දශක හයකට වැඩි කාලයක් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත බොහෝ කමිටු, කොමිෂන් සභා සහ ආණ්ඩු විසින් සාකච්ඡා කර ඇත. නීති සංශෝධන සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇතත්, එය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණෙන නිසා දිගින් දිගටම මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමයින් බොහෝ ගැටලුවලට මුහුණ දෙති.

ඒ සමගම, මේ සම්බන්ධ සාකච්ඡාවලදී, බලපෑමට ලක්වන මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ අත්දැකීම්, සැලසුම් සහගත ලෙස, පිරිමින් විසින් නායකත්වය උසුලන සංවිධාන, දේශපාලනඥයින්, ගතානුගතික පුද්ගලයින් විසින් නොසලකා හරින අතර, බලපෑමට ලක්වන අය නින්දාවට හා තර්ජනවලට ද ලක් වේ. ඒ වගේම, ඔවුන් කිසි විටෙකත් පීඩාවට ලක්වුනු මුස්ලිම් කාන්තාවන්, ගැහැණු ළමයින් දෛනිකව ජීවිතය ගත කරන්නේ කෙසේද යන්න ගැන කිසිම උනන්දුවක් දක්වා නැත.

එසේම මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ඇති බහු විවාහයට ඉඩ සලසන ප්‍රතිපාදන අහෝසි කිරීම ද දිගින් දිගටම හඬ නැගෙමින් පවතී. මුස්ලිම් විවාහ නීති පිළිබඳ කැබිනට් යෝජනාවට ද බහු විවාහය අහෝසි කිරීම ඇතුළත් වේ. විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින වින්දිත කාන්තාවන්ගෙන් බහුතරයක් තම පවුලේ ඇතිවෙන ගැටලුවට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ බහු විවාහයයි. මෙම බහුවිවාහ නිසා එම කාන්තාව සහ/පිරිමියා පමණක් නොව ඔවුන්ගේ දරුවන්ද විවිධ ආකාරයෙන් මානසිකව පීඩාවට පත් වේ.

මෙසේ බහු විවාහයන් නිසා මානසික පීඩාවට පත් වූ දරුවන් පිළිබඳ කෙටි චිත්‍රපටයක් පහත දැක්වේ.

##

මම විවාහ වුණේ 1998 දී. අපි දෙන්නා දික්කසාද නොවුණත් 2009 දී එයා මටත් නොකියා වෙනත් කෙනෙක් එක්ක විවාහ වුණා. එයා මම මැරිලා කියලා තමයි විවාහ වෙලා තියෙන්නේ. ඒ වෙද්දි අපේ ලොකු දරුවාට අවුරුදු 10 යි. අවුරුදු පහක් වයස මගේ දෙවැනි පුතා අසනීපයෙන් ඉන්නේ. අපේ තුන්වැනි දරුවගෙ වයස දවස් 54 යි.
මම පාඩම් කරද්දී මගේ හිත පවුල් ප්‍රශ්න වලින් පිරිලා යනවා. හිත එක්තැන් කර ගන්න අමාරුයි. මට හේතුවක් හිතාගන්න බැහැ. සමහරවිට තාත්තා නිසා වෙන්න ඇති. වෙන කාටවත් වැරැද්දක් කියන්න බැහැ. කැම්පස් යන්න රිසල්ට් ගන්න බැරි වුණේ ඒකයි. මම ජීව විද්‍යාව කළේ. විභාගෙට කලින් දවසෙත් මම නීතීඥ කාර්යාලෙට ගිහින් තියෙනවා. මම පාඩුවෙ හිටියත්, එයා හැමතිස්සෙම ප්‍රශ්න ඇති කරනවා. දැන් මම නිදහසේ පාඩම් කරලා කැම්පස්නුත් ගියා. ඒත් නැතිවෙච්ච කාලය ආයෙ ගන්න විදියක් නැහැ. මට ඒ කාලේ අවධානයෙන් පාඩම් කරන්න පුළුවන් වුණා නම් මීට ගොඩක් කලින් මම විභාගෙ පාස් වෙන්නේ. මෙච්චර කල් ‍ගත නොවුණා නම් මගේ ජීවිතේ තව වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

ලොකු ළමයි දෙන්නව පැත්තකින් තියන්නකො. පොඩිම පුතාට මොනවත් තේරෙන්නේ නැහැ. දවසක් එයා ඉස්කෝලේ ගිහින් ඇවිත් කිව්වා අනිත් ළමයින්ගේ තාත්තලා වයසින් අඩුයි, ඒත් අපේ තාත්තා වයසයිනේ කියලා. (දරුවා පාසල් ගෙන ගොස් තිබුණේ මවගේ පාර්ශවයේ සීයා විසිනි). “මගේ (සීයා) තාත්තා විතරයි පුස් බයිසිකලෙන් එක්ක යන්නේ. අනිත් තාත්තලා අතින් අල්ලගෙන ඉස්කෝලෙ ඇතුලටම එක්කගෙන යනවා” එයා කියන්නේ එයාගෙ (ජීව විද්‍යාත්මක) තාත්තා එයාව දැකලා කතා නොකර යනවා කියලා. එයා කියන්නේ එයාව එක්කගෙන යන්න (සීයා) තාත්තා පැමිණෙන තෙක් එයා බලා ඉන්නවා කියලා. තාත්තා නැති කමින් මුහුණදෙන අත්දැකීම් ගැන එයා තවමත් කියනවා.

මගේ අම්මා නඩු විභාගයට ගියේ මම අම්මව පොළඹවා ගත්තු නිසා බව එයා තේරුම් ගෙනයි තියෙන්නේ. එයා කියන්නේ මම ඕනෑවට වඩා ඉගෙන ගෙන තියෙන නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම කියලා. එයා මට පිහියෙන් අනින්නත් ආවා. ඉගෙන ගන්න එපා කියලා, ඉස්කෝලේ ගාස්තු ගෙවන්නත් බෑ කිව්වා. මම ක්වාසි අධිකරණයට ගියාමත් එයා කිව්වේ මම විභාගෙ ෆේල් වුණු නිසා ඉගෙන ගන්න ගෙවන්න බැහැ කියලා. මම ෆේල් වුණේ නැහැ. ගැලපෙන පාඨමාලාවකට යන්න ලකුණු මදිවුණා විතරයි.

මිනිස්සු හිතාගෙන ඉන්නේ කසාද බඳින කෙල්ලට විතරයි ප්‍රශ්න එන්නේ කියලා. ඒත් අපිට කියන්න බැරි ප්‍රශ්න ගොඩකට අපිත් මුහුණ දෙනවා. අපේ අම්මලාටවත් කියන්න බෑ මොකද එයාලත් අපි ගැන දුක් වෙයි. ඉතින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ දරුවන්.

මම ආයතන කිහිපයකින් ණය ලබා ගත්තා. අපේ ආගම අනුව පොලී ගෙවන එක වැරදියි කියල සමහර අය කියනවා. ඒක වැරදියි කියනවා මිසක් උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඉතින් මම රෙදි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. මට ඒකට සල්ලි ඕන වුණා. ඉතින් මම පොළිය එක්ක ණයක් ගත්තා. දැනටමත් මම හැඳුනුම්පත් තොරතුරු දුන්නාම තව සල්ලි ගෙවන්න තියෙන බව පෙන්වනවා. ඇයි මම පොලී ගෙවන්න වෙන තත්ත්වයකට පත් වුණේ? එයා කීප සැරයක්ම කසාද බැඳපු නිසා. මම ණය ගන්න අඳුරන්නේවත් නැති ණය දෙන අය යි, තව නාඳුනන අයයි ළඟටත් ගියා. මම එයා එක්ක ජීවත් වෙද්දි කවදාවත් ණය ගන්න අයව හොයාගෙන ගියේ නැහැ. අම්මලා එක්ක ඉඳිද්දිත් මට ණය ගන්න ඕන වුණේ නැහැ. දරුවන්ගේ වන්දි මුදල් පවා එයා හරියට ගෙවන්නේ නැහැ. එයා ඒක හැම මාසෙම ගෙවන්නේ නැහැ. ගෙවන එක මඟහරින නිසා තව රු. 200,000 ක විතර හිඟ තියෙනවා. එයාට ගොවිපළකුයි තව දේපළ එහෙමත් තියෙනවා.

මගේ සහෝදරයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් තාත්තා නිසා එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයා එළියට යද්දි එයාගෙ යාළුවෝ අහනවා තාත්තා කොහේද කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳලම එයාට හීනමානයක් තියෙනවා. එයා නිතරම කතා කරන්නේ අනෙක් ළමයින්ගේ තාත්තලා ගොඩක් වියදම් කරනවා කියලා. ඒකට එයා ඊර්ෂ්‍යා කරනවා. මේකෙන් එයාගේ අදහස් දැන් වෙනස් වෙලා. හරියට ඉගෙන ගන්නෙත් නැහැ. අපි දන්නවා එහෙම වෙන්න බලපාලා තියෙන්නේ මේ ප්‍රශ්නය කියලා. මටත් වඩා එයාට ඒක බලපාලා. පවුලේ හැමෝම දුක් වෙනවා දක්ෂ ළමයෙක් මෙහෙම අඩු ලකුණු ගන්න එකට.

*මෙම වීඩියෝව මුල්වරට මාට්‍රම් වෙබ් අඩවිය විසින් පළකරන ලද අතර ඉහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි