යුද්ධයේදී මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා මුල්ලිවයික්කාල් හී ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දමා ඇති බව වාර්තා වූයේ පසුගිය බදදා රාත්‍රියේ ය. වසර ගණනාවකට පෙර ඉදිකල එම ස්මාරකය යුද්ධයෙන් මිය ගිය දහස් ගණන් මිනිසුන් සිහි කිරීම සදහා, මිය ගිය අයගේ සමීපතමයින් විසින් ඉදි කර තිබිණි. සැම වසරකම මැයි මස එම ස්මාරකයන් අභියසට පැමිණෙන මිය ගිය අයගේ සමීපතමයින් පහන් දල්වා සිය ආදරණීයන් සිහිපත් කරයි.

”ස්මාරක කඩා දැමීමෙන් දෙමළ ජනයාගේ හැඟීම් විනාශ කළ නොහැකියි” – පාර්ලිමේන්තු මංත්‍රී සානක්කියන් රාසමාණික්කම්

”මුල්ලිවයික්කාල් හි පිහිටුවා තිබූ ස්මාරකය විනාශ කර ඇති අතර එය එතැනින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එය එදින ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ බවට අපි සැක කරනවා. මෙම රජය දෙමළ ජනයාට ඔවුන්ගේ ඉතිහාසය සිහිපත් කිරීමේ අවස්ථාව අඛණ්ඩව අහිමි කරන රජයකි. 2009 වර්ෂයේ මෙවැනි කාලයක අපට බොහෝ දෙනෙකු අහිමි විය. එම ආදරණීයයන්ගේ මරණය සිදු වූ දිනය හෝ ස්ථානය අප නොදැන සිටියද, වසර ගණනාවක් තිස්සේ අපි ස්මාරකය සෑම කෙනෙකුටම මතක තබා ගත හැකි ස්ථානයක් ලෙස භාවිතා කර ඇත්තෙමු. දෙමළ ජනයාගේ හැඟීම් විනාශ කිරීම සඳහා ඔබ වෙනත් නව ක්‍රම සොයා බැලිය යුතුය. ඒ ඔබට අපගේ හැඟීම් විනාශ කළ නොහැකි බැවිනි..”(උපුටා ගැනීම – citizenpostlk)

2017 දී ත් සිහිකිරීම් වාරණයට ගත් උත්සහය

2017 May 18 | Image VIKALPA

‘යහපාලන’ ආණ්ඩුව පැවති 2017 වසරේ මැයි මස දී ද සිහිකිරීම් උත්සවයන් සදහා පොලීසිය සහ ආරක්ෂන අංශ විසින් බාධා කළේය. යුද්ධයේ දී මරා දැමූවන් සිහිපත් කිරීමට සැළසුම් කළ වැඩසටහන් යෙදී තිබූ 2017 මැයි 18 දින එය වාරණයට ලක්කරමින් 2017 මැයි 17 දින මුලතිව් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබූ පොලීසිය එහි සංවිධායක එලිල් රාජරත්නම් පියතුමාට මෙන්ම එහි ජනයා හිංසනයට මෙන්ම බියට පත් කිරීමේ විවිද වෑයම් වල යෙදිනි. බිහිසුනු යුද්ධයෙන් ඝාතනය කළ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ නම, වාසගම, වයස සහ ඝාතනය කළ දිනය දෙමළ භාෂාවෙන් කලු ගල්වල කොටා එම කළු ගල් පුවරු තම ඥාතීන් අතින්ම මැයි 18 දින සැමරුම් මොහොතේ ස්ථාන ගත කිරීමේ සිහිවටන මොහොතට ද බාධා එල්ලවිණි. අධිකරණය විසින් එම සැමරුමට ද වාරණ නියෝගයක් ගත්තේය. එම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ එම සැමරුම සංවිධානය කිරීමට මූළිකත්වය දුන් අඩයාලම් සංවිධානයේ සම කැදවුම්කරු, එලිල් රාජේන්ද්‍රම් පියතුමා වෙතය.

සිහිකිරීම යෙදී තිබූ 18 වනදා එම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් එලිල් රාජේන්ද්‍රම් පියතුමා වෙනුවෙන්, මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නීතිඥ කුමාරවඩිවේල් ගුරුබරන් අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ මළවුන් සිහි කිරීම ජනතාවගේ අයිතියක් බවයි. පැය ගණනාවක විභාගයකින් පසු දේවස්ථානයේ පූජාව සිදුකිරීමට පමණක් අධිකරණය විසින් අවසර ලබා දෙන ලද්දේ ‘යහපාලන‘ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ පත් කළ ‘සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය‘ හි නිකුත් කළ වාර්තාවේ සදහන් වන එක් නිර්දේශයක මෙසේ සටහන් වන සහ එය, එවකට ජාත්‍යන්තරයේ ද සාකච්ඡාවට ලක්කරමින් ඇති විටක දීය. ‘තම ආදරණීයන්ගේ මරණය හෝ අතුරුදන් වීම ස්මරණය කිරීමට හෝ ඒ වෙනුවෙන් දුක් වීමට වින්දිතයන්ට ඇති අයිතිය රජය විසින් පිළිගත යුතුය.’ (CTF Report Read)

2017 දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් එලීල් රාජරත්නම් පියතුමා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ පියතුමා විසින් සදහන් කර තිබුණේ, මෙම අනුස්මරණෝත්සවය පිළිබද පොලිසිය විසින් විවිධ පොලිස් ස්ථානවලදී සහ නිවසේ දී පුන පුනා ප්‍රශ්න කිරීම හිංසාවක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රකාශිතව පිළිගනු ලබන යාම් ඊම්, භාෂණයේ හා සමාගමයේ ස්වකීය නිදහසට එමගින් බාධා පැමිණෙන බවත්, තම වියපත් දෙමාපියන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීම නිසා ඔවුන් ද සිත්තැවුලට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,

”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම් පවුලකට අහිමි කිරීමට මියගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයෙකු වූයේ ය යන්න හේතුපාදක කොට ගත යුතු නොවේ. ස්වකීය තරාතිරම් හා දේශපාලන විශ්වාසයන් නොතකා ස්වකීය ප්‍රියයන්ගේ විප්‍රයෝගය සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියකි.”

යනුවෙනි. (සිංහල පරිවර්තනය ‘විකල්ප‘ වෙබ් අඩවියෙනි)

යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය

යුද්ධයේදී ඝාතනයට ලක්වූ සුවහසක් ජනයා සිහිකිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය ද ඩෝසර් යොදා ගනිමින්, ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රියේය. නමුත් එම ස්මාරකය විනාශ කිරීමට එරෙහිව පැන නැගුණු ප්‍රභල විරෝධතා හමුවේ ස්මාරකය යළි ගොඩනැගීමට විශ්ව විද්‍යාලීය පරිපාලනයට ම සිදු විය.

ස්මාරකයන් සහ සිහිකිරීම්

යුද්ධය අවසන් වූ දා සිටම, යුද්ධයේදී ඝාතනයට ලක්වූවන් සිහි කිරීමේ වැඩසටහන් ආණ්ඩු විසින් කියවා ගනු ලැබූවේ ‘වෙනස්කොට සැලකීමේ’ සිය සුපුරුදු භාවිතාව තුළිනි. සිහිකිරීමට ඇති එම අවස්ථාවන් අහිමි කිරීමෙන් වන්නේ වාර්ගික බෙදීම් තව තවත් වර්ධනය වීමක් පමණක් යන්න තේරුම් ගෙන නැති සේයකි. වැළපීම, සිහිකිරීම අයිතියකි. එය විශ්ව අයිතියකි. පුරවැසියන් සතු එම අයිතිය කිසිදු බලයකට යටපත් කළ නොහැකිය. ඕනෑම පුරවැසියෙක්ට හඬා වැටීමට සහ පවුලේ, ප්‍රජාවේ මිය ගිය අය වෙනුවෙන් ශෝක වීමට, ස්මාරක ඉදි කිරීමට, පෞද්ගලිකව ද, ප්‍රසිද්ධියේ ද, තනිවම මෙන්ම, සාමූහිකව ද අයිතියක් ඇත. තමන්ගේ ආදරණීයයන් මරණයට පත් වූ බොහෝ පවුල්වලට සහ ඔවුන්ගේ මිතුරන්ට, මෙය තමන්ගේ වේදනාත්මක අතීතය සුවපත් කර ගනිමින්, අනාගතය වෙත යාමේ එක් ක්‍රමයකි. නමුත් දිගින් දිගටම මේ අතිශය සාමකාමී වූ ‘මිනිස් වේදනාවන්’ සුවපත් කර ගැනීමේ මොහොත සිය බලය යොදා ගනිමින් මැඩලන්නේ නම් අප ගමන් කරන්නේ ශිෂ්ට අනාගතයක් දෙසට නොවේ. මෙයින් සිදුවන්නේ සුව නොවී ඇති අනෙකාගේ තුවාලය යළි යළිත් පෑරීම පමණය. වෙඩි බෙහෙත් ගදට හුරුවූවන්ට මෙන්ම අනෙකා පිළිබද නොසිතන ‘ශරීරයකට’, ඒ තුවාලයේ වේදනාව කිසිසේත් දැනෙන්නේ නැත. ඔවුන්ට දැනෙනුයේ වෙඩි බෙහෙත් ගද පමණය. බර අවි, මූනිස්සම්වල ස්පර්ෂයේ නග්න, අශිෂ්ඨ හැගීම පමණි.

එබැවින්, මළවුන් වෙනුවෙන් පහනක්වත් දැල්වීමට, මළවුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට නොහැකි නිදහස්(?) රටක ‘සංහිදයාව‘, ‘ප්‍රතිසංධානය’, ‘උගත් පාඩම්’ යනු ගාලූ මුවදොර මුහුදුවැල්ලේ ලියූ අකුරු කිහිපයක් පමණකි.