iMage;AJ/ IShara Kodikara

“ශ්‍රී ලංකා මුහුදේ MV X-Press Pearl නෞකාව නිසා සිදු වූ හානියට විශාල වන්දි මුදලක් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. මේ වෙලාවෙ ආර්ථීක වශයෙන් අමාරු අඩියක ඉන්න අපිට ඒක ලොකු හයියක්”.

මේ MV X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේ දී ගිනිගෙන විනාශවීම මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු දුටු ආකාරය යි. අනතුරට පත්වන නාවුක යාත්‍රාවන් වෙතින් වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ දේශපාලඥයින් මෙන්ම මෙරට අතිබහුතර ජනතාව අතරද එතරම් අවබෝධයක් නොමැත. ගෝලීය වෙරළ දර්ශකයේ සාගරයට පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම වැඩියෙන්ම සිදුකරන රටවල් විස්ස ලෙස හඳුනාගෙන ඇති රටවල් අතරින් පස්වන ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව මෙම පාරිසරික ව්‍යසනය පිලිබඳ මනා දැනුවත් භාවයකින් කටයුතු කරමින් ඒ සඳහා වන්දි ලබාගැනීමට තටයුතු කිරීමත්, එකී වන්දි මුදල් හානියට පත් සමුද්‍රීය පරිසරයේ තිරසාර කළමණාකරණය වෙනුවෙන් ඵලදායී ලෙස යෙදවීමත් අත්‍යාවශ්‍ය ය.

කොළඹ ආශ්‍රිත මුහුදු කලාපයේ ගිනිගෙන විනාශ වූ සිංගප්පූරුවේ ලියාපදිංචි MV X-Press Pearl නෞකාවට සැබවින්ම සිදු වූයේ කුමක්ද? ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දරන උත්සාහය අසාර්ථකව නෞකාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව මුහුදේ ගිලෙමින් පවතී. එහි බහාලූ‍ම් තුල අන්තර්ගත වූ සියුම් ප්ලාස්ටික් කැට මේ වන විටද මීගමුව ඇතුලූ‍ වෙරළ තීරයන් රැසකට ළඟා වී ඇත. එම ප්‍රදේශවලින් හමුවූ මියගිය මසුන් තුළද මේවා තිබී හමු විය. නෞකාවේ බහාලූ‍ම් තුල අන්තර්ගත වූයේ මොනවාද යන්න නිසි ලෙස ජනතාව වෙත අනාවරනය නොකෙරුනු නමුත් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතරු අනුව නයිට්‍රික් අම්ලය, එතනෝල්, ඊයම් අන්තර්ගත අමුද්‍රව්‍ය, යූරියා, අංශුමය පොලිතීන්, සෝඩියම් මෙතොක්සයිඞ්, කෝස්ටික් සෝඩා, රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදාගන්නා ඇලූ‍මීනියම් ආශ්‍රිත අතුරු ඵල ලෙස ලැබෙන අමුද්‍රව්‍ය යනාදී වූ අතිශය අන්තරායකර ද්‍රව්‍ය අන්තර්ගත බහාලූ‍ම් සිය ගණනක් නෞකාවේ තිබී ඇත.

සමුද්‍රීය නීතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව නෞකාවන් මගින් සිදුවන සමුද්‍ර දූෂණ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිලිබඳ ප්‍රතිපාදන රැසක් පවතී. එමෙන්ම, සමුද්‍ර දූෂණය සිදුවූ සමුද්‍ර කලාපය අනුව මෙම ප්‍රතිපාදන වෙනස් වේ. මේ සියලූ‍ ප්‍රතිපාදන පිලිබඳ පොදු මහජනතාව දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍ය නොවන නමුත් එවන් පරිසර හානියකින් ඇතිවිය හැකි හානිකර ප්‍රතිඵල හා ඒ සඳහා ලබාගන්නා වන්දි යොදාගන්නේ කෙසේද යන්න පිලිබඳ දැනගැනීම මහජනතාවගේ අයිතිය කි.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදුවූ මෙම විනාශයෙන් සිදුවී ඇති හානිය තක්සේරු කිරීමට තවමත් කටයුතු කරමින් සිටින බවයි. එකී හානිය වෙනුවෙන් අයකරගත යුතු වන්දි මුදලට පරිසරයට, ධීවර හා සංචාරක ව්‍යාපාරයන්ට සිදුවන හානිය ඇතුළත් විය යුතුය. විනාශය මැඩ පැවැත්වීමට ගනු ලැබූ සාධාරණ ක්‍රියාමාර්ග සහ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන පිරිවැය ද ඇතුළු සමස්ථ පාරිසරික හානිය සඳහා වන්දි ලබා ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය ය. එමෙන්ම පාරිසරික හානිය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික කළමනාකරණය පිලිබඳ දැනුම හා පර්යේෂණයන්හි දුර්වල බව පිලිබඳ ගැටලූ‍ව මතුවන්නේ මෙහිදීය. වෙරළබඩ හා සමුද්‍රීය පාරිසරික පද්ධති පිලිබඳ අප සතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු සම්බන්ධ මූලික දත්ත අතිශයින් සීමිතය. මෙය සමුද්‍රීය අනතුරු හේතුවෙන් සිදුවන හානි තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරන අතර පරිසරය නැවත යථා තත්ත්වයට පත්කිරීම අනිවාර්ය ලෙසම ප්‍රමාද කරයි.

කෙසේ නමුත්, පොදුවේ ගත්කළ සමුද්‍රීය නීතිය පිලිබඳ සම්මුතියේ විෂය පථය තුල සමුද්‍රීය පාරිසරික හානි සම්බන්ධයෙන් වන පොදු ඉල්ලීම් අන්තර්ගත නොවේ. එයින් අදහස් වන්නේ සමුද්‍රීය නීතිය යටතේ ආර්ථිකමය නොවන වන්දි ලබාගත නොහැකි බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස හානියටපත් පරිසර පද්ධති වෙතින් ලබාගත හැකිව තිබූ ප්‍රතිලාභ කිසිවක් අනාගත පරපුරට හිමි නොවනු ඇත. එයට හේතුව කවර මට්ටමක සක්‍රීය පියවර ක්‍රියාවට නැංවුවද පරිසර පද්ධතිය පූර්ණ ලෙස පෙර පැවැති තත්ත්වයට පත් නොවීමය. මේ අනුව අනාගත පරපුරට අත්විඳීමට සිදුවන ප්‍රතිඵල කිසිවක් වන්දි ගෙවීම තුල ආවරනය නොවේ. කෙසේනමුත් අනාගතයට සිදුවන මෙකී හානි මූල්‍යමය ලෙස ගණනය කිරීමේ ක්‍රමවේද පවතී (අසම්භාව්ය ඇගයීම්- contingent valuation ක්‍රම භාවිතය මීට නිදසුනකි). හානියට පත් පරිසර පද්ධතිවල පැවැත්මේ අගයන් සඳහා පමණක් නොව අනාගත වටිනාකම් සඳහා ද ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සම්පත් සුපරීක්ෂාකාරීව තක්සේරු කළ යුතුය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති ඇගයීම අතිශය සීමා සහිත වන අතර එය ක්‍රියාත්මක වන්නේ එකම ක්‍රියාකාරී සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශය වන ත්‍රීකුණාමලයේ පරවි දූපත වැනි ස්ථාන කිහිපයක පමණි. මේ අනුව සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධති වටිනාකම් වලට සිදු වූ හානි සඳහා වන වන්දිය ද ඇතුලත්වූ වන්දි ගණනය කිරීමක් ප්‍රමාණවත් ලෙස සිදුවනු ඇතැයි සිතිය නොහැකිය. එබැවින් සාගරයේ නාවුක යාත‍්‍රා මගින් සිදුවන දූෂණ ගණනය කිරීමේදී පරිසරය යථා තත්ත්වයට පත්කිරීමේ තිරසාර පියවරද ඇතුලත් කරගනිමින් එකී ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කාලය එළඹ ඇත.

ශ්‍රී ලංකාව වැනි වෙරළබඩ සංවර්ධනය වෙමින් පවතින රටවල දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් සංචාරක හා ධීවර අංශවලින් ලැබෙන බැවින් නෞකා මගින් සිදුවන පරිසර දූෂණ ඉමහත් ආර්ථීකමය බලපෑමක් ඇති කරයි. කොවිඩ් 19 වසංගතයෙන් මෙම අංශ දෙකම බැට කමින් සිටින තත්ත්වයක් තුල මෙම බලපෑම අතිශයින් දරුණු ය. මෙම ගිනිගත් යාත්‍රාව ආසන්නයේ කොරල් පර නොමැති නමුත් තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය අවට ඇති කලපුව, ගංගා මෝය සහ කඩොලාන වැනි සංවේදී පරිසර පද්ධති කෙරෙහි බලවත් එමගින් බලපෑම් ඇතිකළ හැකිය. එමෙන්ම අවට පරිසරයට පමණක් නොව ධීවර හා සංචාරක කර්මාන්තය හා බැඳී ඇති ජීවනෝපායන් කෙරෙහි ද නෞකාවේ රසායනික ඉතා අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මේ වන විටත් කොවිඩ්19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති වත්තල සිට මීගමුව දක්වා වෙරළ තීරයේ ධීවර ජීවනෝපායන් අනතුරට ඇද දැමීමට නෞකාවෙන් මුහුදට එක්වූ විවිධ අපද්‍රව්‍ය සමත්ව ඇත. හඳුනාගත් දූෂිත ප්‍රදේශවල ධීවරයින්ට මසුන් ඇල්ලීමට අවසර නොමැති අතර ඔවුන්ට විකල්ප ජීවනෝපායන් ද නොමැත. හානියට පත් ප්‍රදේශවල ධීවර කටයුතු නැවත ස්ථාපිත කරන්නේ කවදාද යන්න තවමත් තීරණය කර නැත. මෙම ප්‍රතිවිපාක වහාම තක්සේරු නොකළහොත් මෙම ධීවර පවුල්වල දුක්ඛිත තත්ත්වය තවදුරටත් තීව්‍ර වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ වන්දි වැඩසටහන් වල විනිවිදභාවය හා වගවීම අතිශය දුර්වල බැවිනි. සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන මීගමුව පරිසරය දැනටමත් දූෂණය වී ඇති බැවින් එහි සංචාරක අංශයට දිගු කාලීන ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවනු ඇත. දැනට ලැබෙමින් පවත්නා තොරතුරුවලට අනුව අවම වශයෙන් මාතර සිට කල්පිටිය දක්වා වූ මුහුදු හා වෙරළ තීරයන් දැඩි පාරිසරික බලපෑමට ලක්වෙමින් පවත්නා අතර කැස්බෑවුන්, ඩොල්ෆින් මසුන් ඇතුලූ‍ වටිනා සම්පත් රැසකගේ ජීවිත දැඩි අවදානමට මුහුණ දී ඇත. එබඳු තත්ත්වයක් විසින් ඉඟි කරන විනාශයේ අනතුර මිනිසා ඇතුලූ‍ සමස්ථ ජෛව පද්ධතිය කෙරෙහිම අතිශය හානිකර එකක් නොවනු ඇතැයි සිතීමට කවර හෝ හේතුවක් නොමැත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ MV X-Press Pearl යාත්‍රාවට හානි වීමෙන් පසුව ඇති වූ සමහර සිදුවීම් පෙන්නුම් කරන්නේ දේශපාලනඥයන් ඇතුළු සාමාන්‍ය ජනතාවගේ පාරිසරික නොදැනුවත් භාවයයි. දැවෙන යාත්‍රාවේ සුන්බුන් ස්පර්ශ නොකරන ලෙස මහජනයාට කළ අනතුරු ඇඟවීම් නොසලකා වෙරළේ අනතුරුදායක ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශාල පිරිසක් එක්රැස් වූහ. මෙය වෙරළබඩ ජන ජීවිත මුහුණ දෙන දුෂ්කරතා මැනවින් නිරූපනය කරන්නකි. නොමිලේ ලැබෙන ඕනෑම දෙයක්, වසංගත රෙගුලාසි පවා නොසලකමින් එක්රැස් කරගැනීම පිටුපස පාරිසරික නොදැනුවත්භාවය පමණක් නොව ආර්ථික දුෂකරතාද පවතින බව අප අමතක නොකල යුතුය. ඇතැම් දේශපාලඥයින් පළකල අදහස් වලින් කියැවුනේ ලැබෙන කවර හෝ වන්දිය සිදුව ඇති හානිපූරනය කරගැනීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය ආර්ථීක ක්‍රියාකාරකම් සඳහාද යොදා ගැනීමේ සූදානමකි. 2020 න් පසු ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ දෙවන නෞකා අනතුරු ආශ්‍රිත සමුද්‍ර දූෂණය මෙය වුවද, එහි ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමට ගැලපෙන ක්‍රමවේදයක් තවමත් අපට නොමැත.

ලෝක ඉතිහාසයේ දැවැන්තම නෞකා අනතුරු ආශ්‍රිත සමුද්‍ර දූෂණය වූ 1999 වසරේ දෙසැම්බර් මාසයේ ස්පාඥ්ඥයේ අත්ලාන්තික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු වූ ”එරිකා” අනතුරින් උගත් පාඩම් යොදා ගනිමින් එම කලාපයේ රටවල් විසින් සමුද්‍රීය ආරක්ෂක සැලසුම් සංවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. මේ අනුව වන්දි ලබා ගැනීම සඳහා සියලූ‍ හානි ප්‍රභවයන් (පරිසර, ධීවර හා සංචාරක) ඇතුළත් කර ඇති අතර, එවැනි සිදුවීම් වලදී යොදාගනු පිණීස වන අරමුදලක්ද එම රටවල් විසින් පිහිටුවීමට කටයුතුකොට ඇත. වඩ වඩා සිය වරායන් නාවුක කටයුතු සඳහා විවෘත කිරීමේ අරමුණින් පසුවන ශ්‍රී ලංකාවද මෙබඳු අනතුරුවලට මුහුණදීම සඳහා සිය සීමිත දැක්ම පුලූ‍ල් කිරීම අත්‍යාවශ්‍ය ය. එසේම ජනතාවගේ පාරිසරික සාක්ෂරතාවය ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය වන අතර මෙය පාසල් විෂය මාලාවට ද ඇතුළත් කළ යුතුය. මීළඟ සමුද්‍රීය අනතුර සිදුවන්නේ කවදාද, කොතැනද යන්න අපි නොදනිමු. එහෙත් රට පෙර නොවූ විරූ සිදුවීම් සඳහා සූදානම් විය යුතුය. මන්ද මෙය පළමු අවස්ථාව නොවන අතර පැහැදිලිවම අන්තිම අවස්ථාවද නොවනු ඇත.

අනුරාධි ඞී. ජයසිංහ | Anuradhi D Jayasinhe