iMage;LankaNewsweb

දෙවන වරටත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ විරෝධතාකරුවන් අධිකරණ භූමියේදීම පොලීසිය විසින් නිරෝධායනයට යැයි බලහත්කාරයෙන් රැගෙන යනු ලැබිණ. දෙවන වර ඊට නතු වූයේ ඉකුත් ජූලි 08 වන දින විරෝධතාවට හවුල් වූ ජෝසෆ් ස්ටාලින් ඇතුළු ගුරු සංගම් නායකයින් සමග තවත් පිරිසකි.

පොලීසියේ මේ නිර්ලජ්ජිත හිතුවක්කාර ක්‍රියාව, ආණ්ඩුවේ අනුදැනුම හා තීන්දුවක් මත මිස දෙවරක් අධිකරණ භූමියක සිදුනොවෙනු ඇතැයි අපි කියමු. මෙය අධිකරණ ක්‍රියාවලිය නොතකා තම දේශපාලන තීන්දුවලට විරුද්ධ වන්නට ආණ්ඩුව කිසිවකුට ඉඩ නොදෙන්නට ගනු ලැබ ඇති දැඩි තීන්දුවක් බැව් විවෘතව ප්‍රකාශ කෙරෙන්නකි.

පෞද්ගලිකව හා සාමුහිකව, සාමකාමී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරනු ලැබූවකි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව විවේචනය කිරීමේ හා ආණ්ඩුවේ තීන්දු වලට එරෙහි වන්නට ඇති අයිතිය ද ඇතුළත්වන මූලික අයිතියකි. එය සාමුහිකව හා සාමකාමීව බුක්ති විඳින්නේ කෙසේදැයි තීන්දු කරන්නේ ජනතාව මිස ආණ්ඩුව හෝ පොලීසිය නොවේ. ඒ සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ ඉතා පැහැදිලි තීන්දු ඇත. ඉන් වඩාත්ම සවිස්තරාත්මක තීන්දුව දෙනු ලැබ ඇත්තේ 1993 පෙබරවාරියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධීරරත්න හා රාමනාදන්ගේ පූර්ණ එකඟගත්වය ඇතිවය.

”අද මර්දනය කිරීම, තවත් දවසක විනාශකාරී ප්‍රචණ්ඩ පුපුරා යෑමකට හේතු විය හැකිය”

එහි සඳහන් අයුරු විනිසුරු ප්‍රනාන්දු තීන්දු කර ඇත්තේ,

“ව්‍යවස්ථාවෙහි 14 (1) (අ) යටතේ වන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බැව් මම දකිමි. ආණ්ඩුවක හෝ දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති හා වැඩසටහන් සඳහා සහාය දීමට හෝ විරුද්ධ වන්නට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මෙහි පදනම වන්නේය. සියලු සිවිල් හා දේශපාලන ආයතනයන්හි පදනම ලෙස පවතින නිදහස හා සාධාරණත්වය පිළිබඳ මූලික ප්‍රතිපත්තීන් උල්ංලඝණය නොකර, කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කළ නොහැක”

යනුවෙනි.

ධීරරත්න හා රාමනාදන් විනිසුරුවරුන්ගේද එකඟත්වය ඇතිව විනිසුරු ප්‍රනාන්දු එහි තවදුරටත් සඳහන්කර තිබූයේ “යුක්ති සහගත හා සාමකාමී විසම්මුති ප්‍රකාශන අද මර්දනය කිරීම, තවත් දවසක විනාශකාරී ප්‍රචණ්ඩ පුපුරා යෑමකට හේතු විය හැකිය” යනුවෙනි.

“ජන ඝෝෂාව” සහ මහින්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සහතික කෙරෙන මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන මේ ඓතිහාසික නඩු තීන්දුව ගෞරවයෙන් යුතුව පිළිගත් එදා විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ට, විශේෂයෙන් අගමැති මහින්ද රාජපක්ෂට අමතක විය නොහැක්කේ එය ඔහුගේ මූලිකත්වයෙන් ජනාධිපති ප්‍රේමදාසගේ ආණ්ඩුවට විරුද්ධව පැවැත් වූ “ජන ඝෝෂාව” මර්දනය කළ ඉංගිරිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව ගොනු කළ අංක 468/92 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වූයෙනි.

නිරෝධායනයට යැයි පොලීසිය විසින් බලහත්කාරයෙන් පුද්ගලයින් රැගෙන යාමත් විනිසුරු මාක් ප්‍රනාන්දු හා අනෙක් විනිසුරුවරුන් තීන්දු කළ “සියලු සිවිල් හා දේශපාලන ආයතනයන්හි පදනම ලෙස පවතින නිදහස හා සාධාරණත්වය පිළිබඳ මූලික ප්‍රතිපත්තීන් උල්ංලඝණය කරමින්” ව්‍යවස්ථාවෙහි 14 (1) (අ) යටතේ වන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. නිරෝධායනට ලක් කළ යුතුද නැතිද යන්න තීන්දු කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසින් ය. පොලීසියට එවැනි බලයක් නැත. එවගේම අධිකරණයෙන් නිදහස් කරනු ලබන පුද්ගලයින් රඳවා තබා ගැනීමටද පොලීසියට බලයක් නැත.

”අධිකරණයට කරනු ලැබූ බරපතල අපහාසයක්”

විරෝධතාකරුවන් රඳවා තැබීමට පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් ඇප ලබා දුන්නවුන් මෙලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොමැතිව නිරෝධායනයට යැයි අධිකරණ භූමියේදීම බලහත්කාරයෙන් රැගෙන යාම ඉතා පැහැදිලිව අධිකරණයට කරනු ලැබූ බරපතල අපහාසයක් යැයි ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් අප සංගම් විශ්වාස කරන අතර, ඒ කාරණාව පිළිබඳව ඊට අදාල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතුව ඇතැයි අප සංගම් තරයේ විශ්වාස කරමු.

ඒ සමග අප සංගම් ඉතා පැහැදිලිව කියනුයේ උග්‍රවන ආර්ථික අර්බූදයට සහ කොරෝනා පාලනයට සැළසුම් නොමැතිව අසංවිධානව මුහුණ දෙන ආණ්ඩුවේ වත්මන් පැවැත්මට එරෙහිව සමාජයේ විවිධ ජන කොටස් ඉදිරියේ ද විරෝධතාවන් සඳහා ඉදිරිපත් වනු ඇත. ඒ ජනතාවට ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත් එළෙස ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. එයට ආණ්ඩුව මුහුණ දිය යුත්තේ ජනතා විරෝධයන් මතුවන කාරණා නැවත සළකා බැලීමෙන් මිස, ඒවා ව්‍යවස්ථා විරෝධීව මර්දනය කිරීමෙන් නොවන බවය.

විරෝධතා එසේ මර්දනය කිරීම, මාක් ප්‍රනාන්දු විනිසුරු සඳහන්කර ඇති අයුරු “යුක්ති සහගත හා සාමකාමී විසම්මුති ප්‍රකාශන අද මර්දනය කිරීම, තවත් දවසක විනාශකාරී ප්‍රචණ්ඩ පුපුරා යෑමකට හේතු විය හැකිය”. එනිසා දැනට බලහත්කාරයෙන් නිරෝධායනයට යැයි රඳවා ගෙන ඉන්නා විරෝධතාවන්ට හවුල් වූ සියලු දෙනා වහා නිදහස් කරන මෙන් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් අප සංගම් බලකර සිටින්නෙමු.

-වෘත්තීය සමිති එකමුතුව

*නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
*ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
*ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය
*අන්තර් සමාගම් සේවක සංගමය
*ජාතික සේවක සංගමය
*ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය
*ලංකා වතු සේවක සංගමය
*ලංකා වෘත්තීය සමිති සම්මේලනය
*එක්සත් කම්කරු සම්මේලනය
*වතු වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය