Main iMage By: DM

හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ වූ එක් ලිපියක ඉතා වැදගත් කාරණයක් අවධාරණය කර තිබුණි. එනම්, ‘‘අල්ලස් හෝ දූෂණ කොමිසමක්’’ නොතිබුණු කාලයකුත් ලංකාවට තිබුණා නේද යන්නයි. පසුව යම් කාලයකදී එවැනි කොමිසමක අවශ්‍යතාවක් ඇති වීමම එම පිළිලය ඒ වන විට රට තුළ මොන තරම් ඔඩුදුවා තිබිණිද යන්නට සාක්ෂියකි. ඊටත් වඩා ශෝකයට කාරණය වන්නේ, එවැනි කොමිසමක් පවා, මේ වන විට දූෂිතයන්ව සහ සොරුන්ව අල්ලනවා වෙනුවට ඔවුන්ව ආරක්ෂා කරන තත්වයට පත්ව තිබීමයි. ඉහත කී ලිපියේ සඳහන් පරිදි, අධිකරණ ඇමතිවරයාම මේ කොමිසමේ සාමාජිකයෙකු දූෂිතයෙකු බව මෑතකදී කියා ඇතැයි ලියා තිබුණි. එය සැබෑවක් නම්, අල්ලස් හෝ දූෂණ කොමිසම, හොරාගෙ අම්මා පේන කියන දේවාලයකට පත්ව ඇතැයි සිතිය හැකිය.

රත්තරන් හොරා යහතින්

පසුගිය මැයි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළෙන් රත්තරන් සහ ස්මාට් ෆෝන් තොගයක් හොරෙන් ගෙනැවිත් හසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව තවමත් දේශපාලන බලධාරීන් කිසි පියවරක් ගෙන නැත. වෙනදා සේම ඔහු තවමත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වෙයි. රුපියල් මිලියන 78 ක් වටිනා හොර බඩු ගෙන ඒම ගැන ඔහු වරදකරු වුණේ රේගුවෙන් පමණි. එහිදී පවා, වෙනත් එවැනි පුද්ගලයන්ට ඒ හා සමාන වැරදි වෙනුවෙන් පනවන දැඩි දඩයෙන් ගැලවීමට ඔහු සමත් විය. වෙනත් පුද්ගලයෙකුට නම්, අදාළ හොරබඩු ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක දඩයක් ගසන මුත්, මේ පුද්ගලයාට නියමකොට ඇති දඩය, හොර බඩුවල වටිනාකමින් දහයෙන් පංගුවක් පමණි. ඒ රේගුවේ කෙරුවාවයි. ඊට අමතරව, රට පාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එවැනි වරදක් කිරීම පමණක් නොව, ඊට එරෙහිව දේශපාලන බලධාරීන් මේ වන තෙක් කිසි පියවරක් නොගැනීම කියාපාන්නේ, පාලකයන් සම්බන්ධයෙන් දූෂණය ඉවසා සිටීමේ සංස්කෘතියක් මේ වන විට මෙරටේ අජරාමර වී ඇති තරමයි.

මල්වානේ අන්දරය

මීට කාලයකට පෙර, මල්වානේ මන්දිරයක්, අයිතිකරුවෙකු නැති තත්වයට පත්ව තිබුණා ඔබට මතකද? අලුතෙන් ගොඩනැඟූ විශාල නිවසක් අයිතිකාරයෙකු නැති නිවසක් විය හැක්කේ කෙසේද? එය ගොඩනැඟූ ඉංජිනේරුවා හෝ ගෘහ නිර්මාණ ශිල්පියා සහ කොන්ත්‍රාත්කරුවා තමන්ට ඒ කාර්යය පවරා තිබුණු පුද්ගලයා නොදැන සිටින්ට හේතුවක් නැත. එවැනි තත්වයකදී සැබෑ හිමිකරුවා සොයාගැනීම, ෂර්ලොක් හොල්ම්ස් කෙනෙකු අවශ්‍ය කරන අභිරහසක් විය නොහැක. එහෙත්, එහි සැබෑ අයිතිකරුවා මේ රටේ පාලක පෙළැන්තියේ පුද්ගලයෙකු වූ බැවින්, කොච්චර හෙව්වත් දූෂිතයාව සොයාගත නොහැකි විය. තමාගේ නිවස තමාගේ නොවේ යැයි කීමට තරම් කෙනෙකු පෙළෙඹෙයි නම්, ඒ අයිතියට අදාළ දේපළ පිටුපස විශාල වංචාවක්, මගඩියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එහෙත් ලංකාවේ නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ එවැනි දේවල් සොයා දඬුවම් නොකිරීම දේශපාලනික සම්ප්‍රදාය බවට පත්ව ඇති නිසා එවැනි බලපුළුවන්කාර හොරු කවදත් නිරුපද්‍රිත වෙති. නිකමට හිතා බලන්න: වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් හිරේ ගොස් ඇති දේශපාලනඥයෙකු ලංකාවෙන් ඔබට සොයාගත හැකිද? එහි අදහස වන්නේ, අපේ ලංකාවේ කිසි දේශපාලනඥයෙකු දූෂිත නැති බව යැයි මා කීවොත්, ඔබට සිනාව පාලනය කරගත හැකි වේවිද?

අයියාගේ කෙරුවාව

Image: https://www.newscutter.lk/sri-lanka-news/top-stories/gotabaya-money-09022023-57987/

මොහුගේ අයියා රටේ ජනාධිපති විය. ජනතා ‘අරගලය’ අවස්ථාවේ ඔහු රජකමත් අතහැර පලාගියේය. එහෙත් ඔහුගේ මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂයකට අධික මුදලක් අරගලකරුවන් විසින් සොයාගෙන ඒ සියල්ල බලධාරීන්ට භාර දෙන ලදි. අරගලකරුවන් යනු රස්තියාදුකාරයන් සේ ගර්හාවට ලක් කළ රටක් වන ලංකාවේ ඒ අරගලකරුවන් අර තරම් විශාල මුදලක් තමන්ගේ සාක්කුවට දාගන්නේ නැතිව, රාජ්‍ය බලධාරීන්ට භාර දීම පසුපස කියැවෙන කතාව කුමක්ද? ඒ, අරගලය තුළ සිටි පුරවැසියාගේ, අරගල සන්දර්භය තුළ පැවති, අවංක භාවයයි. එසේ නම්, එතරම් විශාල මුදලක් ගෙදර අල්මාරියක තියාගෙන සිටි රාජ්‍ය පාලකයෙකු පසුපස තිබිය හැකි කතාව කුමක් විය හැකිද? විගණනයට හසු නොවුණු ධනයක් හෙවත් කළු සල්ලියක් ඔහු ළඟ තිබුණු බව ය. පාලකයා කළු සල්ලිකාරයෙකු වෙද්දී අරගලකාර රටවැසියා තමන්ට හිමි නැති මුදලක් අදාළ බලධාරීන්ට භාර දී තිබේ! මේ කළු සල්ලිකාර රාජ්‍ය නායකයාගේ නඩුව, ඉහත කී ‘අල්ලස් හෝ දූෂණ කොමිසම’ විසින් ගිය සතියේ ඉල්ලා අස්කරගන්නා ලදි. හේතුව? සාක්ෂි නොමැතිකම ලූ.

සාක්ෂි අවශ්‍ය කරන්නේ කුමක් සඳහාද? මෙතරම් ධනස්කන්ධයක් ගෙදර අල්මාරියේ තියාගෙන සිටියේ කෙසේද යන්නත්, ඒ ධනය තමන් අතට ආවේ කෙසේද යන්නත් සාධනය කරගැනීමට ය. එය, පැමිණිලිකරුවා (පොලීසිය) විසින් සාක්ෂි ඉදිරිපත්කොට සාධනය කළ යුතු කරුණක් නොව, චූදිතයා, එනම් එවැනි ධනස්කන්ධයක් ගෙදර අල්මාරියේ තියාගෙන සිටි පුද්ගලයා තමන්ට ඒ මුදල් ලැබුණේ කොහෙන් ද, ඒවා ළඟ තබාගෙන සිටියේ මන්ද යන කාරණාවලට පිළිතුරු බැඳිය යුතුව ඇති කාරණයකි. එනම්, සාක්ෂි ඉදිරිපත් කරමින් තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කළ යුත්තේ ඔහුම ය. කළු සල්ලිවලට අදාළ චෝදනාවක් ඔප්පු කිරීම සඳහා අල්ලස් කොමිසම පෙන්වා දිය යුත්තේ, මෙතරම් මුදලක් ඔහු සන්තකයේ තිබුණු බව පමණි. මල්ලීගේ මල්වාන නඩුවේදී මෙන් නොව, මේ නඩුවේදී අර මුදල් තමාගේ බව අයියා පිළිගත්තේය. ඒ නිසා, අල්ලස් කොමිසමට තවත් සාක්ෂි අවශ්‍ය නැත. එසේ නම්, අල්ලස් කොමිසම කියන පරිදි, ‘සාක්ෂි නැති’ විය යුත්තේ, විත්තිකරුවාට ය. එය, නඩුව ඉල්ලා අස්කරගැනීමට නොව, එය ඉදිරියට ගෙන ගොස් දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් ය. එහෙත්, දැන් දැන් පුරුද්දට සිදුවෙන පරිදි, එකම නීතිය සාමාන්‍ය වැසියාට එක ආකාරයකිනුත්, දේශපාලනඥයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතිය තදින්ම සමාජගතව ඇති තත්වයක් තුළ, මෙවැනි සිදුවීම් අභව්‍ය දේවල් නොව, සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ.

පුතාගේ චන්ද්‍රිකාව

මේ පවුලේම පුතෙක් වරක් අභ්‍යාවකාශයට චන්ද්‍රිකාවක් යවතියි කීවේය. ඒ සඳහා ලංකා ආණ්ඩුව වැයකොට ඇතැයි කියන මුදල ඩොලර් මිලියන 320 කි. ඉන්දියාව සිය ‘චන්ද්‍රයාන්’ ව්‍යාපෘති තුනක් සඳහා වියදම් කර ඇති මුදල ඩොලර් මිලියන 263 කි. ඒ අනුව, එක ව්‍යාපෘතියක් සඳහා පමණක් ලංකාව වියදම් කර ඇති මුදලේ දැවැන්ත භාවය ගැන යම් වැටහීමක් අපට ඇති කරගත හැකිය. එහෙත්, ප්‍රශ්නය වන්නේ, මේ පුත්‍රයා යැව්වා යැයි කී චන්ද්‍රිකාව දැන් තිබෙන්නේ කොහේද, එයින් ශ්‍රී ලංකාවට ලැබී ඇති සේවාවන් කවරේද යන්නයි. මාධ්‍ය වාර්තාවලට අනුව, ඒ චන්ද්‍රිකාව තිබෙන තැනක් ගැන දන්නා කෙනෙකුත් නැත, ඒ මගින් ලංකාවට ලැබෙන කිසි සේවාවක් ගැන දන්නා කෙනෙකුත් නැත. ඇත්තෙන්ම එවැනි චන්ද්‍රිකාවක් මේ සක්වලේ නැත. දැන්, මේ වියදම ගැන සොයා බැලීමට, රොකට් තාක්ෂණය පිළිබඳ ඥනයක් කෙනෙකුට අවශ්‍ය නැත. මේ කියන පුත්‍රයාගෙන් සහ ඔහුට අරමුදල් සැපයූ දේශපාලඥයන් සහ බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් ඒ සියලු තොරතුරු දැනගත හැකිය. ඒ අනුව, එකී මුදල යළි අයකරගැනීමට සහ එකී අක්‍රමිකතාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පිළිවන. එහෙත් ඒ කිසිවක් මේ ලංකාවේ සිදුවන බවකට ඈත සේයාවක් පෙනෙන්ට නැත.

නැතුව බැරි කෙහෙලිය


පසුගිය දා සිදු වූ ඇමති මණ්ඩල සංශෝධනය සලකා බලන්න: පසුගිය කාලය මුළුල්ලේ සෞඛ්‍ය අංශයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා පිළිබඳ අටුවා ටීකා සහිත සිදුවීම් රාශියක තොරතුරු මහජන අවකාශයට පැමිණියේය. රෝගීන් මියගිය කතා ගණනාවක් ඒ අතර විය. රෝගීන්ගේ ඇස් අන්ධ වූ කතා ගණනාවක් විය. අවසානයේ, ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගේ අත්සන හොරට ගසා, හොර බෙහෙතක් රටට ගෙන්වා ඇති කතාවක්, නම් ගම් ඇතිව ප්‍රකාශයට පත් විය. ඒ බෙහෙත නිෂ්පාදනය කළා යැයි කියන ඉන්දියානු සමාගම තමන් එවැනි බෙහෙතක් නිෂ්පාදනය කර නැතැයි කියයි. දැන්, මේ සමස්ත දූෂිත ක්‍රියාදාමය සිදුව ඇත්තේ රාජ්‍ය අංශය සහ සෞඛ්‍ය අංශය හරහා ය. ඒ අරභයා වන දීර්ඝ විමර්ශන මොහොතකට පැත්තකින් තියන්න: අර කියන හොර අත්සන ගසා මේ හොර ඖෂධය ලංකාවට ආනයනය කළ පුද්ගලයා කවුදැයි මේ වන විට හඳුනාගෙන ඇතත් මේ වන තෙක් එම පුද්ගලයා කිසි බලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන නැත!

රේගුව, පොලීසිය සහ මෝටර් රථ ලියාපදිංචි කරන ආයතන වැනි තැන් දූෂණය සම්බන්ධයෙන් කුප්‍රකටයි. එහෙත්, රටක සෞඛ්‍ය අමාත්‍යාංශයක් එවැනි දූෂණයේ තිප්පොලක් වන විට එය කෙලින්ම එරටේ ජනතාවගේ මරණය කැන්දන අපරාධ මර්මස්ථානයක් වනු ඇත. එසේ තිබියදී පවා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයාව අමාත්‍ය මණ්ඩලයෙන් අස්කෙළේ නැත. වෙනත් ඇමති පදවියකට මාරු කළා පමණි. අලුත් පදවිය, මුළු රටේම පරිසරය භාර කෙරෙන පරිසර අමාත්‍යාංශයයි. ජනතාවගේ ශරීර සෞඛ්‍ය අංශයේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයෙකු, සමස්ත රටේ පරිසරයේ සෞඛ්‍ය ගැන අමාත්‍ය ධුරයකට පත්කළ යුත්තේ මොන තර්කයක් උඩද? තර්කය පදනම් වන්නේ, ජනතාවගේ සෞඛ්‍ය හෝ පරිසරයේ සෞඛ්‍ය මත නොව, පටු දේශපාලනය මත ය.

ඩයනා (කතා) වස්තුව

අර ඩයනා ගමගේ පිළිබඳ කතාව ගන්න: ඇය 2004 පටන් මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි. ඇයට, ද්විත්ව පුරවැසි භාවයක් නැති නිසා, මොන විදිහකින්වත් ලංකාවේ පුරවැසියෙකු නොවන බව, ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ලිඛිතවම අධිකරණයට දැනුම් දී ඇත. එහෙව් ඩයනා ගමගේ 2014 දී මෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් (පාස්පෝට් එකක්) අරගෙන ඇතිවා පමණක් නොව, 2018 දී එය ‘රාජකාරි ගමන් බලපත්‍රයක්’ දක්වා උසස් කරගෙන ඇති අතර, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ, එනම් 2022 දී, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් (රතු පාස්පෝට් එකක්) පවා අරගෙන තිබේ. එපමණක්ද? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තුළ ඇය රාජ්‍ය ඇමතිවරියක්ද වන්නීය. මෙතරම් දූෂිත ක්‍රියාවලියක් මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ සාර්ථකව කරගෙන යාමට, නීතිය රජයන රටක නම් හීනෙන්වත් නුපුළුවන. දැනට විමසමින් තිබෙන ඇගේ මේ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ගිය සතියේ තවත් වරක් කල් ගියේය. අප ජීවත් වන්නේ, දූෂණ සහ වංචා ජාල මාෆියා සංවිධානවලින් පවත්වාගෙන යන රටක නොව, ජනාධිපතිවරයාගේ පටන් රාජ්‍ය අනුග්‍රහයෙන් දූෂණ සහ වංචා ජාල නඩත්තු කරමින් තිබෙන රටක ය.

‘මිස්ට ක්ලීන්’ කෝ?

දූෂණය, ලංකාවට පමණක් සීමා වූ ප්‍රපංචයක් නොවන බව ඇත්ත. 2016 ජාත්‍යන්තර මූලය අරමුදලේ වාර්තාවකට අනුව, දූෂණයේ එක අංගයක් පමණක් වන අල්ලස නිසා විතරක් වසරකට යටිමඩි ගැසෙන සමස්ත මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 2 කට ආසන්නයි. එනම්, ඒ වසරේ ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 කට ආසන්න මුදලක් ලෝකය පුරා වැය වී ඇත්තේ අල්ලස සඳහා බව ය. එසේ වෙතත්, ලෝකයේ දියුණු රටවල පවතින දූෂණය සමග සසඳද්දී අපේ රටේ ඇති වෙනස වන්නේ, වෙනත් බොහෝ අපරාද සම්බන්ධයෙන් මෙන්ම දූෂණය පිළිබඳ කාරණයේදීත්, රාජ්‍ය අනුග්‍රහයෙන් සැපයෙන දණ්ඩමුක්තියක් අපේ දේශපාලන සංස්කෘතිය තුළ නිරතුරුව රජ කිරීමයි. දේශපාලනික අනුග්‍රහය ඇත්නම්, දඬුවමක් පිළිබඳ බියකින් තොරව ඕනෑම මහ පරිමාණ දූෂණයක් කරගෙන යා හැකි වාතාවරණයක් මෙහි තිබේ. ඉහත සඳහන් කී කිසි සිද්ධියක්, දූෂණය යන වරද ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට දුෂ්කර අවස්ථාවන් නොවේ. ඇත්තෙන්ම ඒවා සියල්ල, ඉතා ළාමක ආකාරයේ දූෂිත ක්‍රියාකාරකම් ය. එනම්, ඉතා පහසුවෙන් වැරදිකරුවා/වැරදිකාරිය දඬුවමට ලක්කළ හැකි අවස්ථාවන් ය. එහෙත්, ජනාධිපතිවරයාගේ සිට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය, සොරුන් සහ දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා පේ වී සිටිත් නම්, ‘දූෂණ විරෝධී පනත්’ තව දුසිමක් ගෙනාවත් පලක් නොවනු ඇත.

පිටරට්ටු අපේ දේවල්වලට ‘ඇඟිලි ගැසීම’ පටන්ගන්නේ මෙවැනි තත්වයන් තිබියදී ය. ‘ඇඟිලි ගැසීමට’ එරෙහිව ‘බුරන දේශප්‍රේමීන්’ කියන්නේ, අපට ඕනෑ විදිහට, අපේ ක්‍රමයට, අපේ දේවල් කරගෙන යන්න ඉඩදීපල්ලා යන්න මිස වෙන කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පසුගිය දා අපට පෙන්වා දුන් පරිදි, ලංකාවේ ආර්ථික අර්බුදය යනු ලංකාවේ පාලකයන්ගේ අවපාලනයේ ප්‍රතිඵලයකි. ලංකාවේ ආර්ථිකය මේ තත්වයට ඇදහෙලූ අයවළුන් ‘ආර්ථික අපරාධකරුවන්’ වශයෙන් සැලකිය යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පසුගිය දා කියා තිබුණි. මේ සියලු චරිත සහතික අපට ලැබෙමින් තිබෙන්නේ, කලකට ඉහතදී ‘මිස්ට ක්ලීන්’ නමින් විරුදාවලී ලත් කෙනෙකු ජනාධිපති පදවියේ සිටියදී ය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda