iMage: vikalpa.org

”වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත. එහෙත් දින 100 ය ජාතිවාදී යුද්ධයකින් පසුව අද රුවැන්ඩාවේ ජාතීන් බෙදා වෙන්කල ජාතිකත්වයන් සම්පුර්ණයෙන්ම අහෝසි කර ඇත.”

===================
රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු.
===================


1983 දී අපේ රටෙි ඇතිවුණු ජාතිවාදී ප්‍රහාර වැන්නක් නැවත කිසිදාක යළි නොවීම උදෙසා කල යුත්තේ කුමක්ද යන්න අප ගැඹුරු ලෙස සාකච්ඡා කර ගත යුතුයි. මම හිතන්නෙ මේ සිද්ධ වෙන්නෙ ඒක.

මම කැමතියි මෙිකට මම ලබපු අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්න. මීට වසර 25 කට පෙර වාර්ගික වෙනස්කම් පදනම් කරගත් මහා ජන සංහාරයක් සිදුවුනු රුවන්ඩාව නැමති කුඩා අප්‍රිකානු රටේ අත්දැකීම් තේරුම් ගැනීමේ භාග්‍යය මට ලැබුනා. ඒ මීට සති දෙකකට පෙර නාට්‍ය කටයුත්තක් සදහා ඒ රට ට ගිය අවස්ථාවක.

රුවන්ඩාව කියන්නෙ අපේ රට වගේම ස්වාභාව සෞන්දර්යෙන් අනූන රටක්. ඒ වගේම ඒක කාලයක් බෙල්ජියමට යටත් වෙලා තිබුණ රටක්. මේ අධිරාජ්‍යවාදීනුත් ඊට පසුව බලයට පත්වූ දේශිය නායකයනුත් වැපිරූ සහ උසිගන්වමින් තිබූ ජාතිවාදය පුපුරා ගියේ එක්දහස් නමසිය අනූහතරේ. එවකට ඒ රටෙි හිටිය බහුතර ”හුටූ” නැමති ජනවර්ගය 10% ක් වු ”ටුට්සි” නැමති ජනවර්ගය කපා කොටා තිරිසන් ලෙස මරා දැමුවා දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. ඒ ජන සංහාරයත් සමග මුලු රුවන්ඩාවම සුනුවිසුණු වෙලා ගියා. මෙි සියල්ල සිද්ධවුනේ දින 100 ක් තුළයි. ඒ දින සියය පෘතුවියේ අදුරුතම දින 100 ලෙස ඉතිහාසය සටහන් තබා තියෙනව. නමුත් තවත් අවුරුදු 25 කට පස්සෙ රුවන්ඩාව අද රටක් හැටියට අත්පත් කරගත් දේ ආශ්චර්යමත්. අද ඒ රටේ කිසිවෙක් හුටු, ටුටුසි කියන ජාතිකත්වයන්ගෙන් තමාව හදුන්වාගන්නෙ නෑ.

අගතිවාදි ජාතිවාදි හා ආගම්වාදී සංකල්ප රටෙන් තුරන් කිරීම සදහා සිවිල් යුද්ධයෙන් පසුව එරට දේශපාලකයන් සෘජු නිර්භීත පියවර ගණනවක් පසු කලා. ඔවුන් කළ ප්‍රථම කාර්යය වුයේ හුටූ සහ ටුට්සි කියන ජාතිකත්වයන් දෙකම රටේ ජනතාවගේ හැදුනුම්පත් වලින් ඉවත් කිරීම. ජාතිවාදය උසිගන්නවන එයට ශක්තියක් විය හැකි අදහස් සහ වචන පාසැල් පෙළ පොත්වලින් ඉවත් කලා. රාජ්‍ය පාලනයට හුටූ සහ ටුට්සි ජන කොටස් දෙකම පත්කර ගත්තා.

ඒ අපකීර්තිමත් ජන සංහාරයෙන් වසර 25 කට පසු රුවන්ඩාවේ අද පරපුරේ තරුණියකගෙන් හෝ තරුණයෙක්ගෙන් ඔබ ඇසුවෝත් ඔහු හෝ ඇය හුටූ ද ටුට්සි ද කියලා, එයාල කියනව අභිමානයෙන් යුතුව නෑ මම රුවන්ඩා ජාතිකයෙක්මි කියල. ආගමික කණ්ඩායම් හෝ ජනමාධ්‍ය ජාතිවාදය ඇවිස්සීම අද ඒ රටේ බරපතල රාජ්‍යය විරෝධී ක්‍රියාවක්. එයට නීතිය මගින් දැඩි දඩුවම් ලබා දෙනව.

අපි තවමත් ජාතිවාදය එක්ක හැප්පි හැප්පි ඉන්දැද්දි, අපේ ප්‍රධාන ප්‍රශ්නය ආහාර, නිවාස, රැකියා, අධ්‍යාපන හෝ සෞඛ්‍ය නොවී ජාතිවාදය වෙද්දි මේ මොහොතෙ රුවන්ඩාවේ මිනිස්සු වෙහෙස මහන්සි වෙන්නෙ, කතාකරන්නෙ, කොහොමද අපි පරිසරය ලස්සනට තියාගන්නෙ, කොහොමද අපි අධ්‍යාපනය හා සෞඛ්‍ය මීට වඩා දියුණු කරන්නෙ. කොහොමද අපි බහුතරයක් මිනිස්සු දුක් නොවිද තියාගන්නෙ. අන්න ඒවයි දැන් දැන් එයාලගෙ මුලික ප්‍රශ්න.

කලු ජූලියට වසර 36කට පස්සෙත් අපේ රට අද ඉන්නෙ කොතැනද කියල කල්පනා‍ කලොත් අපි අදටත් මේ මොහොතෙත් ජාතිවාදී ආගම්වාදී බෙදීම්වලින් කුලල් කා ගනිමින් සිටිනවා. තවමත් අපේ ප්‍රධාන මාතෘකාව ඒක. රටේ හෝ අපේ වෙන කිසි ප්‍රශ්නයක් කතා කරන්න අපිට වෙලාවක් හෝ ඉඩකඩක් නෑ. මේක කොයිවෙලාවෙ ජාතිවාදී කොලාහලයක් ආගම්වාදී කෝලාහලයක් ඇති වෙයිද කියලා තැතිගත්තු මිනිස්සු ඉන්න රටක්. ඒ ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවන්නෙ ප්‍රධාන වශයෙන් මෙරට ඇතැම් මහනායක හිමිවරු සහ අසික්කිත ලෙස මිත්‍යාව වපුරන මේ රටේ ජනමාධ්‍ය.

නදී කම්මැල්ලවීර | Nadie Kammallaweera
(උපුටා ගැනීම – සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ, කලා උළෙලක නදී කම්මැල්ලවීර කල දේශනයකි )