iMage: Pacific Press Agency / IMAGO

අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා-බහ වලදී දකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන හා සාර්ථක ව්‍යාපාර ලෙස හුවා දැක්වීමයි.

ලංකා රජයේ එසේ නැත්නම් එහි නියමුවන් අද ඉදිරිපත් කරමින් සිටින්නේ සියලුම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය තුළින් සාර්ථක ආර්ථිකයක් ගොඩනැගීමට පදනම් ඇතිවන බවයි.

මෙය ඇත්තක්ද? සියලුම රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක ද? සියලුම රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ද? සංවර්ධිත රටවල් දියුණු වී ඇත්තේ පෞද්ගලීකකරණය තුළින්ම ද? දියුණු රටවල රාජ්‍ය ව්‍යවසායන් එසේ නැත්නම් රාජ්‍ය සමාගම් පවතින්නේ නැද්ද?

එක අන්තයක එල්ලී නොසිට මේ සම්බන්ධයෙන් තුලනාත්මක සාකච්ඡාවකට යාම වැදගත් බව මගේ වැටහීමයි. 

මම පුද්ගලිකවම, පුද්ගලික ව්‍යවසාය යන්ට විරුද්ධ අයෙක් නොවෙමි. එමෙන්ම මම රාජ්‍ය ව්‍යවසයන්ට ද විරුද්ධ අයෙක් නොවෙමි. පුද්ගලික ව්‍යවසාය පැවතිය යුතු බව මම පිළිගනිමි. ඒ වාගේම රාජ්‍ය ව්‍යවසාය ද පැවැතිය යුතු බව මගේ ස්ථිර විශ්වාසයයි. 

ඒවා පැවතිය යුත්තේ කෙසේද, කුමන සේවාවන් සහ නිෂ්පාදනයන් රාජ්‍ය සතු විය යුතු ද, පුද්ගලික ව්‍යවසාය සඳහා නිදහස් කළ යුතු ව්‍යවසාය මොනවාද යන්න වෙන වෙනම කල්පනා කර බැලිය යුතුය. 

පෞද්ගලීකරණයට පක්ෂ මෙරට ආර්ථික විද්‍යාඥයින් හෝ දේශපාලනඥයින් කරුණු ඉදිරිපත් කරන්නේ ඒක පාක්ෂිකවය. උදාහරණයකට සියලුම පෞද්ගලික ව්‍යාපාර ලාභ ලබන බවත් ඒවා පාඩු ලබන්නේ නම් එම පාඩු පුද්ගලිකව විද දරා ගත් යුතු බවත් ඔවුහු කියා සිටිති. එය ඇත්තක්දැයි විමසමු.
 
දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන ‘පෞද්ගලික ව්‍යාපාර කඩා වැටෙන කොට ඒවායෙහි පාඩුව විඳින්ට වන්නේ ඔවුන්ටමය’ කීම නිවැරදි නැත.

එසේම පුද්ගලික ආයතන සැමවිටම ලාභ ලබන්නේ නැත. රාජ්‍ය ආයතන ද සෑම විට ම ලාභ ලබන්නේ නැත. මෙම ව්‍යවසාය වර්ග දෙකට ම මෙය පොදු ධර්මයකි. මෙය කළමනාකරණය පිළිබඳ කාරණයක් මිස ව්‍යාපාර පුද්ගලයා සතු ද රාජ්‍ය සතු ද යන කාරණය නිසා ඇති වන දෙයක් නොවේ. 

ජර්මනියේ සෑම නගරයකම ප්‍රවාහන සේවා පවතින්නේ පොදු සේවා වශයෙනි. ඒවා ලාභ ලබනවා ද පාඩු ලබනවා ද යන්න ඔවුන් සළකන්නේ නැත. ජර්මනියෙහි රට පුරා පවතින ගමනාගමන සේවාව කොටසක් පෞද්ගලික වන අතර කොටසක් අර්ධ වශයෙන් රාජ්‍ය සතුය. ජර්මනියේ පාසල් පද්ධතිය පවතින්නේ විශ්ව විද්‍යාල ඇතුළුව රාජ්‍ය ව්‍යවසාය වශයෙනි. පොදුවේ මුළු ජර්මන් ශිෂ්‍යයන් සියලු දෙනා එසේ නැත්නම් 99% යන්නේ පොදු පාසල් වලට ය. ඊට අමතරව පුද්ගලික පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ද තිබේ.

රාජ්‍යය පවතින්නේ සාමය සහ නීතිය පවත්වා ගැනීම සඳහා යයි කීම සාධාරණ කිරීමට සමාජයක පොදු කාරණා ගණනාවක් සපුරා තිබිය යුතුය. පොදු අවශ්‍යතාවයන් ඉටු නොවන තැන එහි සාමය හා ආරක්ෂාව නොපවතී. 

එසේම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳව තර්කය ඉදිරිපත් කරන අය ඉදිරිපත් කරන තර්ක දෙකකි.

ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක සහ පාඩු ලබන බවයි. මේ කාරණය ඇත්තක් ද යන්න ද අප වෙනම සලකා බැලිය යුතුය.

අනිත් කාරණය වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ආයතනයක් ලාභ ලැබුවා වුවත් එහි ලාභ උපරිමය ලබා නොගැනීම නිසා එය පෞද්ගලීකරණය කර වැඩි ලාබ ගත යුතු බවයි.

 දැන් අපි මෙම තර්ක දෙක වෙන වෙනම ගෙන සලකා බලමු. ඔවුන්ගේ පළමු තර්කය වන්නේ රාජ්‍ය ආයතනයක් පාඩු ලැබූ විට එම පාඩු පියවීමට රාජ්‍යය මුදල් වැය කිරීම එනම් ජනතාවගේ බදු මුදල් වැය කෙරෙන නිසා එය ජනතාව මත බරක් වන බවයි. අසාර්ථක වන්නේ රාජ්‍ය ආයතන පමණක් නො වන බව අපි දන්නෙමු. ඔවුන්ගේ තර්කය වන්නේ පෞද්ගලික ව්‍යවසාය අසාර්ථක වූ විට එහි පාඩුව දරන්නේ පෞද්ගලික සමාගමක් හෝ පුද්ගලයින් බවයි. අද ලෝකයේ පවතින තත්වය තුළ මෙය ඇත්තක්ද?

අප කවුරුත් දන්නා ලේමන් බ්‍රදර්ස් ඉන්වෙස්ට්මන්ට් ‍ව්‍යාපාරය කඩා වැටුනේ රාජ්‍ය ආයතනයක් නිසා නොවෙයි. එය පෞද්ගලිකෙ ආයතනයකි. ඊයේ පෙරේදා ස්විස්ටර්ලන්තයේ දෙවැනි විශාලතම බැංකුව වන ‘ස්විස් කෙඩිටේ’ කඩා වැටීමට ආසන්න විය. එය බේරා ගැනීමට ස්විටර්ලන්තයේ වසරක දළ ජාතික ආදයමෙන් තුනෙන් එකක් තරම් එනම් රාජ්‍ය සතු අරමුදලින් සිවිස් ෆෑන්ක් බිලියන 250ක් තරම් ගෙවන ලදී.

මෙවැනි කඩාවැටීම් බේරා ගැනීමට බිලියන දහස් ගණනින් රාජ්‍ය අරමුදල් මෙම සමාගම් වලට යොමු කිරීමට සිදුවේ.

‍රාජ්‍ය ව්‍යවසාය හෝ පෞද්ගලික ව්‍යවසායක් අසාර්ථක වන්නේ නම් මේ දෙකටම මුල් වන්නේ මේ දෙක තුළ පැවතුණ අක්‍රමිකතා සහ කළමනාකරණයේ තියෙන දුර්වලකම් හෝ කූට ක්‍රියාය. මේ තත්වය පෞද්ගලික ව්‍යාපාර තුළ මෙන්ම රාජ්‍ය ව්‍යාපාර තුලත් සිදු වේ. එනිසා රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වනවා යයි පුරෝකථනය කිරීම වැරදි තර්කයකි. ඇත්තෙන්ම බොහෝ රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක වන්නේ පවතින රාජ්‍යයෙහි කළමනාකරණ කාර්ය කරන ඇමති මණ්ඩලයේ හෝ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ වරදිනි. නමුත් ඔවුන්ගේ වරදින් සිදුවන දෙය හුදෙක් රාජ්‍ය ව්‍යවසාය නිසා සිදු වුවා යයි කීම කිසිසේත්ම සත්‍යයක් නොවේ.

