iMage: Vikalpa/File

ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එහිදී වැඩි ඡන්දයෙන් එම යෝජනාව සම්මත විය.

මෙම ඡන්ද විමසීම පිළිබද ලංකාවේ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන විසින්, ගණිත විජ්ජාවක් පෙන්වමින් සිටී. යෝජනාවට විපක්ෂව සහ ඡන්දය භාවිතා නොකළ රටවල්, ‘තමන්ගේ ගොඩට’ දමා ගනිමින් ‘බහුතරය අපිට’ යැයි ඉතාමත් නිර්ලජ්ජිත ප්‍රකාශයන් කරමින්, රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික බංකොලොත්භාවය මාධ්‍ය හමුවේදී පෙන්නුවේය. රටක් ලෙස ‘ශ්‍රී ලංකාවට එරෙහිව’ කිසිදු කරුණක්, සම්මත වූ වාර්තාවේ නැති තත්ත්වයකදී, ලංකාවට එරෙහිව යැයි අමු බේගල් ඇද බාමින් ලංකාවේ ජනයා නොමග යවමින් සිටී. එයින් තව දුරටත් ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව පෙන්වා සිටින්නේ, ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ඇති නොකැමැත්තයි.

මේ තත්ත්වය තුළ මානව හිමිකම් පිළිබද ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් විසින්, ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා වාර්තාව පිළිබද අදහස් දක්වමින් ඇත.

‘වරදකරුවන් වගකීමට ලක් කිරීමට සහ සත්‍ය දැන ගැනීමට ශ්‍රී ලංකාවේ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වසර ගණනාවක සිට අරගල කරමින් සිටිති. මේ යෝජනා සම්මතය එම අරමුණු කරා තැබූ එක් වැදගත් පියවරකි.’

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ, ජිනීවා හී අධ්‍යක්ෂක, ජෝන් ෆිෂර් පෙන්වා දෙයි.

ඇම්නෙස්ට් ජාත්‍යන්තර සංවිධානයේ, ජිනීවා හී එක්සත් ජාතීන්ගේ නියෝජිත හිලර් පවර් පෙන්වා දෙන්නේ, ‘අන්තර්ජාතික ප්‍රජාව විසින් ගන්නා ප්‍රවේශය වෙනස් වී ඇති බවට පෙන්නුම් කරන මෙම යෝජනා සම්මතය මානව හිමිකම් කවුන්සිලය විසින් ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.’

‘#HRC46 හි දී ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව මඟින් බරපතල අපරාධ සහ අපයෝජන සඳහා දිගටම දණ්ඩ මුක්තිය හිමිවීම පිළිබඳව ඉස්මතු කරන අතර, අනාගතයේ දී නඩු පැවරීම සඳහා සාක්ෂි එකතු කිරීමට බලය ලබා දෙයි.‘ යනුවෙන්, ඇමරිකානු එක්සත් ජනපදය වෙනුවෙන්, ජිනිවා මිෂන්, ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටී.

 

කෙසේ නමුත්, වාර්තාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීම සදහා ඉල්ලා සිටින කරුණු 16, ක්‍රියාත්මක නොකර සිටීමට ශ්‍රීලංකාවට හැකිය. එසේම, සමස්ථ වාර්තාවම ප්‍රතික්ෂේප කරමින් සිටීමටද ලංකා ආණ්ඩුවට පුලුවන. නමුත්, එසේ කළහොත් ජාත්‍යන්තරව එල්ලවිය හැකි තෙරපීම් ලංකා ආණ්ඩුවට මගහැර යා නොහැකිය. ඒ කෙසේ වෙතත්, අදාල කරුණු 16 සිහි බුද්ධියෙන් කියවන්නෙක්ට පෙනී යන කරුණක් වනුයේ, ජීනිවා හී කවුන්සිලය විසින් කීවාත්, නොකීවාත් අප රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු අදහස් එම වාර්තාවේ අඩංගු වන බවයි. එබැවින්, මෙම අදාල කරුණු ක්‍රියාත්මක කිරීමට උනන්දු වන්නේ නම්, එය ලංකාවේ මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමට දායකත්වය සපයනු ඇත. එසේ නොවුනහොත් ජාත්‍යන්තරයේත්, දේශියවත් ශ්‍රී ලංකාව තවදුරටත් ‘කලු’ ළකුණක් වීමට නියමිතය.