iMage: AJ

මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි ලෙස හෙළා දකින බව ද අවධාරණයෙන් කියා සිටින බව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය(CMU) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “තම රජයට එරෙහි ඕනෑම ආකාරයක විරෝධයක් මැඩපැවැත්වීමට සහ සාමකාමී විරෝධතාවල යෙදීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම අහිමි කිරීමට ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමයේ පූර්ණ බලතල යොදාගෙන ඇත. රජය සහ එහි ක්‍රියාවන් පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන්ට තිබෙන සෑම මාර්ගයක්ම පාහේ වසා දැමීමට ඔහු තම ඒකාධිපති බලතල භාවිතා කරමින් සිටියි.” යනුවෙනි

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) නිකුත් කරන ප්‍රකාශය

මැතිවරණ වැළැක්වීමේ බියගුලු උත්සාහයන් හෙළා දකිමු

තමන්ගේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ තම ආණ්ඩුවේත් පාලනයට විරුද්ධව මහජන කෝපය සහ අප්‍රසාදය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව හොඳින් දන්නා රනිල් වික්‍රමසිංහ, දැන් කූටෝපක්‍රම උපයෝගී කර ගනිමින් මැතිවරණය කල් දැමීමට පියවර ගෙන ඇත.

මැතිවරණයට අය වැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කොට තිබියදීත් මැතිවරණයට මුදල් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කොට ඇති අතර කල්තියා මුදල් ලබා නොගෙන තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ මුද්‍රණාලයට බලපෑම් කර ඇති බව පෙනේ. බොහෝ ඉල්ලීම් කළත් පොලිස් දෙපාර්තමේන්තුව ඡන්ද මුද්‍රණ ක්‍රියාවලියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා නොමැති බවත්, තැපැල් ඡන්දය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රමාද වීමට “ප්‍රධාන හේතුව” එය බවත් රජයේ මුද්‍රණාලය පවසා තිබේ. මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රකාශිත පරිදි මාර්තු 09 වෙනිදා හෝ නීතියෙන් නියම කර ඇති පරිදි 2023 මාර්තු 19 වැනි දිනට පෙර හෝ මැතිවරණ නොපැවැත්වෙන බව මේ වන විට නිශ්චිතය.

මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි ලෙස හෙළා දකින බවද අවධාරණයෙන් කියා සිටිමු.

මැතිවරණයක දී මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ ජනාධිපතිවරයකු අද මහජනතාවට තම නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ මූලික අයිතිවාසිකම අහිමි කිරීමට උත්සාහ කරන ආකාරය අතිශයින් පිළිකුල් සහගතය. බෝනස් ආසන පිරිනැමීමේ ක්‍රමවේදය හරහා යන්තං එක ආසනයක් හිමි කරගෙන තම පක්ෂයේ මන්ත්‍රී ධුරයක් දැරූ එකම මන්ත්‍රීවරයා බවට වූ රනිල් වික්‍රමසිංහව ඔහුගේ දැඩි විරුද්ධවාදී දේශපාලන එදිරිවාදින් හැටියට පෙනී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබීය. වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පසුගිය මැතිවරණයේදී එජාපය ඉතිහාසයේ දරුණුතම පරාජය අත් කර ගත් අතර අතර එහිදී තම පක්ෂයට එකදු ආසනයක්වත් දිනා ගැනීමට ඔහු අසමත් විය.

ඔහුගේම මැතිවරණ කොට්ඨාසයෙන් පවා ඔහු පරාජයට පත් විය. ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ එවැන්නෙකු රටේ ජනාධිපති බවට පත් කරමින් ජනතා පරමාධිපත්‍යය විකෘති කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් කිරීමට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉඩකඩ සලසා තිබීම දැඩි ලෙස හෙළා දැකිය යුතු තත්ත්වයක් බව අපි කියා සිටිමු.

තම රජයට එරෙහි ඕනෑම ආකාරයක විරෝධයක් මැඩපැවැත්වීමට සහ සාමකාමී විරෝධතාවල යෙදීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම අහිමි කිරීමට ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමයේ පූර්ණ බලතල යොදාගෙන ඇත. රජය සහ එහි ක්‍රියාවන් පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන්ට තිබෙන සෑම මාර්ගයක්ම පාහේ වසා දැමීමට ඔහු තම ඒකාධිපති බලතල භාවිතා කරමින් සිටියි.

ආර්ථික අර්බුදය හමුවේ තම ජීවන තත්ත්වය සීඝ්‍රයෙන් පිරිහෙමින් තිබෙන තත්ත්වයක් තුළ, සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට පළාත් පාලන මැතිවරණය කිසිදු ආකාරයක සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අප සංගමය විශ්වාස කරන්නේ නැත. මේ මැතිවරණවලට තරග කරන කිසිම දේශපාලන පක්‌ෂයක්‌ ජනතාව මේ දුක්‌ඛිත තත්ත්වයෙන් ගොඩගත හැකි වැඩපිළිවෙළක්‌ පැහැදිලිව ඉදිරිපත් කර නැත. ඔවුන් කිසිවෙකු වෙතින්, විශේෂයෙන්ම වැඩ කරන ජනතාව සම්බන්ධයෙන්, ජාතික අවම වැටුපක් හෝ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා සංවිධානය වීමට සහ සාමූහික කේවල් කිරීම්වල යෙදීමට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන කම්කරු ප්‍රඥප්තියක් සඳහා නිශ්චිත යෝජනා ඉදිරිපත් වී නොමැත.

එසේ වුව ද, පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සහ මැතිවරණය පාවිච්චි කරමින් බලයේ සිටින ආණ්ඩුවට තම බලවත් විරෝධය සටහන් කිරීමට සූදානමින් සිටින ජනතාව සතු ව්‍යවස්ථාපිත අයිතිය වෙනුවෙන් අපි තරයේ පෙනී සිටිමු. මැතිවරණයෙන් තමන් සහ තම රජය අන්ත පරාජයකට පත්වේ යැයි බියෙන් ඇළලුණු ජනාධිපතිවරයෙකුගේ හිතුමතයට පුරවැසියන් සතු මෙම මූලික අයිතිය උදුරා ගත නොහැකිය. අභියෝගයට ලක් නොකරන තාක්, ජනාධිපතිවරයාට ඕනෑම මැතිවරණයක් කල් දැමීමට මෙය භයානක පූර්වාදර්ශයක් සපයනු ඇත. එය, රාජ්‍ය නිලධාරීන් නිර්ලජ්ජිත ලෙස යොදවා ගනිමින්, මුදල් සහ වෙනත් සම්පත් වෙන් කිරීම වළක්වා ගනිමින් තමාට හෝ ඕනෑම ජනප්‍රිය නොවන රජයකට රිසි පරිදි අවශ්‍ය තාක් කල් බලයේ රැඳී සිටීමට මඟ සලසා ගැනීමක් වනු ඇත.

රජයේ මුද්‍රණාලයේ සහ මහා භාණ්ඩාගාර ලේකම්ගේ සහ පොලිස්පතිගේ ක්‍රියා කලාපය බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතු වන්නේ එබැවිනි. ලංකා නීතීඥ සංගමය (BASL) මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශයේ පෙන්වා දී ඇති කරුණු අපි සම්පූර්ණයෙන්ම අනුමත කරමු. එනම්, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 බී (2) සහ 104 GG (1) වගන්තිවලින් පැහැදිලි වන පරිදි සියලුම රාජ්‍ය අධිකාරීන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින අතර එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ එසේ කිරීමට අපොහොසත් වීම සිර දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදක් වේ.’’

“මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කිරීම පමණක් නොව එවැනි ඇඟිලි ගැසීම්වලට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය” යන BASL ස්ථාවරය සමඟ අපි සියයට සියයක් එකඟ වන්නෙමු.

මේ ප්‍රයත්නයේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සහ එය ඔසවා තැබීම වෙනුවෙන්, සමාන අදහස් දරණ සියළු සංවිධාන සමඟ CMU අත්වැල් බැඳ ගන්නා බව ද අවධාරණයෙන් කියා සිටිමු.