ශ්‍රී ලංකාව තුළ බලපවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) භාවිත කරන ලද දශක කිහිපයක කාල සීමාව තුළ දී එකී පනත අසාධාරණ හා අත්තනෝමතික නීතියක් වශයෙන් බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූ නීතියක් වශයෙන් හැඳීන්විය හැකි ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනු ලබන පුද්ගලයන්ගේ දුක් වේදනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එමගින් අත්ව තිබෙන බලපෑම ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය මගින් ලේඛණගත කර ඇත.

අබු සලීම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් හට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ බලපෑම ඉතා හොඳීන් අත්දැක ඇත. මාස 18 ක් රඳවාගෙන සිටි ඔහුට රැකියාව අහිමි විය. ඔහුගේ දරුවන්ගේ ජීවිතවලට සිය පියාව මගහැරුණු අතර ඔහුගේම ප්‍රජාව තුළින්ම ඔහු අපයෝජනයට හා අනේක හිරිහැරයන්ට මුහුණ දෙන්නට සිදුවිය.

අත්අඩංගුවේ සිටිය දී ඔහුට එල්ල වූ දරුණු පහරදීම්වල වේදනාවන් තවදුරටත් ඔහු අත්විඳින අතර ඔහුගේ නඩු විභාගය දිගින් දිගට කල්ගතවෙමින් තිබිය දී ඔහු එහි තීරණය පැමිණෙන තුරු නොසන්සුන්ව සිටියේ ය.

වයස අවුරුදු 47 ක් වන අබු සලීම් හා වයස අවුරුදු 44 ක් වන ඔහුගේ බිරිඳ වන රාසියා (ඔවුන්ගේ සත්‍ය නම් නොවේ) යන අයගේ උපන් ස්ථාන මන්නාරම වුව ද ඔවුන් දැන් දිවි ගෙවනුයේ කල්පිටියේ ය. 1985 වර්ෂයේ දී ඔහු හා පවුලේ අය බෝට්ටුවක් මගින් ඉන්දියාවට ගොස් ඇති අතර වසර 5ක් ඉන්දියාවේ සරණාගත කඳවුරක වාසය කර ඇත. වර්ෂ 1990 දී ඔහු තම සොයුරිය සමග නැවත කල්පිටියට පැමිණ මෙරට ක්‍රියාත්මක වන ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමග එක්ව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන් හී ආන්තීකරණයට ලක් වූ හා අවතැන් වූවන් අරමුණු කරගනිමින් සිදුකරනු ලබන ව්‍යාපෘති අධීක්ෂණය කර ඇත. 2014 වර්ෂයේ දී දේශියව ක්‍රියාත්මක වන සංවිධානයක කළමණාකරුවකු වශයෙන් එකී සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයේ රැකියාවක් ආරම්භ කර ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් කල්පිටිය ප්‍රදේශයේ රැදී සිට ඇත. ඔහුට සිය රැකියාවෙන් විශාල ආදායමක් නොලද මුත් කල්පිටිය ප්‍රදේශයෙන් සාමාන්‍ය නිවසක් ගෙන සිය දරුවන් සිව්දෙනා ගමේ පාසලට යැවීමට තරම් එකී අදායම ප්‍රමාණවත් වී ඇත. එමෙන්ම සිය ගෙවත්තේ වැලි සහිත පසෙහි එළවළු හා පළතුරු පැළ කිහිපයක් වගා කිරිමට ද ඔවුනට හැකියාව ලැබී ඇත.

කොළඹ සිට කල්පිටිය බලා යමින්-එමින් ගත කළ කාලය බොහෝ සුවපහසු එකක් නොවූ නමුත් සති අන්තයේ දී පමණක් සිය දරුවන් හා පවුලේ සාමාජිකයන් බැලීම සදහා ඔහුට අවස්ථාවක් ලැබුණු නමුත් 2020 මැයි මස 03 වන දින දක්වා එනම් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු තත්ත්වයට පත්වන තෙක් එකී තත්තවය පැවතිණි. ඒ එකී වර්ෂයේ රාමසාන් සමයේ දී සහ උපවාසය අත්හැරීමට මොහොතට පූර්වයෙනි. සිවිල් ඇදුම් ඇඳගත් පුද්ගලයන් පස්දෙනෙකු ඔහුගේ නිවසට පැමිණි අතර, ඔවුන්ගෙන් හැදුනුම්පත ඉල්ලා සිටිය ද ඔවුන් විසින් එය නොපෙන්වා ඇත, ඒ වෙනුවට ඔවුන් ප්‍රකාශ කරන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීමක් සඳහා සලීම් හට ඔවුන් සමගින් කොළඹට එන ලෙස දැඩිලෙස කියා සිටින ලදි. එමෙන්ම ඔවුන් ඔහුගේ නිවස සෝදිසි කිරීමෙන් පසු ලිපි ලේඛණ, දුරකථන දෙකක්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ,හැදුනුම්පත සහ ලැප්ටොප් පරිඝණකය ද රැගෙන ගිය හ. අකමැත්තෙන් වුව ද ඒ වනවිටත් මාංචු දමා සිටි සලීම් ජීප් රථයට නගින ලදුයේ ඔහු හැඳගෙන සිටි ඇදුම් පමණක්ම වන අතර එදිනම ආපසු පැමිණීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. සිය සැමියා ප්‍රශ්න කරීම සඳහා කොළඹට රැගෙන යන බව ප්‍රකාශ කරමින් එකී පිරිස ඔහුගේ බිරිඳට කියවිය නොහැකි සිංහල භාෂාවෙන් ලියවී තිබූ ලිපියක් ලබා දෙන ලදි. ඔහුගේ සිඟිති දියණිය බියට පත්ව හඩන්නට ගෙන ඇත.

සලීම් කියා සිටියේ ”මම දන්නා තරමින් මම වරදක් කළේ නෑ. මම කිසිම නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා නැහැ” යනුවෙනි.

සලීම් අත්අඩංගුවට ගැනීම සඳහා හේතුව වූයේ මත්ද්‍රව්‍ය හෝ අපරාධයකට යොමු නොවී දිළිදු දරුවන් හට පාසල් යාමට සහ ජීවනෝපාය මාර්ග සෙවීමට උපකාර කරමින් ඔවුන්ගේ ජීවිත දියුණු කරලීම සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් අරමුදල් සපයන දේශීය පුණ්‍යාතනයක සේවයේ කිරීමයි. එමෙන්ම ගෞරවණීය මානව හිමිකම් ක්‍රියාධර නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලා එම සංවිධානයට සහය දක්වන ලදි. ඔහුව 2020 අප්‍රේල් 20 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) යටතේ අත්අඩංගුවට ගන්නා ලද, අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වනවිට ඔහුට එරෙහිව සාක්ෂි සෙවීම සඳහා කාර්යබහුල විය.

හිජාස් අත්තඩංගුවට ගැනීමෙන් පසු, ඉදිරියේ දී ඔහුට කරදර විය හැකි බව දැනගත් සලීම් නැවත කල්පිටියට පැමිණ, තමන්ම පොලීසියේ භාරයට පත් විය.

කොළඹට යන අතරමග දී ජිප් රථය සිය සංවිධානයේ කාර්යාලයක් පිහිටා තිබූ මදුරන්කුලියේ දී නතර කරන ලද අතර සිවිල් ඇදුමෙන් සැරසී සිටි පුද්ගලයන් විසින් එය පරීක්ෂා කරන ලදි. එම ස්ථානයේ දී මුන්දල පොලීසියේ නිල ඇදුම් ඇඳගත් පොලිස් නිළදාරීන් දෙදෙනෙක් එකී සිවිල් ඇදුමින් සැරසී ගත් පුද්ගලයන් සමග එක්වූහ.

කොළඹ හා මඩකලපුව යන ප්‍රදේශයන්හි පල්ලි හා හෝටල් හි සිවිල් වැසියන් 253 දෙනෙකු වෙත තුවාල සිදුකරන ලද 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියමින් මෙකී ‘ත්‍රස්තවාදියා’ අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය මාධ්‍යන් ගේ ග්‍රහණයට ගැනීමට මාධ්‍ය ඉදිරිපත් විය. සලීම් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු හා මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන් හසීම් මදුරන්කුලිය කාර්යාලයේ දී අන්තවාදය පිළිබඳ දේශන පවත්වා ඇති අතර, සලීම් විසින් එකී ස්ථානයේ ආයුධ පුහුණුවීම් සංවිධානය කර ඇති බව ද සඳහන් වේ. නමුත් සලීම් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ලද අතර ”එවන් දෙයක් නොතිබුණු බව” ඔහු ප්‍රකාශ කරන ලදි.

මධ්‍යම රාත්‍රීයේ දී ඔවුන් කොළඹට පැමිණියේ මට්ටක්කුලිය පල්ලියේ පිහිටි ගොඩනැගිල්ලේ පිහිටි සංවිධාන කාර්යාලයට ද යාමට ය. සංවිධානයේ තිබුණු වවුචර්, බිල්පත්, ලේඛණ සහ චෙක් පොත් ඔවුන් රැගෙන ගිය හ. පසුව සලීම්ව කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඔහුගේ ඡායාරූප රැගෙන, ඇඟිලි සළකුණු හා ශරීරය සෝදිස් කිරිම්වලට ලක්කර ඇත. ඔහු පැය කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට ලක්කරන ලද අතර, යම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා ඔහුගේ සංවිධානයේ මැදිහත්වීම හා අයි එස් අයි එස් සංවිධානය සමග හිජාස් සමග තිබූ සම්බන්ධතා පිළිබඳව සලීම් ගෙන් දැඩිව ප්‍රශ්න කරන ලදි. බස් එකකට යාම සඳහා ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 500 ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්, ඔහුගෙන් ලබාගන්නා ලදී.

පසුදින සලීම්ව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව වෙත භාර දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන මහලට රැගෙන යන ලදි. ඔහුට නිවසට ගෙදර යාමට නොහැකි ඇයි ද යන්න සලීම් පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසන ලද අතර ඊට පිළිතුරු වශයෙන් ඔහුට ලැබුණේ කම්මුල් පහරකි. ඔහුගේ සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදි.

”අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද සැම ස්ථානයකදීම මගෙන් එකම ප්‍රශ්නයක් ඇහුවා- ඒ තමයි සංවිධානය අයිඑස්අයිඑස් සංවිධානයත් සමග සම්බන්ධ ද කියන එක” – ”මම කිවා මම ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියල. පසුව ඔවුන් මගෙන් හිජාස් ගැන ඇහුව. හිජාස් අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධද කියලා කීවොත් දින තුනක් ඇතුළත මාව නිදහස් කරන බව ඔවුන් කීවා. මම ඒක ප්‍රතික්ෂේප කරා.” හිජාස්ව බොරු පාපොච්චාරණ සඳහා පටලවන්නේ නැති බවට සලීම් දැඩි ලෙස සිතුවා. ”ඔහු හොඳ කෙනෙක් , මට එයාව ප්‍රශ්නෙකට දාන්න අවශ්‍යවුනේ නැහැ”, ඔහු පැහැදිලි කරයි.

පසුව සලීම් තුළ තවමත් දැඩි වේදනාවක් හා කණස්සල්ලක ඇති කරවන අනුකම්පා විරහිත ප්‍රහාරයන්ට ඔහු ලක්වුනේ ය. ”තුන් දෙනෙක් මට පහර දුන්නා, මගේ වැලමිටට හා කොදු ඇට පෙළට පහර දුන්නා, ඉන් මින්ත්තු කිහිපයකට පසු තවත් පුද්ගලයෙන් මට සපත්තුවෙන් ගැහුවා. මට ඒ වනවිටත් මාංචු දමා තිබුණා. මම කීවා මට දැන් බොරු කියන්න පුළුවන් නමුත් මම බොරු කිව්වා කියලා මම අධිකරණයට කියනවා. මගේ ආගමේ බොරු කීම තහනම්.” ඔහු පෙන්වා දෙනවා. ඉන් අනතුරුව උදා වූ දින 13 තුළ දී ඔහු පුටුවක හිඳගෙන සිටි අතර ඔහුගේ එක් අතකට මාංචු දමා එය මේසයකට සම්බන්ධ කර තිබිණි. අත්දෙකට දමා තිබූ මාංචු, රාත්‍රියේ දී පවා ඉවත් නොකරන ලදී. ඔහුට ඇදීමට ඔහුගේ ඇදුම් නොතිබුණු අතර, එම කාමරයේ සිටි සෙසු අය ඔහුට ඇඳගැනීමට සරමක් හා ටී ෂර්ට් එකක් ලබාදුනි.

ඉතා ආගන්තුක පරිසරයක් තුළ දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා අත්අඩංගුවට ගත් සලීම් හා තවත් පුද්ගලයන් සිව්දෙනෙකු, නිලධාරීන්ගේ රාජකාරී අතරතුර දී ඔවුන්ව කාර්යාල කාරමරයක තබාගනු ලැබුවේ ය. පහරදීම් හා ප්‍රශ්න කිරීම් දින තුනක් පුරා පැවතිණි. පසුව සලීම් හයවන මහලට ගෙනයනු ලැබූ අතර එහි තවත් පුද්ගලයන් 23 දෙනෙකු සමග විශාල කාමරයක රඳවා තැබීය – එකී 23 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්, මිනිමැරුම්, මංකොල්ලකෑම් සහ වෙනත් අපරාධ සම්බන්ධව චෝදනා ලැබූවන් වූහ. ඔවුන්ව වෙන වෙනම සිර මැදිරිවල රඳවා තබාගන්නා ලද අතර නිදාගැනීම සඳහා පැදුරක්වත් නොතිබිණි. සලීම් විසින් ඔහුගේ ඥාති සොයුරාට කියා සිටියේ ඔහුට ඇදුම් හා පැදුරක් රැගෙන එන ලෙසට ය – එකී සිරමැදිරියේ කොට්ට තබාගැනීමට අවසර නොතිබිණි.

සිව් මසකට පසුව සලීම් ව තංගල්ල බන්ධනාගාරය වෙත මාරුකර යවන ලදී, එහි දී ඔහු තවත් පුද්ගලයන් 96 දෙනෙකු සමග රැඳී සිටි අතර ඉන් බොහෝ දෙනෙකු එල්ටීටීඊ හෝ අයිඑස්අයිඑස් සැකකරුවන් වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් වූහ.

සලීම් වසරකට වැඩි කාලසීමාවක් ඔහුගේ පවුලෙන් දුරස්ව තංගල්ල බන්ධනාගාරයේ රැඳවා තබා ගන්නා ලදි. සලීම් ඔහුගේ බිරිඳට කියා සිටියේ තංගල්ලට පැමිණිම දිගු ගමන් වාරයක් හා ඇයට හා දරුවන්ට විශාල වියදමක් සිදුවන බැවින් ඔහු බැලීමට නොපැසිණෙන ලෙසයි. ධීවරයෙකු වූ ඔහුගේ ඥාති සොයුරාට මන්නාරමේ සිට ඔහු බැලීමට තංගල්ල දක්වා පැමිණියහොත් දින දෙකක ආදායම ඔහුට අහිමි වේ. සලීම් ට ඔහුගේ නීතිඥයා සමගින් දුරකථනයෙන් කතා කිරීමට පමණක් අවස්ථාව ලැබුණි.

2021 වර්ෂයේ ඔක්තෝම්බර් මස අග භාගයේ දී සලීම් ව තංගල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවන ලදි. ඔහුට එහි සිර මැදිරිය තුළ ජිවත්වීමට සිදුවූයේ මානසික ආබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙකු සමගයි. ”ඔවුන් රෑ එළිවෙනකන් කෑ ගහනවා, අඩනවා. මට නිදාගන්න හම්බුනේ නෑ, මම හොඳටම අවුල් සහගත තත්ත්වයකය පත් වුනා. මගේ වේදනාව නැති කරගන්න බෙහෙත් පෙති වගයක් ලබාදුන්නා එපමණයි” ඔහු කියා සිටී. ඔක්තෝම්බර් 27 වන දින ඔහු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාව මෙය වූ අතර සලීම් ට ඔහුගේ නීතිඥවරයා හමු වීමට හැකිවිය.

කෙසේ වුවද, නීතිඥවරයා හා සලීම් අතර වූ සියලූ කථාබහ පොලිස් නිලධාරියෙකු විසින් සමීපව නිරීක්ෂණයකර ඊට සවන් දෙන ලදි. සලීම් වධ හිංසාවන්ට ලක්ව ඇති බැවින්, ඔහුට රෝහල් රැකවරණයක් අවශ්‍ය බව හා ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයේ දී තර්ක කරන ලදි. විනිසුරුවරයා සානුකම්පිතව බැලූ අතර ඇප දීමට සූදානම් බව පෙනුණ නමුත් පොලිස් නිලධාරියකු විසින්, විනිසුරුවරයාට කියවීමට සටහනක් ලබාදුන් අතර විනිසුරුවරයා සලීම් ව රිමාන්ඞ් බන්ධනාගාරයේ තබන ලෙස නියෝග කරන ලදි. කෙසේ වුව ද, සලීම් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කරන ලදි.

සලීම් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සතියක් තබාගත් අතර ඉන් පසුව නැවතත් මැගසින් බන්ධනාගාරයට යැවූ අතර, තවත් පුද්ගලයන් 70 දෙනෙකු සමගින් වූ විශාල සිර මැදිරියක ඉතිරි මාස 6 ගත කරන ලදි. ”ඔවුන් අපරාධකරුවන් වුව ද යහපත් මිනිස්සු…, මට කියවන්න පොත් ටිකක් ලබාදුන්නා, ඒකේ කෑමත් නරක නැහැ.” සලීම් පවසයි. පසුව ඔහුට දුරකථන ඇමතුම් ගැනීමට අවස්ථාව ලැබුණු අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු සිය දරුවන්ගේ මුහුණු දුටුවේ එකී ඇමතුම් හරහා ය.

බන්ධනාගාරය විසින් සෑම දින 14 කට වරක්ම උසාවිය හි ස්කයිප් හරහා විනිසුරු වෙත පමුණවයි. බොහෝ අවස්ථාවල දී ඇප ලබාගැනීමට තිබූ බලාපොරොත්තු සුන් වූයේ ද නැත. අවසාන වශයෙන්, 2022 අප්‍රේල් මස 08 වන දින නීතිඥයා විසින් ඔහුගේ ඇප පිට ඔහුව මුදවා ගන්නා ලදි.

ඔහුගේ මීලග නඩු වාරය එළඹෙන නොවැම්බර් මාසයේ ය. ඔහු දැනට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට සැළසුම් කරයි. “ඔවුන්ට කළ හැකි උපරිමය මා මරා දැමීමයි. මට දරාගත හැකි හැකි සියලු දුක් වේදනා මම විඳ දරා ඇත. මගේ ගෞරවය නැතිවෙලා, ඒ වගේම කායිකව හා මානසිකව මගේ ජීවිතයට බලපෑම් එල්ල වෙලා තියෙනවා.” ඔහු පවසයි.

සලීම්ගේ බිරිඳගේ පසුගිය වසර දෙක තුළ ජීවිතය පිළිබඳව සඳහන් කළහොත් එය කණස්සල්ලෙන්, බියෙන්, ලැජ්ජා සහගතව හා බලාපොරොත්තු සුන් වූ එකක් විය.

“මගේ මහත්තයා හිරේ ඉන්නේ ඇයි කියලා අනිත් අය අහද්දී මට හරිම ලැජ්ජාවක් දැනුනා. තාත්තා හිරේ හිටපු නිසා අපේ ළමයි ඉස්කෝලෙ ගියේ නෑ. රාත්‍රියට අපි ගෙදර ඉන්නත් බයයි” රාසියා පවසයි.

ගෙදර අවට පුද්ගලයන් ඇය දෙස සැකෙන් බැලූ බව රසියා කියනවා. ගම් වැසියන් ඔවුන් පිළිබඳ පවසනුයේ ඔවුන්ගේ නිවසේ තිබිය දී ආයුධ හා රත‍්‍තරන් සොයාගත් බවත්, සහරාන්ගේ ඡායාරූපයක් සොයා ගනු ලැබූ බවත් ය. රසියා අවුරුදු දෙකම ගත කරන ලද්දේ වියහැකි අයහපත්ම දේ ගැන සිහිකරමින් සහ ඇයගේ ස්වාමිපුරුෂයාට යමක් සිදුවේ යැයි බියෙනි.

සලීම් ට අවශ්‍ය වූයේ ඔහුගේ දරුවන් වූ දේ පිළිබද සත්‍ය දැනගැනීමයි, එය ඔහුට වඩාත් වැදගත් දෙයක් විය. “මම මගේ දරුවන්ට පැහැදිලිවම කීවා මම කිසිදු අනීතික ක්‍රියාකාරකමකට සම්බන්ධයක් නැති බව”. ඔවුන්ගේ ඉගෙන ගැනීම ඉතා වැදගත් බවත්, දුක් වීම අනවශ්‍ය බවත් කීවා. ”තාත්තා වැරදි වැඩක් කරලා නැති නිසා කලබල වෙන්න එපා කියලත් මම කීවා”

දැන් ඔහුගේ දරුවෝ නැවතත් පාසල් ගමන ආරම්භ කරලා, ඔහුට සිය පියාව දීර්ඝ කාලයක් මගහැරුණු නමුත් සිය පියා නැවත නිවසට පැමිණීම සම්බන්ධව ඔවුන් සතුටින් පසුවෙනවා. ජීවිතය තරමක් දුරට හෝ සමථයකට පත් වී ඇති නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත නැවතත් පැමිණ සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හේතුවෙන් සලීම් දැනට සේවය කරන නව සේවා ස්ථානයේ තවමත් දුෂ්කරතාවයන්ට මුහුණපාන බව සඳහන් කරයි. එමෙන්ම ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවා ඇති නිසා ඔහුට වැටුප් බැංකුවේ තැන්පත් කිරීම ට නොහැකි ය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බැවින් රැකියාවක් සඳහා විදේශ ගතවීමට ද නොහැකිය . තවදුරටත් ඔහු සිය කොන්ද ආශ්‍රිතව වේදනාවන් විඳිනු ලබන අතර කල්පිටිය රෝහලෙන් තවමත් ප්‍රතිකාර ගනු ලබයි.

‘පසුගිය වර්ෂ දෙක තුළ මම බොහෝ ගැටළුවලට හා ප්‍රචණ්ඩත්වයන් වෙත ගොදුරු වුනා. මීට වඩා නරක දෙයක් විය නොහැකි යි. මාව ආපහු බන්ධනාගාර ගත කළත් මට ඒක විඳගන්න පුළුවන්. මට කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැහැ.” ඔහු ප්‍රකාශ කරයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, අහිංසක පුද්ගලයන් අත්තඩංගුවට අරන් තියනවා. පාපොච්චාරණය කරලා, අත්සන් කරන ලෙසට ඔවුන්ට බල කරනවා, එහෙම කළොත් විතරක් ඔවුන් නිදහස් කරනවා, නැත්නම් ඔවුන්ගේ භාර්යාව හා දරුවන් අත්අඩංගුවට ගනු ලබන බවට එකී පුද්ගලයන්ට තර්ජනය කරනු ලබනවා. බොහෝමයක් පුද්ගලයන්ට පහර දී වධහිංසා පමුණුවනවා මම දැක්කා. මම ඔවුන්ගේ තුවාලවලට ප්‍රතිකාර කළා.”

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ අසාධාරණ නීතියක්. සාක්ෂි නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉන්පසු පොලීසිය ඔවුන්ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරනවා. ග්‍රාම සේවක මම කවුද කියලා දන්නවා, ප්‍රදේශයේ පොලීසිය මාව දන්නවා, මම නීති විරෝධී දෙයක් කරලා තියනවා නම් පොළිසියෙන් මං ගැන අහන්න”

ඔහුගේ නඩුවේ ප්‍රථිඵලය කුමක් වේද? සලීම් උරහිස් හකුලා සිනාසෙමින් “මම දන්නෙ නැහැ” ඔහු පවසයි.

*(groundviews.org ට මිනෝලි සොයිසා විසින් ලියන ලද A Life Wrecked by an Unjust Law ලිපියේ සිංහල අනුවර්තනයයි/අපහැදිලි යමක් වේ නම් මුල් ඉංග්‍රීසි පිටපත වෙත පිවිසෙන්න)

තාවකාලික ප්‍රතිපාදනයක් ලෙස ආරම්භ වූ නීතියක්, පත් වූ ආණ්ඩු විසින් දිර්ඝ කාලීනව අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට, වධ හිංසා පැමිණවීම හරහා සාවද්‍ය පාපොච්චාරණ ලබා ගැනීමට සහ සුළුජන ප්‍රජාවන් හා සිවිල් සමාජ සංවිධාන ඉලක්ක කිරීමට වසර 43ක් පුරා යොදා ගනිමින් පවතියි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිඥයන් සහ ආගමික නායකයන් විසින් ජාතිකව සහ ජාත්‍යන්තරව හෙළා දකිනු ලැබ ඇත. මානව හිමිකම් සංවිධානවල සහ ක්‍රියාධරයන්ගේ බලවත් ඉල්ලීම වනුයේ, සංශෝධනය කළ නොහැකි නීතියක් ලෙස සැළකෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම යි. ලිපි, වීඩියෝ සම්මුඛ සාකච්ඡා, ඡායාරූප කතාන්දර සහ ඉන්ෆොග්‍රැෆික් හරහා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ක්‍රියාමාලාවක් විකල්ප, මාට්‍රම් සහ ග්‍රවුන්ඩ් වීව්ස් විසින් දියත් කර ඇත.