iMage: vikalpa file

”චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මෑතක සිට මානව හිමිකම් කමිටුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ අවලංගු කිරීමට නියමිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීම තහනම් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇත. මෙවන් සන්ධර්භයක් තුළ, අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකාවෙන් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසත්, ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම අවසන් කරන මෙන් ඉල්ලා සිටින බව අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම(International Commission of Jurists – ICJ) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් වන්නේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසත්, ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම අවසන් කරන ලෙසත්ය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ

ශ්‍රී ලංකාව: මරණීය දණ්ඩනය හඳුන්වාදීමට සහ වර්තමානයේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදව වන වාර්තාවන් ඛණ්ඩනය කිරීමට ඉවහල් වන යෝජිත “ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත.

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත, මේ වනවිට කෙටුම්පත් කර ඇති ආකාරයෙන්ම සම්මත වුවහොත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අතිවිශාල ප්‍රමාණයක් සිදුවනු ඇතැයි අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම (ICJ) අවධාරණය කරන අතර, 2023 මාර්තු 22 වැනි දින, ශ්‍රී ලංකා රජය විසින් යෝජිත පිටු 97 කින් යුක්තව ප්‍රකාශයට පත් කරන ලද මෙම “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” (2023 මාර්තු 17 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද) පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එමගින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) පරිච්ඡින්න කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම (ICJ) විශේෂයෙන්, යෝජිත පනත් කෙටුම්පතේ 4(1)(a) වගන්තිය පිළිබද සිය බරපතල අවධානය යොමු කරන අතර, එම වගන්තිය දැනට කෙටුම්පත් කර ඇති ආකාරයට පාර්ලිමේන්තුව තුළ දී සම්මත වුවහොත්, “ත්‍රස්තවාදී ක්‍රියා මගින් වෙනත් තැනැත්තෙකුගේ මරණය සිදු කළහොත්” එම වරද සඳහා මරණීය දණ්ඩනය හදුන්වා දෙනු ලැබේ. 1976 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් කර ඇති හෙයින්, ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරාවට මරණීය දණ්ඩනය තත්වාකාරයෙන් අහෝසි කරන ලද රටක් ලෙස හදුන්වනු ලැබේ. ජීවත්වීමේ අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් ලෙසත්, ඉහළම කෲර, අමානුෂික සහ අවමන් සහගත දණ්ඩනයක් ලෙසත් අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම සියලුම සන්ධර්භයන්හීදී මරණීය දණ්ඩනයට විරෝධය පළකර සිටී.

අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලිවියෝ සිලි (Livio Zilli) පවසා සිටිනුයේ, ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවන් සම්බන්ධයෙන් පැන නගින නැතහොත්, ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන‍යන්, මරණ දණ්ඩනය සාධාරණීකරණය කිරීම සඳහා හේතුවක් ලෙස භාවිතා නොකළ යුතු’ බව ය.

මෙම යෝජිත පනත් කෙටුම්පතෙහි වර්තමානයෙහි ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා යම් ඉදිරිගාමී සාධනීය ලක්ෂණ අන්තර්ගත කර තිබේ, ඒවා නම්:
– රඳවාගෙන සිටින තැනැත්තාගේ නීතීඥවරයා නොමැතිව පොලිස් නිලධාරියෙකුට එලෙස රඳවාගෙන සිටින රැඳවියකුගේ පාපොච්චාරණය ආවේශ්‍ය කරගැනීමට හැකිවන පරිදි පැවති විධිවිධානයක් ඉවත් කිරීම;
– අත්අඩංගුවට ගන්නා නිලධාරියා විසින් වහාම හෝ අවම වශයෙන් පැය 24ක් ඇතුළත විත්තිකරුගේ සමීපතම ඥාතීන්ට අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැනුම් දෙන ලියවිල්ලක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය;
– කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට / ප්‍රශ්න කිරීමට සහ සෝදිසි කිරීමට කාන්තා පොලිස් නිලධාරීන් යොදා ගත යුතු වීම
– අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු චූදිතයා කැමති භාෂාවකින් පරිවර්තනය කර එයට ප්‍රවේශවීම සහතික කිරීම ; සහ
– රැඳවුම් නියෝගයක් (DO) නොමැතිව තැනැත්තෙකු රඳවා සිටින අවස්ථාවක සෑම දින 14 කට වරක්ම එම රැඳවියා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමට බැඳී සිටීම, යන ආදියයි.

කෙසේ වෙතත්, අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම මෙම යෝජිත පනත් කෙටුම්පත සළකනු ලබන්නේ එය පැහැදිලිවම සාධනීය කරුණු ඉක්මවා බරපතල ගැටලුකාරී පැතිකඩ අඩංගුවන පනත් කෙටුම්පතක් ලෙසටයි.

මරණීය දණ්ඩනය හඳුන්වාදීම පිළිබඳ ඉහත සඳහන් කළ ගැටලුකාරී තත්වයන්ට අමතරව, විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, විසම්මුතික අදහස් යටපත් කරන සහ සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා අර්ථනිරූපනය කළ හැකි “ත්‍රස්තවාදී ක්‍රියා” පිළිබඳ කෙටුම්පතේ 3 වැනි වගන්තියේ සදහන් පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමයි.

තවදුරටත් පනත් කෙටුම්පතේ 16 වැනි වගන්තියේ සදහන් ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පනත යටතේ නිකුත් කරන ලද ඕනෑම නියෝගයක් කඩකිරීම “ත්‍රස්තවාදය පිළිබද වරදක්” ලෙස හදුන්වා ඇත. මෙම ප්‍රතිපාදන මගින් වත්මන් රජය සහ අනාගත පරිපාලනයන් වෙත ඕනෑම ආකාරයක විරෝධතාවන්ට එරෙහිව අනිසි ලෙස භාවිතා කිරීමට බොහෝසෙයින් ඉඩ ඇති නව වැරදි කාණ්ඩයක් නිර්මාණය කරනු ලබයි.

ලිවියෝ සිලි පවසන පරිදි “දැනට කෙටුම්පත් කර ඇති ආකාරයට සම්මත කරනු ලැබුවහොත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩංගු ප්‍රතිපාදනවලට සමානවීම සහ ගොඩනැංවෙන මෙම නොපැහැදිලි සහ පුළුල් නීතිය මගින් අර්ථ දක්වන වැරදි අනිසි ආකාරයට භාවිතා කිරීමට ඉඩකඩ විවෘතවීම සිදුවන බැවින් එමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික නීතිමය බැඳීම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බැදීම් උල්ලංඝනය කරයි.”

ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ප්‍රධාන පූර්ව කොන්දේසියක් වන්නේ අපරාධ වැරදි පැහැදිලිව නීතියෙන් නියම කළ යුතු අතර ඒවා නීත්‍යානුකූලභාවයේ මූලධර්මයට අනුකූල විය යුතු බවයි. නීත්‍යානුකූලභාවයේ මූලධර්මයට අනුව අපරාධ වර්ගීකරණය කිරීම සහ සාපරාධී හැසිරීම් පිළිබඳ නිරවද්‍ය සහ නොපැහැදිලි භාෂාවකින් විස්තර සහිතව ඉතා පැහැදිලි නිර්වචන මගින් දණ්ඩනීය වරදක් පටු ලෙස නිර්වචනය කිරීම, එම අපරාධයේ මූලිකාංග සහ එය සාපරාධී ලෙස තහනම් නොකළ හැසිරීම් වලින් වෙන්කර හඳුනා ගැනීමට අවශ්‍ය සාධක නිර්වචනය කිරීම ද අවශ්‍ය වේ. අපරාධ නීතිය මගින් නොපැහැදිලි, නිරවද්‍ය නොවූ, අත්තනෝමතික හෝ අතිශයින් පුළුල් වූ කිසිදු ක්‍රියාවක් හෝ නොකරහැරීමක් තහනම් නොකළ යුතුය. නොපැහැදිලි නීති මගින් නීතියේ ආධිපත්‍යය බිඳ දමයි, මන්ද එමගින් වරණීය සහ අත්තනෝමතික අර්ථනිරූපනය කිරීම්වලට, නීතිය ක්‍රියාත්මක කිරීමට සහ නඩු පැවරීමට ඉඩකඩ විවෘත කර තබන බැවිනි. දැනට පවතින “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” එලෙස අනිසි ආකාරයෙන් භාවිතා කිරීමට ඉඩකඩ විවෘත වූ එකකි.

එපමණක් නොව, යෝජිත කෙටුම්පත පවතින ආකාරයෙන්ම බලාත්මක කළහොත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් වර්තමානයේ භුක්ති විඳින බලතල ඉක්මවා යන අතිරේක බලතල ප්‍රමාණයක් ලබා දෙන අතරම, මෙම පනත මගින් සීමිත අධීක්ෂණ බලයක් පමණක් අධිකරණ ලබාදී තිබේ. නිදසුනක් වශයෙන්, 28 (2) (අ) වගන්තිය යටතේ, රටේ කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (ඩීඅයිජී) විසින් කරන ලද රැඳවුම් නියෝගයක් මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශනය නොකර සිටිය හැකිය. යෝජිත පනත් කෙටුම්පතේ කෙටුම්පත් කර ඇති 28 (ආ) (iii) වගන්තියට අනුව, රැඳවුම් නියෝගයක් නිකුත් කර නොමැති හෝ මහේස්ත්‍රාත්වරකු වෙත ඉදිරිපත් කර නොමැති චූදිතයෙකු, මහේස්ත්‍රාත්වරයෙකුට නිදහස් කළ හැක්කේ සැහීමකට පත්වන යම් හේතුවක් මත අදාළ පොලිස් ස්ථාන භාර නිලධාරියා විසින් ඉල්ලා සිටියහොත් පමණි. එවැනි විධිවිධානයක් මගින් අධිකරණයට නිසි පරිදි හිමි වූ බලය පොලිසියට විසින් පවරා ගෙන බලතල බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය කරනු ලබයි – මෙවැනි අවස්ථාවන්හීදී, විත්තිකරු නිදහස් කරවාගැනීමට මහේස්ත්‍රාත්වරයාගේ තීරණය ප්‍රථමයෙන් විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ පොලිස් ස්ථාන භාර නිලධාරියා මත යැපෙන්න සිදුවේ.

රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ගැනීමේ උපරිම කාලය මාස 12ක් (37 වැනි වගන්තිය අනුව) වන අතර, විත්තිකරුට එරෙහි චෝදනාව, විමර්ශනය අතරතුරදී සොයාගත් තොරතුරු සහ වැඩිදුර රඳවා තබා ගැනීමට හේතු ඇතුළත් රහස්‍ය වාර්තාවක් පළමු මාස තුනෙන් පසු මහේස්ත්‍රාත්වරයකු වෙත ගොනු කිරීමට පොලිසියට සිදු වේ. (36 වගන්තිය අනුව). නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් නියෝග කරන ලද රැඳවුම් නියෝගයක් මහේස්ත්‍රාත්වරුන්ට විමර්ශනය කළ නොහැක. රැඳවුම් නියෝගයක් නොමැති නම්, විත්තිකරු සෑම දින 14 කට වරක් ම මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය (38 වැනි වගන්තිය අනුව).

මෙම යෝජිත පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත්වරුන්ට රැඳවුම් ස්ථානවලට පැමිණීමට සහ චූදිතයින්ට නීතීඥයන් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන අතර, පසුගිය වසර 44ක කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ නිරන්තර අත්දැකීම් මගින් පෙන්නුම් කරන්නේ මහේස්ත්‍රාත්වරුන්ට බොහෝ විට ඔවුන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් බන්ධනාගාර වැනි රැඳවුම් ස්ථාන නිරීක්ෂණය කිරීමට කාලය නොමැති බැවින් එවැනි ආරක්ෂණ ක්‍රම එතරම් සාර්ථක ආරක්ෂාවක් ලබා නොදෙන බවයි. ඒ හා සමානවම, රැඳවියන්ට නීතීඥයන් සඳහා ප්‍රවේශය ලබා දී ඇතත්, එය ඉතාමත් කලාතුරකින් පෞද්ගලික හේතු මත සිදු වී ඇත.

දැනට කෙටුම්පත් කර ඇති පරිදි පනත් කෙටුම්පත සම්මත වුවහොත්, පනත් කෙටුම්පත මගින් ආයතන දෙකක්, එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සමාලෝචන මණ්ඩලයක් සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ස්වාධීන සමාලෝචන මණ්ඩලයක් මෙම ක්‍රියාවලියේ අධීක්‍ෂණය සහතික කිරීම සඳහා පිහිටුවනු ඇත. කෙසේ වෙතත්, එවැනි ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිසියම් ඵලදායී අධීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය නොමැති වනු ඇත. ඒ වෙනුවට, පෙනීයන්නේ, පොලිසිය විසින් සිදුකරන අනිසික්‍රියාවන් පිළිබඳ අවශ්‍ය පරීක්‍ෂාවන් සිදුකරන ආයතන ලෙස ක්‍රියා කරනවා වෙනුවට, නීතිය බලාත්මක කිරීමේ දී විද්‍යාමාන විය හැකි සෑම අක්‍රමිකතාවන් ම ආවරණය කිරීමට ආයතන දෙකම ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

යෝජිත පනත් කෙටුම්පටත යටතේ අදාළ සංවිධානය වරදකට හේතුවන ක්‍රියාවක නිරත වී ඇති බවට හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ආරක්ෂාවට අගතිගාමී වන ආකාරයට නීතිවිරෝධී ලෙස ක්‍රියා කරමින් සිටින බවට “විශ්වාස කිරීමට සාධාරණ හේතු” තිබේ නම්, පොලිස්පතිවරයාගේ (IGP) හෝ රජයේ නිර්දේශ මත සංවිධාන තහනම් කිරීමට ද පනත් කෙටුම්පත මඟින් ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත. නීතිය හෝ (82 වගන්තිය අනුව).

පොලිස්පතිවරයා හෝ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන් හෝ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයාට ඕනෑම ස්ථානයක් “තහනම් ස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය (85 වගන්තිය අනුව). එලෙස ප්‍රකාශයට පත් කරන ප්‍රදේශ සඳහා තහනම් කාල සීමාවට නිශ්චිත කාල සීමාවක් නියම කර නොමැති අතර ඕනෑම ස්ථානයක් “තහනම් ස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. මෙමගින් ඕනෑම විසම්මුතික අදහසක් මර්ධනය කිරීමට පහසු වන්නේ දැනට පවතින පරිචය අනුව උද්ඝෝෂණවලට එරෙහිව නිශ්චිත කාල සීමා තහනම් නියෝග ලබාගැනීමට පොලිසියට මහේස්ත්‍රාත්වරයා හමුවට යාමට අවශ්‍ය නොවන නමුත් ඒ වෙනුවට වහාම විරෝධතා පැවැත්වෙන ස්ථානය තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ගැනීමට හැකිවීමයි. එවැනි ක්‍රියාවන් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව අනුව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ අයිතිවාසිකම මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ආරක්‍ෂා කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ, සාමකාමීව රැස්වීමේ සහ සමාගමේ නිදහස යන අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය කරනු ලබයි.

තවද, නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු පිළිබද ක්‍රියාමාර්ග කල්දැමීමට හෝ අත්හිටුවීමට නිර්දේශ කර ඇති පුද්ගලයන් සඳහා “පුනරුත්ථාපන වැඩසටහන්” ක්‍රියාත්මක කිරීම සඳහා රෙගුලාසි නිකුත් කිරීමට ද ජනාධිපතිවරයාට හැකිය (100 වැනි වගන්තිය අනුව). මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ, අතීතයේ දී, චූදිතයන්ට “පුනරුත්ථාපනය” පිළිගැනීමට බලකර ඇති බැවින්, විශේෂයෙන්ම රජයට නඩු පැවරීමට අවම හෝ සාක්ෂි නොමැති අවස්ථාවලදී එවැනි කටයුතු සිදුවී තිබේ.

චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මෑතක සිට මානව හිමිකම් කමිටුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ අවලංගු කිරීමට නියමිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීම තහනම් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇත. මෙවන් සන්ධර්භයක් තුළ, අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකාවෙන් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසත්, ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම අවසන් කරන මෙන් ඉල්ලා සිටී.

විසින් ඉංග්‍රීසි බසින් නිකුත් කරන ලද නිවේදනයේ සිංහල අනුවාදයකි.