මේ තර්ක ඉදිරිපත් කරන කිසිවෙකු පෞද්ගලික ව්‍යාපාර කඩාවැටීම පිළිබඳව ඒවාට රාජ්‍ය දේපල වලින් කරන සහාය දීම පිළිබඳව කිසිවක් කතා නොකරයි.

මේ මොහොත වන විට ජර්මනියේ පවතින කවුෆ්හෝෆ් (Kaufhof) වෙළඳ සංකීර්ණ ව්‍යාපාරය ද පාඩු ලබා කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබේ. ජර්මන් රජය මේ වන විටත් ජනතාවගේ බදු මුදල් වලින් යූරෝ බිලියනයක් මෙය ආරක්ෂා කර ගැනීමට යොදා ඇත.

මෙසේ ලෝකය පුරා රටවල, බටහිර ධනවාදී ආර්ථිකයක් පවතින රටවලත් මෙවැනි සමාගම කඩා වැටීම දිගින් දිගට සිදුවනු දකින්නට පුළුවන. ඒවාට රාජ්‍ය දේපළ වලින් උදව් කරන හැටි ද දැකිය හැක. නමුත් අප කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථක වීම ගැන පමණි.

මා කල්පනා කරන්නේ ‍අසාර්ථකත්වය පවතින්නේ රාජ්‍ය ව්‍යවසායක් ද පෞද්ගලික ව්‍යවසායක් ද කියන කාරණය මත නොව මේවා කළමනාකරණය කිරීම සහ ඒවා තුළ පවතින දූෂිත ක්‍රියාදාම නිසා බවයි. 

ලංකාවේ සතොස සහ සමූපකාර ව්‍යාපාරයට සිදු වූයේ එයයි. ඒවා ගසා කෑමේ තෝතැන්ක් බවට පත් වුණි. එනමුත් ඉතා සාර්ථව සමූපකාර ව්‍යාපාර තිබේ. ස්විස්ටර්ලන්තයේ භාණ්ඩ වෙළදාමෙන් සියයට 90ක් අයත් මිග්‍රෝ සහ කො-ඔප් යන සුපිරි වෙළද සැල් ජාලා දෙකම සමූපකාරයන්ය.

දැන් අපි මෙම ආර්ථික මහත්වරුන් ගේ අනෙක් තර්කය දෙස බලමු. ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ආයතන ලාභ ලැබුවා වුවත් ඒ ලබන ලාභ ප්‍රමාණය ප්‍රමාණවත් නැති හෙයින් ඒවා පෞද්ගලිකකරණය කිරීමෙන් ඊට වඩා වැඩි ලාභ ලැබිය හැකි බවයි. 

මෙම කාරණය දෙස ගැඹුරින් විමසා බැලිය යුතුය. එය 2+2 = 4 වැනි සරළ සමීකරණයක් ලෙස නොගෙන එහි ඇති අභ්‍යන්තර කරුණු විමසා බැලිය යුතුය.

පළමුවෙන්ම රාජ්‍ය ව්‍යවසාය බොහෝ විට පවතින්නේ එම ව්‍යවසාය තුළින් රටට යම්කිසි සහනදායි සේවාවක් සැපයීමත් මුල් කරගෙනය. රාජ්‍ය යනු ජනතාව විසින් ජනතාවගේ උවමනාවන් ඉටු කර ගැනීමට සහ ආරක්ෂාව සහතික කර ගැනීමට ගොඩනගා ගෙන ඇති මෙවලමක් බව අප අමතක නොකළ යුතුය. රාජ්‍ය යනු ජනතාවගේ උවමනාවන් ඉටු කර ගැනීම පිණිස මිස වෙළෙඳපොළ ආරක්ෂා කිරීම සඳහා පමණක් පවතින මෙවලමක් නොවේ.

නමුත් මේ සියල්ල පැත්තකින් තබා පෞද්ගලීකරණවාදීන්ගේ තර්කය දෙස බලමු. අඩු ලාභ ලබන ආයතනයක් පෞද්ගලීකරණය තුළින් වැඩි ලාභ ලබන්නේ කෙසේද?

මෙම ලිපියේ දෙවන කොටසින් එම කාරණය වෙත යොමු වෙමු.

 
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi