සමාජ සංදර්භය තුළ බොහෝ රටවල ජනතාවගේ තත්ත්වය වහල් නෞකාවකට සමානය. එහි ගමනාන්තය ආරක්ෂා සහිත වරායන් නොවන බව පෙනී යන්නේ එය ගමන් කරන අහේතුක මුහුදු මාර්ග නිසාය. එය කුමන හෝ මොහොතක අයිස් පර්වතයක ගැටී මගීන් සියල්ල විනාශ වනු ඇත.’’ෆිනැන්ස් ටයිම්ස් පක්ෂයේ ප්‍රධාන කර්තෘ වන පීටර් මාටින් විසින් ඉදිරිපත් කර ඇති මෙම පුරෝකථනය සෘජු හෝ වක්‍ර ආකාරයෙන් මේ මෙහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අදාළ වන තත්ත්වයකි. දිනෙන් දින ජනතාවගේ හිස මත පැටවෙන කරදර බොහෝමයකටම විසඳුම් ඉදිරිපත් කරන්නට, සංවාද කරන්නට හෝ ප්‍රවාද ගොඩ නැංවීමේ ශක්‍යතාවය පැවතිය ද, සැබෑ තත්ත්වය නම් ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනික බවයි. සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සිදුව තිබෙන්නේ ජනතාවට වන බැවින් පාලකයාගේ න්‍යායාත්මක හෝ ආකර්ෂණීය කාරණා මේ මොහොතේ අස්වැසිල්ලක් නොවන බව පැහැදිලිය. එය කෙටියෙන් දක්වන්නේනම්, හොඳටම කරන්නට හොඳම ක්‍රමය/ප්‍රවේශය තෝරන්නට ගොස් කබලෙන් ලිපට වැටීමට සමාන තත්ත්වයකි.

මේ දිනවල බොහෝ දෙනා සැම්බියාව පිළිබඳව සංවාද කරන්නට පටන් ගෙන තිබේ. සැම්බියානු ආකෘතික කතිකාව ගොඩ නැගෙන්නේ අද ඊයේක නොවේ. පවතින දේශපාලන ක්‍රමය තුළ උගතුන්, වියතුන්, සගයින් හා ඥාතීන් යන කුලකය නියෝජනය කරමින් ජනතාවගේ සැබෑ හා ආකර්ෂණීය නායකයාගේ භූමීකාවට සැම්බියාව ආදරය කරන්නට පටන් ගත් දා සිට ඔවුන්ට කණකොකා හැඩුවේය. මේ මොහොතේ සැම්බියානු ප්‍රවේශය ශ්‍රි ලංකාවට ආදේශ කරන්නට හැකි වුව ද, මෙම ගැටලුවලට පසුබිම සැකසෙන්නේ දිනෙන් දින අභියෝගයට ලක්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පරිපාලනයේ පවතින දුර්වලතා හා මතභේදකාරී තත්ත්වයන් හේතූවෙන් බව ද සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකාවට මේ ක්ෂණයේ ආමන්ත්‍රණය කරන්නට සිදුව තිබෙන ගැටළු ප්‍රමාණය අසීමාන්තිකය. දිනෙන් දින රුපියල, සතයට ලෝක වෙළපළ තුළ බාල්දු වන පසුබිමක, රුපියල්වලට වැඩි වටිනාකම් ආරෝපණය කරන්නට උත්සාහ දැරීම සැබෑ ලෙසම තාර්කික නොවන ක්‍රියාවලියකි. ජාත්‍යන්තරය හමුවේ අභියෝග රැසකට මුහුණ දෙන මේ අවස්ථාවේ, බංග්ලාදේශයෙන් හෝ ණය ලබා ගෙන ප්‍රශ්න විසඳා ගත හැකි නම් එය එක් අතකට සුභවාදී ප්‍රයත්නයකි. චීනය හා ඉංදියාව අතර පවතින ප්‍රතිවිරෝධතාවයන් දිනෙන් දින සීතල යුද්ධයකට හැරෙමින් පවතින පසුබිමක චීන ජනාධිපතිවරයා තමන්ගේ වැඩවලට ඇගිලි ගැසීමෙන් ඇති වන ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳව ද, ලෝක ජනතාවට අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කරයි. අනෙක් පසින් ආසියානු කලාපයේ නෛතික භාරකරුවා ලෙස තමන්ගේ තත්ත්වය රැකගන්නට ඉංදියාව දරන්නේ මහත් පරිශ්‍රමයකි. මෙය පරායත්තතා න්‍යාය (Dependency Thoery) තහවුරු කිරීමේ අවස්ථාවක් බව කිව යුතුය. ලෝකයේ කේන්ද්‍රීය භූමිකාවක් රග දක්වන ඉංදියාව හා චීනය හමුවේ පරිධියේ :ඡුැරසචයැරහ* සිටින සැම්බියාව හා ශ්‍රී ලංකාව චණ්ඩ මාරුතයකට හසුව තිබෙන බව එම න්‍යායේ ප්‍රායෝගික පැහැදිලි කිරීමයි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලෝකයටම සහල් අපනයනය කළ ශ්‍රී ලංකාවට, කාගේ හෝ වරදකට සහල් ආනයනය කිරීමේ දිට්ඨධම්මවේදනීය කර්මයට මුහුණ දෙන්නට සිදුව ඇත. 2011 සිට 2017 දක්වා සැම්බියාවේ බලය දැරූ මයිකල් සාටා (Michael Sata) ගෙන ගිය ආකර්ෂණිය පවුල් පාලනය ජනතා සිත් සතන් සංවේදී කරන්නට සමත් වූ නමුදු, එහි භයානක ප්‍රථිඵල ජනතාවට අත් විඳින්නට සිදු වන විට සැම්බියාව චීනයට වෙන්දේසි වී හමාරය. එහි අවසාන ප්‍රථිඵලය වූයේ සමස්ත ජනගහනයෙන් 64% කට දරිද්‍රතාවය සමග සටන් කරමින්, අනාගතය නොව තමන්ගේ දෛනික ජීවිතය වෙනුවෙන් ජීවත්වන්නට සිදු වීමයි.

වසර ගණනාවක පෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය සැබෑ වශයෙන්ම ඛේදජනකය. ජාත්‍යන්තර දේශපාලනය තුළ පවා කේන්ද්‍රීය භූමිකාවක් නියෝජනය කළ ශ්‍රී ලංකාව අද වන විට ජාත්‍යන්තරය ඉදිරියේ අභියෝග ගණනාවක සිර වී අවසන්ය. බුද්ධිමතාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා විවිධ කුලකයන් නියෝජනය වන වත්මන් දේශපාලනික පරිධිය ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරන්නට ගොස්, ජනතා ආඛ්‍යානයෙන්ම සඳහන් කරන්නේනම්, හොඳටම කරන්නට ගොස් සියල්ල වරද්දාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වටිනා සම්පත් බොහෝමයක් මේ තත්පරයේත් විවිධ බලවේගයන් සමග හොර රහසේ වෙන්දේසි වෙමින් තිබේ.

මේ ප්‍රශ්න විසඳන්නට හොඳ යැයි සැලකෙන නව බලවේගයන් දේශපාලන භූමියට අවතීර්ණ වුව ද, තර්කය වන්නේ එවැනි බලවේගයන් කී දෙනෙකු හොඳටම කරන්නට ගොස් ගෙදර ගියේ ද යන්නයි. තමන්ගේ ධූර කාලය තුළ ජනතාවගේ සාරය උරා බී, රටම වෙන්දේසි කොට, ගෙදර යන්නට සිතා සිටින්නේ නම් එය සැබෑ වශයෙන්ම සමූහ ඝාතනයකට සමාන ක්‍රියාවලියකි. මන්දයත් නැවත බලයට පත් වන්නේ කිනම් පාර්ශ්වයක් වුව ද, ඔවුන්ගෙන් කිසි විටකත් අනුන්ගේ පව් සේදීමක් අපේක්ෂා කළ නොහැකි බැවිනි.

තමන් හොඳටම කරන්නට උත්සාහ දරන බව හෝ එසේ සිදු කරනා බව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට යාම අත්‍යන්තයෙන්ම හාස්‍යජනක තත්ත්වයකි. කොරෝනා වසංගතය තුළ රටකට මුහුණ දෙන්නට සිදුව තිබෙන ගැටළු මේ මොහොතේ බලපැවැත්වුව ද, එයට සුදුසු විසඳුම් සොයන්නට සුදුසු පුද්ගලයන් පත් කර ගැනීම වැදගත්ය. එසේ නොමැතිව කටුස්සාගේ කරේ රත්තරන් පළඳවන්නට යත්න දැරීමෙන් සිදු වන්නේ වසංගතය වුව ද ජනතාව මට්ටු කරන්නට උත්සාහ දැරීමයි. හරියට හෝ හොඳටම කරන්නට උත්සාහ දැරීම සෑම විටම අගය කළ යුත්තකි. නමුත් ජනතාව දේශපාලන වශයෙන් ආකර්ෂණීය ෆැන්ටසියක අතරමං කොට, සැම්බියානු ආකෘතිය ඇසට හුරු කරන්නට උත්සාහ දරන්නේ නම් තවත් සැම්බියාවක් නොබෝ දිනකින් බිහි වන්නට තිබෙන සම්භාවිතාවය ඉතා ඉහළය.

ජාත්‍යන්තරය ඉදිරියේ සුවිශේෂී භූමීකාවක් රග දැක් වූ ශ්‍රී ලංකාව ආර්ථිකමය, සමාජීය, දේශපාලන වශයෙන් අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදුව තිබෙන මේ මොහොතේ පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් එදා පොරොන්දු වූ ආකාරයට, යථාවාදී තථාකාරී ගුණය ප්‍රායෝගිකව සනාථ කළ යුතුය. එසේ නොමැතිව සැම්බියාවට සම වී, චීනය හෝ ඉංදියාවට ගැති වී, ජාත්‍යන්තරය ඉදිරියේ අභියෝගයට ලක් වන්නේ නම්, උක්ත පැහැදිලි කළ ආකාරයට සිදු වන්නේ ශ්‍රී ලාංකික නෞකාව විනාශ වී යාම පමණි. එවිට නැවේ කපිත්තාට හෝ අයිතිකරුට දඩුවම් දීම හෝ වන්දියක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, හැට නව ලක්ෂයක් ලෙස පවරා දුන් හිමිකම සම්බන්ධයෙන් මේ මොහොතේ සිට ආඩම්බර වෙමින්, අනාගත ඛේදජනක තත්ත්වය ආකර්ෂණීය ලෙස වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සූදානම් විය යුතුය.

සචිනි උමාෂා ගීතාංජලී | Sachini Umasha Geethanjali