iMage: aljazeera

2022 දෙසැම්බර් මස 17 වන දින, ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයෝ මුහුදේ පාවෙමින් තිබූ ආපදාවට පත් බෝට්ටුවක් පිළිබඳව නාවික හමුදාවට අනතුරු ඇඟවූහ. දෙසැම්බර් 18 වන දින නාවික හමුදාව එම බෝට්ටුවේ සිටි පුද්ගලයින් 104 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුදා ගත්තේ ය. නාවික හමුදාව ඔවුන් ව මියැන්මාර් ජාතිකයින් වශයෙන් හඳුන්වා ඇති අතර, නමුත් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක ඔවුන් ව රෝහින්‍යා සරණාගතයින් ලෙස හඳුන්වා දී තිබේ. රෝහින්‍යා මුස්ලිම්වරුන් හට පුරවැසිභාවයක් නොමැතිවා සේම මියැන්මාරය තුළ ඔවුන් මුහුණ දෙන පීඩාවන්ගෙන් මිදී ඔවුන්ගෙන් බොහෝ අය පලා ගොස් ඇති අතර, තවදුරටත් ඔවුන් අඛණ්ඩව පලා යමින් සිටිති. අති-ජනාකීර්ණ වීම සහ පහසුකම් ඉතාමත් අවම තිබීම හේතුවෙන් බංගලාදේශයේ සරණාගත කඳවුරු හැර යන බොහෝ රෝහින්‍යා සරණාගතයින් ද වාර්තා වී තිබේ. දෙසැම්බර් මාසයේ දී, ඔවුන් ව මුදා ගන්නා ලෙසට ආසන්න රාජ්‍යයන් වෙත එක්සත් ජාතීන් විසින් සිදු කරන ලද පූර්ව ආයාචනා කිරීම් තිබිය දී පවා, මුහුදේ දී රෝහින්‍යා සරණාගතයින්ගේ බිය උපදවනසුළු ලෙස මිය යාම් ද වාර්තා වී ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගත් පුද්ගලයින් ව පොලීසියට භාරදෙන ලද අතර (යාපනය දිස්ත්‍රික්කයේ) මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ට පැමිණවීමෙන් අනතුරුව යාපනයේ බන්ධනාගාරයේ “සැකකරුවන්” ලෙසින් රඳවා තබා ඇත. විශේෂයෙන් ම ඔවුන් දිවයිනට ගොඩ බැස්සේ නීතිවිරෝධී ව නොවන බැවින් හා ශ්‍රී ලංකාව තුළට නීතිවිරෝධී ව ඇතුළු වීමට පවා ඔවුන් උත්සාහ නොගත් නමුත් ඔවුන්ව ආපදාවකට ලක්ව සිටි බෝට්ටුවකින් මුදා ගෙන දිවයින තුළට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වීම හේතුවෙන් ඔවුන්ව රඳවා තබා ගෙන ඇත්තේ කවර නෛතික ප්‍රතිපාදනයක් යටතේ ද යන්න හෝ (කුඩා දරුවන් ඇතුළු) එම පුද්ගලයින් විසින් සිදු කර ඇති බවට සැක කරන්නේ කවර අපරාධ වරදක් ද යන්න හෝ පිළිබද කිසිදු පැහැදිලි කිරීමක් නැත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයෙකු විසින් “මෙය අපරාධ ක්‍රියාවක් නොවේ” වශයෙන් සඳහන් කර ඇති බවට ද වාර්තා වී තිබේ.

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය රෝහින්‍යා සරණාගතයින්ගේ ක්ෂණික අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත සහය ලබා දෙන බවට ප්‍රකාශ කළේ ය. සරණාගතයින් කණ්ඩායම යාපනය බන්ධනාගාරයේ සිටි කාලය අතරතුර ඇඳුම්, යට ඇඳුම්, හිජාබ්, සනීපාරක්ෂක තුවා, පැම්පර්ස්, ඇඳ ඇතිරිලි, තුවා, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, සෙරෙප්පු, සෙල්ලම් බඩු හා ගමන් මලු ඇතුළු හදිසි මූලික අවශ්‍යතා සපුරාලන්නට මන්නාරම් සමාජයීය ආර්ථික සංවර්ධන සංවිධානය (Mannar Social Economic Development Organization-MSEDO) කටයුතු කළේ ය. යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිපලෙයි මූලික රෝහලට ඇතුළත් කෙරුණ (පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත) සරණාගත පවුල් දෙකක් සඳහා මානුෂීය ආධාර සැපයීම MSEDO විසින් සිදු කරන ලදි.
සරණාගතයින් කණ්ඩායම වයස අවුරුදු 1 සිට 70 දක්වා පරාසයක විහිදුණ පිරිම් පුද්ගලයින් 29 දෙනෙකු, කාන්තාවන් 26 දෙනෙකු සහ කුඩා ළමුන් 49 දෙනෙකුගෙන් සමන්විත වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් මධ්‍යස්ථාන

දෙසැම්බර් මස 22 වන දින ඔවුන් ව කොළඹට රැගෙන එන ලද අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන හා වැලිසර රැඳවුම් මධ්‍යස්ථානවල ඔවුන් ව මේ දක්වා රඳවා තබා ඇත.

දෙසැම්බර් 26 වන දින මා සහ ආගමික නායකයින් කිහිපදෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලය සහ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින් අප හට ආචාරශීලී ලෙස දැනුම් දෙනු ලැබුවේ අමුත්තන්ට ඊට ඇතුළු වීමට ඉඩ නොලැබෙන බවට සහ අමුත්තන්ට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ ආගමන හා විගමන නිලධාරීන්ට පමණක් වන බවට යි. එනමුත් ඔවුන් එම ස්ථානය භාර ආගමන නිලධාරියාට දුරකතන ඇමතුමක් ලබා දුන් අතර එම නිලධාරියා අප සමඟ දුරකතන සංවාදයක යෙදුණි. එම නිලධාරියා අමුත්තන්ගේ පැමිණීමට ඔවුන් අනුබල නොදෙන බව අපට පැවසූ නමුත්, ඔහු ද පසු දින එම ස්ථානයට පැමිණෙන බැවින් අපට පසු දින පැමිණෙන ලෙසට ප්‍රකාශ කළේ ය. අප පසු දින නැවත එහි ගිය අතර අප ගෙන ගිය ආහාර ද්‍රව්‍ය සහ සෙල්ලම් බඩු බෙදා දීමට අපට අවසර ලැබිණ. අවහිර කර දමා තිබූ කටු සහිත කම්බි වැටක් හා ගේට්ටුවක් හරහා සීමාකාරී තත්ත්වයන් තුළ සරණාගතයින් කිහිප දෙනෙකු සමඟ කෙටි සංවාදවල නියැලුණෙමු. එක් සරණාගතයෙකු පමණක් යම් පමණකට ඉංග්‍රීසි කතා කිරීම නිසා භාෂාව ප්‍රධාන අභියෝගයක් විය. සරණාගතයින් කණ්ඩායම බංගලාදේශයේ සරණාගත කඳවුරකින් නික්ම දෙසැම්බර් 03 වන බෝට්ටුවකට ගොඩ වූ බවත්, දෙසැම්බර් මස 18 වන දින ඔවුන් ව මුදා ගන්නා තුරුම, ඔවුන් මුහුදේ සිටි බවත් අප සමග පැවසීය. බංගලාදේශයේ සරණාගත කඳවුරක සිටින අතරතුර ඔවුන් සියල්ලන්ට ම, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් සරණාගත සහතිකපත්‍ර ලැබී තිබී ඇති නමුත් ඒවායින් ඇතැම් සහතිකපත්‍ර මුහුදේ දී ඔවුන් මුහුණ දුන් ඉතා අමිහිරි අත්දැකීම් නිසා ඒවා අස්ථානගත වී ඇත.

එම රැඳවියන් සඳහා නවාතැන් සැපයීම පිණිස මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලද බවත්, ඇඳන් කිහිපයක් මිල දී ගෙන තිබූ බවත්, එහි රඳවා සිටින එකම පිරිස රෝහින්‍යා සරණාගතයින් 84 දෙනෙකු පමණක් වන බවත් නිලධාරීහු අපට පැවසූහ. පිරිමින් සහ කාන්තාවන් වෙන වෙන ම අංශ දෙකක සිටි අතර වයස අවුරුදු 10ට අඩු ළමයි කාන්තා අංශයේ සිටියෝ ය. පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගතකර සිටි අතර 15 දෙනෙක් පමණ උණ රෝගයෙන් පීඩා විඳිමින් සිටියහ. දෙසැම්බර් මස 27 සහ 28 වන දෙදින වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නියම කර තිබිණ.

පසුව, දෙසැම්බර් 27 වන දින අප වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයට යන විට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින්, තනි පුද්ගල සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටියේ ය. අප එහි යන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) නිලධාරීහු ද වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සිටියහ. එහි සිටි රෝහින්‍යා සරණාගත කාන්තාවන් 20 දෙනා සමඟ කතා කිරීමට අවසර ලැබුණේ පූජ්‍ය පක්ෂයේ දෙදෙනෙකුට පමණකි. අලුතින් පැමිණි සරණාගතයින් සමඟ කතා කිරීමට පානදුර සිට පැමිණ සිටි රෝහින්‍යා සරණාගතයින් දෙදෙනෙකු සිටියේ අප්‍රසාදයෙනි. මෙය සාමාන්‍ය රීතිය වූයේ ද යන්න හෝ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සියුම් සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර අප එහි යාම හේතුවෙන් සිදු වූවක් ද යන්න හෝ පැහැදිලි වූයේ නැත.

කෙසේවෙතත්, එම රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීහු සිටිය දී ම (මා පෙර සිට දන්නා) පාකිස්ථාන ජාතික සරණාගතයින් සමඟ පිළිගැනීමේ කලාපයෙහි නිදහසේ කතා කිරීමට අප හට ඉඩ ලබා දුන්හ. 2006 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ සිටින සිව් දෙනෙකුගෙන් යුතු පවුලක් ඇතුළු පකිස්ථාන ජාතික සරණාගතයින් 6 දෙනෙකු පමණ වැලිසර සිටින බවට අපට දැනගන්නට ලැබිණ. පියා සහ පුතුන් දෙදෙනා හට එක් අයෙකුට පැයක පමණ කාලයකට දෙසතියකට වරක් පමණක් භාර්යාව/මව හමු වීමට ඉඩ ප්‍රස්ථාව තිබිණ. ඔවුනට පල්ලි යාමට නොහැකි වීම පිළිබඳව ද ඔවුහු කණගාටුවෙන් පසු වූහ. පිරිමින් 60 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු පමණ එහි රඳවා ගෙන සිටින බවත්, ඒ අතුරින් බොහෝ අය නයිජීරියානු ජාතිකයින් බවත් ඔවුහු අපට පැවසූහ. පාකිස්ථාන ජාතික පවුල මින් පෙර මිරිහානේ රඳවා ගෙන සිට ඇති අතර, වැලිසර දී පිසූ ආහාර සපයන නිසා ඔවුන් වැලිසරට යාමට කැමැත්තක් දක්වා ඇත. ඇතැම් නිලධාරීන් නත්තල් දිනයට වැනි විශේෂ අවස්ථාවල දී සරණාගතයින්ට තමන් විසින්ම ආහාර පිස ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගෙන දීම ද සිදු කර ඇත.

රැඳවුම් මධ්‍යස්ථාන දෙකේ ම සිටි නිලධාරීන් සුහද විය; ඔවුන් මානුෂීය සහය පිළිගැනීම හා ඊට පහසුකම් සැලසීම ඉටු කළ අතර රෝහල්ගත කර සිටි රෝගියෙකුගේ විශේෂ අවශ්‍යතා සඳහා සහය පැතීමට එක් නිලධාරියෙක් මා හට පසුව ඇමතුවේය. එනමුත් අන්තර් සබඳතා පැවැත්වීමට අවසර ලබා දීම සඳහා ඔවුහු එතරම් උනන්දුවක් නොදැක්වූ අතර අපට ඉතා අවම අන්තර් සබඳතා සඳහා අවසර ලබා දුන්න ද, අමුත්තන්ට ඒ වෙනුවෙන් අභිප්‍රේරණයක් ලබා නොදුන්නෝ ය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින අපරාධ වැරදිවලට සැකකරුවන් වූවන්ට පවා සතියකට දින 6ක් අමුත්තන් මුණ ගැසීමට ඉඩ ලබා දෙන තත්ත්වයක් මත මෙහි පවතින තත්ත්වය විමතියට කරුණක් වේ.

අනුප්‍රාණයන් සහ අභියෝගයන්

විපතට පත්වූවන් ව මුදා ගැනීමට සහ දිවයිනට ගොඩ බස්සවා ගැනීමට නාවික හමුදාව ගත් තීරණය හා ක්‍රියාවන් විශේෂයෙන් ම, බොහෝ දින හා සති ගණන් පුරාවට අනෙකුත් ආසියාතික රාජ්‍යයන් තුළ ඒ පිළිබඳ තිබූ පසුබට බවට සාපේක්ෂ ව ප්‍රශංසනීය ය. කෙසේවුව ද, විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ සිටින රෝහින්‍යා සරණාගතයින් වෙත අමුත්තන්ගේ ප්‍රවේශය සීමාවට ලක් කෙරෙන්නේ නම් හා එය අධෛර්යයට ලක් කෙරෙන්නේ නම්, සහ ඔවුන් ව තවදුරටත් රඳවා තබා ගැනෙන්නේ නම්, ශ්‍රී ලංකාව විසින් උපයා ගන්නා ලද පැසසුම සුපුරුදු සැලකුමේ සහ හෙළා දැකීමේ ප්‍රකාශයන් දක්වා බාල වීමේ හැකියාවක් ඇත.

ක්ෂණික මානුෂීය ආධාර සපයා දීම සඳහා MSEDO සහ අන් අයගේ ප්‍රයත්නයන් විපතට පත් ජන කණ්ඩායමක් කෙරෙහි සහයෝගීතාවය දැක්වීමේ ක්‍රියාවන් ය. ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනෙක් ඔවුන් සතුව පැවති සෙල්ලම් බඩුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සරණාගත ළමයින් වෙත පරිත්‍යාග කළහ. වඩාත් ප්‍රබෝධජනක සහ හද සසල කර වූ අත්දැකීම වූයේ මේ පුවත දුටු, ශ්‍රී ලංකාව තුළ ඒ වන විටත් සිටි ඇතැම් රෝහින්‍යා සරණාගතයින් ඉතා විශාල ආයාසයකින් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය සොයා ගෙන අවශ්‍ය කළමනා යම් ප්‍රමාණයක් සමඟ අලුතින් පැමිණි සරණාගතයින් බැලීමට එහි පැමිණ සිටිය දී මා හට හමුවීම යි. ඔවුනට පසු දින එන ලෙස පැවසූ අවස්ථාවේ දී ඔවුහු එයට අවනත ව කටයුතු කළෝ ය. අප වැලිසර සිටි රෝහින්‍යා සරණාගත කාන්තාවන් හා ගැහැණු දරුවන් බැලීමට යන බව දැන ගත් විට ඔවුනට ද එහි යාමට අවශ්‍ය විය.

ශ්‍රී ලංකාව තුළ දැනටමත් සිටින රෝහින්‍යා සරණාගතයින්ගේ, ආගමික නායකයින්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ ගමන් වාර සඳහා ඉඩ ලබා දීම ධෛර්යයමත් කළ යුතු වන්නේ සරණාගතයින් සඳහා සදාචාරාත්මක සහය ලබා දීමට, වඩා වැඩි මානුෂීය සහය උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලාංකිකයින් අතරේ සරණාගතයින් කෙරෙහි සහකම්පනය හා සංවේදීතාව ප්‍රවර්ධනය කිරීමට ඔවුනට හැකියාව තිබීම හේතුවෙනි.

කෙටිකාලීන ව, නාවික හමුදාව විසින් ආරම්භ කළ යහපත් කාර්ය ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබනු ඇති බවටත්, පරිත්‍යාගශීලී පුරවැසියන්ගේ සහය ඇතිව බොහෝ පීඩාවන්ට මුහුණ දී ඇති මේ මිනිසුන් හට අපරාධ වරදවලට සැකකරුවන් සේ රඳවා තබා ගැනීමෙන් තොරව යෝග්‍ය නවාතැන් සපයා දෙනු ඇති බවටත් මම බලාපොරොත්තු වෙමි. නවාතැනක් නොමැතිව ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථාන වෙතින් මුදා හැරීම අර්ථ ශුන්‍ය විය හැක්කේ වීදිය මිසක ඔවුනට යාමට අන් ස්ථානයක් නොමැති බැවිනි. ඔවුනට ප්‍රමාණවත් ආහාර, මානසික හා කායික සෞඛ්‍ය සත්කාර හා ආරක්ෂාව ද සැපයිය යුතු වේ. මධ්‍යකාලීන ව, රජය රෝහින්‍යා සහ සියලු සරණාගත ළමුන් ව නිදහස් අධ්‍යාපන ක්‍රියාරාමුව තුළට ඇතුළත් කර ගත යුතු අතර වැඩිහිටියන් සඳහා ඵලදායී ජීවනෝපාය මාර්ගවල නියැළීමට අවස්ථාවන් සලසා දිය යුතු ය. දිගුකාලීන ව, ස්ථිර නැවත පදිංචි කිරීම් සඳහා සහ උනන්දුවක් දක්වන අයවලුන් වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දීම සඳහා තෝරා ගැනීම් ලබා දිය යුතු ය. ශ්‍රී ලංකාව තුළ වසර පහකට වඩා වැඩි කාලයක් රැඳී සිට ඇති සහ තවමත් කිසිදු රටක පුරවැසිභාවයක් නොමැති වෙනත් රෝහින්‍යා සරණාගතයින් පිරිසකගෙන් ඔවුන් ශ්‍රී ලංකාව තුළ ස්ථිර වශයෙන් නැවත පදිංචි වීමට කැමැත්තක් දක්වන්නේදැයි අප විමසූ අවස්ථාවේ ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ “ඔව්” යන්න යි. එම ප්‍රතිචාරයට ඔවුනට හොඳින් සැලකූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ව අදහස් දැක්වීම් ද ඔවුහු එක් කළහ.

රජය 2005 වසරේ දී අත්සන කරන ලද ගිවිසුමක් හරහා සරණාගතයින්ගේ වාසියට UNHCR හි විධානය පවත්වා ගෙන යාම සඳහා ඊට පහසුකම් සැලසීමට එකඟ වී ඇත. ශ්‍රී ලංකාව තුළ සරණාගත තත්ත්වය අපේක්ෂා කරන විදේශීය ජාතිකයින් වෙත ශ්‍රී ලංකාව තුළ UNHCR මගින් රැකවරණ හා සරණාගත සහතිකපත්‍ර නිකුත් කිරීම ප්‍රකාර කාර්ය පටිපාටීන් 2006 වසරේ දී රජය හා UNHCR විසින් අත්සන් කරන ලද යොමු කිරීම් අනුදේශ මාලාවක් හරහා සවිස්තරාත්මක වී ඇත. රැකවරණ හෝ සරණාගත සහතිකපත්‍ර හිමි පුද්ගලයින් ව ඔවුන් යම් අපරාධ වරදකට සැකකරුවන් වන්නේ නම් මිසක සාමාන්‍යයෙන් අත්අඩංගුවට නොගැනෙන අතර රඳවා තබා නොගැනේ. බොහෝ රැකවරණ පතන්නන් ශ්‍රී ලංකාව තුළට ඇතුළු වන්නේ ගුවන් තොටුපළේ ආගමන ක්‍රමවේදය හරහා ය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රෝහින්‍යා සරණාගතයින් ව මුහුදේ දී මුදා ගෙන දිවයිනට රැගෙන පැමිණි මින් පෙර අවස්ථාවන් ද තිබී ඇති අතර ඉන් අනතුරු ව ඔවුන්ගේ හිමිකම් පිළිබද UNHCR විසින් සැළසුම් කිරීමෙන් පසු ඉන් බොහෝ පුද්ගලයින් ස්ථිරවම යළි පදිංචි වීම් සඳහා වෙනත් රටවල් වෙත ගොස් ඇත. ඉතාම මෑතක දී පැමිණි සරණාගතයින් කණ්ඩායමට පෙර ශ්‍රී ලංකාව තුළ රෝහින්‍යා සරණාගතයින් 36 දෙනෙකු පමණ සිටි අතර, 2017 වසරේ දී කොළඹ තදාසන්න පෙදෙසක පිහිටි ඔවුන්ගේ නිවසක් මැර ප්‍රහාරයකට ලක් විය.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando

(2022 දෙසැම්බර් මස 28 වන දින https://groundviews.org/2022/12/28/rohingya-refugees-in-sri-lanka/ හි පළමු ව පළ කෙරුණ රුකී ප්‍රනාන්දු විසින් රචිත ලිපියේ සිංහල පරිවර්තනය)