iMage: Denis Farrell/AP

එන්නත් අසමානතාවය අවම කොට වසංගතයේ අවසානය දැක්මට නම් නියම ‘ගෝලීය සෞඛ්‍ය ආන්ඩුකරණ යාණ්ත්‍රණයක්’ (Global Health Governance) පිහිටුවිය යුතු බව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂඥයෙක් වන පැරිසියේ සයන්ස්-පෝ ආයතනයේ මහාචාර්ය බර්ත්රාන්ඩ් බදී ප්‍රංශයේ ලිබරේසිඔන් පුවත්පත හා කළ සම්මුඛ සාකාච්ඡාවකදී පවසයි. එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පළකළ මූලික අදහස් මෙසේයි.

Bertrand Badie
පවතින කාර්මික එන්නත් නිෂ්පාදන ක්‍රීඩාවේ වෙනසක් කිරීමට අපට නියම ගෝලීය සෞඛ්‍ය ආණ්ඩුකරණ යාන්ත්‍රණයක් අවශ්‍යයයි. එන්නත් නිෂ්පාදනය ජාතික අවශ්‍යතා පදනම් කරගත් ප්‍රශ්නයක් වශයෙන් සලකන තාක් කල් මේ එන්නත් අසමානතාවය දිගටම වර්ධනය වනු ඇත. එක්සත් ජනපදය, ප්‍රංශය සහ ඊශ්‍රායලය වැනි රටවලට බුරුන්දියට හෝ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට හෝ වඩා වයිරසය හා සටන් කිරීමට අවශ්‍ය සම්පත් තිබේ. ප්‍රවාහනය සහ විදුලි සංදේශනය වැනි ක්ෂේත්‍ර සඳහා දැනටමත් ගෝලීය ආන්ඩුකරණ ක්‍රම තිබේ. ඉතින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට තවම එවැන්නක් නැත්තේ ඇයි.? ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනට ඇති බලය ප්‍රමාණවත් නොවේ. එනිසා අවශ්‍ය බලය ලබාදී එහි හැකියාවන් තවත් ශක්තිමත් කළ යුතුයි. එන්නත් කිරීම සහ මුව ආවරණ පැළඳීම අගය කළ යුතු නමුත් නිසි ගෝලීය සෞඛ්‍ය ආණ්ඩුකරණයක් ඇති කරන තාක් මේ වසංගතය නොනවතිනු ඇත.

අවදානමට ලක්වී ඇති පුද්ගලයන් තුන්වැනි වාරයටත් එන්නත් කිරීමට දැනටමත් බටහිර රටවල් කිහිපයක්ම සූදානම් වන නමුත් ඇතැම් අව වරප්‍රසාදිත රටවල එන්නත් කිරීමේ මුල් අදියර දියත් කර ඇත්තේද ඉතා මන්දගාමීවයි. ඒ අතරින් වැඩිම වන්දිය ගෙවන්නේ ජනගහණයෙන් 2% කටත් අඩු ප්‍රමාණයක් එන්නත් වාර දෙක ලබා ඇති අප්‍රිකාවයි. එහෙත් අවසානයේදී උතුරේ රටවලටත් එහි ඵලවිපාක විඳීමට සිදුවනු ඇත.

ඇති වී තිබෙන අසමානතා වලට එරෙහිව සටන් කිරීමට කෙබඳු ආකාරයේ ජාත්‍යාන්තර නියාමන ක්‍රම අවශ්‍ය ද යන්න පිළිබඳ අදහසක් මේ අර්බුදය විසින් අපට පෙන්වා දී තිබේ. ලෝකය ගෝලීය වශයෙන් කිසියම් ප්‍රශ්නයකට මුහුණ දුන් හැමවිටම විෂමතාවයන් පිළිබඳ සමස්ත යාන්ත්‍රණයම දිග හැරෙන බව අප දැක තිබේ. එයට උදාහරණයක් ලෙස දේශගුණ විපර්යාසය නිසා ඇතිවෙන ප්‍රතිවිපාක වැඩියෙන්ම විඳවන්නේ දකුණේ සහ විශේෂයෙන්ම අප්‍රිකාවේ රටවල් වීම පෙන්වා දිය හැකිය. කෝවිඩ් -19 වසංගතය සම්බන්ධයෙනුත් එය එසේමයි.

ගෝලීය සෞඛ්‍යය අණ්ඩුකරණ යාන්ත්‍රණයක දැඩි අවශ්‍යතාවය සඳහන් කරමින් මහාචාර්ය වරයා පෙන්වා දුන්නේ ලෝකවාසී ජනතාවට එන්නත් දෙකම ලබාදීමට අවශ්‍ය එන්නත් බිලියන 15 නිපදවීමට තරම් ධාරිතාවයක් ප්‍රධාන නිෂ්පාදන සමාගම්වලට නැති බැවින් එන්නත් නිපදවීමෙ ඒකාධිකාරය අවසන් කොට නිපදවිය හැකි සියලු සමාගම්වලට එන්නත් නිපදවීම සඳහා අවශ්‍ය ආධාර ලබාදිය යුතු බවයි. ඒ සඳහා අන් අයටත් එන්නත් නිෂ්පාදනය කළ හැකිවන ලෙස ප්‍රධාන පර්යේෂණායතන සතු බුද්ධිමය දෙපළ හිමිකම් අත්පත් කරගෙන අනෙකුත් අය අතර බෙදා හැරිය යුතුය. මේ නව නියාමන කටයුත්ත ඉටු කිරීමේ බලය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.

විජයානන්ද ජයවීර | Wijayananda Jayaweera