි යළිත් සිහිපත් කිරීමත්, ඒවා සිදුකල අන්දමත් සිහිකර ගැනීම වටින්නේය. ඒ අන් කිසිවක් නිසා නොව, බරපතල යුද්ධයකින් පසුව තුවාළ වූ හදවත් සුවපත් කළ හැකි ‘එක්’ ක්‍රමයක් වන්නේ මරා දැමූවන් ‘සිහි කිරීමට’ ඔවුන්ගේ සමීපතමයින්ට ඇති අයිතිය තහවරු කිරීමය. එම අයිතිය රාජ්‍ය විසින් පිළිගැනීමයි. එසේම එවන් තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගන්නටය.]

සොහොන් භූමිය බුල්ඩෝසර් කර තැනූ ඊනියා යුද සැමරුම් කෞතුකාගාරය [Street View 360 here]

‘හමුදා කෞතුගාරයක්’ ලෙසින් හදුන්වන විශාල භුමි ප්‍රදේශයක විහිදුනු ස්ථානයක් මඩකලපුවේ, කුඩුම්බිමලේ පර්වතයට ආසන්නව(මෙය හමුදාව විසින් හදුන්වන්නේ තොප්පිගල යනුවෙනි) තාරාවිකුලම් හි ඉදිකර තිබේ. ත්‍රිවිද හමුදාව, පොළීසිය සහ යුද්ධය, යුද්ධය ක්‍රියාත්මක කළ ආකාරය උත්කර්ශයට නැංවීම සදහා මෙය ඉදිකර ඇත. මෙම ‘කෞතුකාගාරය’ ඉදිකර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරය භූමියකය.

එපමණක් ද නොවේ. මෙය ඉදිකිරීමට පෙර එම ස්ථානයට මදක් දුරින් තනා තිබූ සොහොන් භූමියක් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් මෙය ඉදිකර තිබේ. හමුදාව විසින් එම සොහොන් භූමිය විනාශ කරන විට එහි, සොහොන් 3000කට වඩා තිබුණු බව 2015 මැයි මස ද ගම්වැසියන් අප සමග කීවේය. ‘‘මට මතකයි අතන සොහොන් 3000කට වඩා හදලා තිබුණා. ඒවා ඔක්කොම ආමි එකෙන් බුල්ඩෝසර් කරා. දැන් එතන මුකුත් නෑ. එතන ඔක්කොම වළලා තිබුණේ අපේ දරුවො.‘‘

ගම්වැසියන් එසේ කීවේ උහුලාගත නොහැකි ශෝකයෙන් බව ඔවුන්ගේ දෑස්වල රැදී තිබිණි. මළවුන් සිහිකිරීමට තැනූ සොහොන් විනාශ කරමින් ඊනියා යුද ජයග්‍රහණයේ උන්මාදය තවමත් සමරන්නේ දෙමළ මිනිසා තව තවත් ආත්මීය ලෙස තලා දමමින් නොවේ දැයි අසන්නට බහුතර ජනතාවගේ හෘද සාක්ෂීන් හිරිවට්ටා තිබේ. එසේත් නැතිනම් සිතා මතාම හිරි වැටුනා සේ හෝ නොදැක්කා සේ සිටීම පුරුද්දට ගොසිනි.

‘2001, 2002 වගේ අපි ඉස්කෝලෙ යන කාලේ මෙතන තිබුණ සොහොනට ආවා මට මතකයි. අපි එන හැමදාකම වගේ අම්මලා, තාත්තලා ගොඩක් ඇවිල්ලා හිටියා. එයාලා ඒ සොහොන් ලග බිම වාඩිවෙලා අඩ අඩා ඉන්නවා අපිට මතකයි. දැන් ඒ එක සොහොනක් වත් නෑ. ඒවා හොද නැති නරක වැඩ‘[2015 මැයි] සමතලා කරන ලද එම සොහොන් භූමිය ගැන තරුණයෙක් අප සමග මෙසේ කීවේ එළෙසය.

එහි ඇති පුවරුව

IMG_0198

IMG_0199

ඒ, ලාංකීය භූමිය තුළ, මරා දැමූ සහ අතුරුදහන් කල වූවන් ‘සිහිකිරීම’ සදහා ඉදිකර තිබූ සිහිවටනයන් විනාශ කල අතීතයේ උදාහරණ දෙකක් පමණි. තවත් ඕනෑ තරම් උදාහරණ උතුරු සහ නැගෙණහිරින් සොයා ගත හැකිය. නමුත් යළිත් ‘මනුෂ්‍යත්වය පිළිබද සිහිනය’ වත් සොයා ගැනීමට නම් එවන් ඉතිහාසක හිංසනීය ක්‍රියාවන් නැවත වරක් හිස එසවීමට නොදීම ශිෂ්ට සමාජයක වගකීමය. නමුත් පසුගිය ජනවාරියේදී යාපනය, විශ්ව විද්‍යාලයේ ‘සිහිවටනය’ ඩෝසර් කරමින් යළිත් හිස ඔසවන ලද්දේ ඒ ‘අශිෂ්ට’ ඉතිහාසයම නම් ‘යුක්තිය’ පිළිබද සිහිනයක්වත් ලාංකීය දූපතේ ඉපදෙනු ඇත් දැයි ප්‍රශ්ණ සහගතය. නමුත් යක්ෂයින්ගේ ගෙරවිලි හඩ කොතරම් ඇසුනත්, එම යක්ෂ ගෙරවිලි මර්දනය කිරීම සදහා ‘යුක්තිය’ වෙනුවෙන් පෙනී සිටින ‘මනුෂ්‍ය හදවත්වලට’ මග හැරිය නොහැකි භූමිකාවක් ඇත. ඒ වෙනුවෙන් පෙනී සිටිම, එදාට වඩා හෙටට ලාංකීය භූමියට අවශ්‍ය විය හැකිය. එවිට ඩෝසරයකට යටපත් කළ නොහැකි සාමූහික හෘද සාක්ෂියක ‘යුක්තියේ’ සීනු හඩ ඇසෙනු ඇත.

‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(1)

Sampath Samarakoon