යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ යොදා ගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර සියයක් පමණ විනාශකර මෙම ජාවාරම සිදු කෙරේ. බැකෝ යන්ත්‍ර හා යාන්ත්‍රික මැණික් ඉල්ලම් සේදුම් යන්ත්‍ර භාවිත කර සංවිධානාත්මක ව මෙම ජාවාරම ක්‍රියාත්මක කරයි.

මෙම නීතී විරෝධී ක්‍රියා හේතුවෙන් අලි – ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළ ම රැකවරණය අහිමි වී එම සතුන් අවට ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් අලි – මිනිස් ගැටුම් අලුතින් නිර්මාණය විය හැකි ය. එපමණක් නොව උග්‍ර නියං සමයක් පවතින මෙම කාල වකවානුව තුළ කුඹුක්කන්ඔයට මැණික් ඉල්ලම් සේදීමේ දී එක් වන අධික රොන්මඩ හේතුවෙන් එහි ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇත.

මෙම සියලු ක්‍රියාවන් සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 2 වන වගන්තියට අනුව 1969 ඔක්තොම්බර් මස 9 වන දින අංක 14875 දරන ගැසට් නිවේදනයට යටතේ හෙක්ටයාර 26418 ක් වන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 5 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැති ව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම ද නීති විරෝධී වෙයි. පනතේ 6 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයේ ශාක විනාශ කිරීම, ඉඩම් එළි කිරීම, පතල් හෑරීම ඇතුළු සියලු ක්‍රියාවන් නීති විරෝධී වේ.


පනතේ 67ආ1 උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. එම ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇප ලබා දීමේ හැකියාව නොමැති අතර පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලබන පුද්ගලයකුට රුපියල් විසි දහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

එපමණක් නොව එම වරද නැවත අවස්ථාවක දී සිදු කර අධිකරණයෙන් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් හතලිස් දහසත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 5 ත් 10 ත් අතර බන්ධනාගාර ගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම පනතේ 59 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරදට ම වරදකරුවකු වන්නේ ය.

නමුත් ඉන්දන අර්බුධයට මුහුණ දී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මෙම නීතී ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වී තිබේ. එහෙත් ජාවාරම්කරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඉන්දන හල් වලින් ඉන්දන ලබා ගෙන අඛණ්ඩ ව ජාතික වනෝද්‍යානය විනාශ කරමින් මැණික් ජාවාරමේ නිරත වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවා යටතට එක් කර ප්‍රමාණවත් පරිදි වාහනවලට ඉන්දන ලබා නොදීම නිසා මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි ව තිබේ. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් මේ සඳහා මැදිහත් නොවීම නිසා පොලීසියේ හා විශේෂ කාර්යය බලකායේ උදව් මත මෙම ජාවාරම මැඩලීම සඳහා යොමු වීමට ද නොහැකි වී ඇත.

අලි – ඇතුන් ඇතුළු ව ඉතා විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන මෙරට සුවිශේෂී ම ජාතික වනෝද්‍යාන සංකීර්ණය තුළ මේ තත්ත්වය ඇති වී තිබීම හා එම තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට හැකියාව නොමැති වීම කණගාටුවට කරුණකි. සංවිධානාත්මක ව සිදු කරන මෙම ජාවාරම මැඩ පැවැත්වීම සඳහා අදාළ සියලු අංශවල මැදිහත්වීම ලබා දිය යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය අහිමි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ දැමීම, දූෂණ හා වංචා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හා එම තත්ත්වයන් මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට දරුණු ලෙස වර්ධනය වී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතර ව මෙම මැණික් ජාවාරම් හේතුවෙන් දැවැන්ත පාරිසරික අර්බුදයකට ද අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වනු ඇත.

සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය