පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර ක්‍රියාවේ යොදවන ලද බවක් ඉන් නොකියැවෙයි. එහි ප්‍රධාන කර්තෘකත්වය බැර විය යුත්තේ ම්ලේච්ඡ ආගමික අන්තවාදයටමයි. ඒ ගැන විවාදයක් නැත. එහෙත්, එම ඛේදවාචකයෙන් ගොඩගිය එකම දේශපාලනික කුලකය ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කළ බව ඉන් නිෂේධනය නොවේ. මේ සිද්ධි දෙක, එනම් පාස්කු ප්‍රහාරය සහ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම අතර පූර්ව-සැලසුම්ගත සම්බන්ධතාවක් විණිද යන්න කිසි දවසක තහවුරු කරගත හැකි කාරණයක් නොවීමට ඉඩකඩ ඇති බව වෙනම කාරණයකි.

කරුණු එසේ වෙතත්, මේ සිද්ධි දෙක පසුපසින් දිගහැරුණු ක්‍රියාදාමයේ ඇතැම් සිදුවීම් මගින් පාස්කු ප්‍රහාරයේ ස්වභාවය සහ කාල සටහන නිශ්චිත විණිද යන කුකුස කෙනෙකු තුළ ඇති කරවයි. මේ ලිපිය, ඊට සෘජු සම්බන්ධතාවක් ඇති වෙනත් කුමන්ත්‍රණ කතාවක් ගැනයි.

නාමල් කුමාර නමැති නම ඔබට මතකද? එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඊළඟ ජනාධිපති වීමට සිටි ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට, රට කළඹවාලන ප්‍රකාශයක් කළ තැනැත්තා මොහු ය. පිස්සෝ නොයෙක් දෑ කියති. කිසිවෙක් ඒවා ගණන් නොගනිති. එහෙත්, ඕනෑම පිස්සෙකු ඉදිරියේ මයික්‍රෆෝනයක් සහ වීඩියෝ කැමරාවක් අටවා, ඉහළ පෙළේ බලධාරීන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සෑම නිවෙසකම රූපවාහිනී තිරය මත එම ප්‍රකාශය විකාශය කළොත්, අර පිස්සා ගැලවුම්කාර දේවදූතයෙකු බවටත්, ඔහුට සවන්දෙන රටවැසියා විහින් ඇන්දෙන කෙනෙකු බවටත් පත්වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ කියන නාමල් කුමාර ඒ කියන දේව දූතයා විය. එහෙත් ඔහු පිස්සෙකු නොවුණි. ප්‍රසිද්ධිය සොයා ගිය ඉත්තෙකු පමණි.

නාලක සිල්වා කියන නම ඔබට මතකද? එවක පොලිස් ත්‍රස්ත විමර්ශණ අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු ය. ඉහත කී නාමල් කුමාර, මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කුලී ඔත්තුකරුවෙකි. නාමල් කුමාර ඒ සදහා ජනාධිපති කාර්යාලයෙන් සහ පොලීසියෙන් විශාල වශයෙන් ගෙවීම් ලබා ඇත. එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ පහක් ඔහුට ගෙවා ඇති බව, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ‘පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම’ ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේය. ඒ නිසා, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ නාමල් කුමාර අතර සමීප හැඳිනීමක් තිබුණි. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඊළඟට ජනාධිපති වීමට සිටි ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුමක් දියත්කොට ඇතැයි නාමල් කුමාර රටට කියා සිටියේ, ඒ පෞද්ගලික දැනහැඳිනීම ඔස්සේ ය. ඔහුගේ ප්‍රකාශය මත පදනම්ව, නියෝජ්‍ය පොලිස්පතිවරයාව 2018 ඔක්තෝබර් 18 වැනිදා අත්අඩංගුවට ගැනුණි. ඒ වන විට, මුස්ලිම් අන්තවාදී ව්‍යාපාර පිළිබඳ පරීක්ෂණ කරමින්, සහරාන්ව අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් පවා මේ උසස් පොලිස් නිලධාරියා විසින් ලබාගෙන තිබුණි. එහෙත් නාමල් කුමාරගේ ප්‍රකාශය මත අත්අඩංගුවට පත්ව ඔහුට මාස හතක් සිරගතව සිටීමට සිදුවීමත් සමග, සහරාන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් ක්‍රියාදාමය නතර වුණි. (එය, සහරාන් ලවා ඉදිරියේදී පාස්කු ප්‍රහාරය දියත් කරවාගැනීමේ චේතනාන්විත මෙහෙයුමක එක් අංගයක් වීද යන්න, වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි).

නාමල් කුමාරගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් මාසයක පමණ කාලයක් ගත විය. මහජන ඡන්දයෙන් බලයට පත්ව සිටි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහු විසින්ම පරාජයට පත්කරනු ලැබ සිටි මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ වාඩි කරවා, රාජපක්ෂලාගේ නීති විරෝධී ආණ්ඩුවක් 2018 ඔක්තෝබර් 26 වැනිදා පිහිටෙව්වේය. ඝාතන තැතක් පිළිබඳ නාමල් කුමාරගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සහ මෛත්‍රීපාල සිරිසේනගේ මේ ආණ්ඩු කුමන්ත්‍රණය අතර සහසම්බන්ධයක් විණිද? ඔව්, සහතිකවම ඒ සිද්ධි දෙක ඓන්ද්‍රීයව සම්බන්ධයි.

අතුරු කතාවක්

ඒ කාරණය වටහාගැනීම සඳහා පසුබිම් සාරංශයක් මෙහිදී අවශ්‍ය කෙරේ:

(1) රාජපක්ෂ-විරෝධී මහජන ඡන්දයෙන් 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති වශයෙන් තේරී පත්වී සතියක් යන්නටත් කලින් මෛත්‍රීපාල සිරිසේන, රාජපක්ෂ පවුල සමග අවබෝධතාවක් ගොඩනඟාගත්තේය. ඉන්පසුව, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පුද්ගල කෝන්තර වර්ධනය වෙද්දී, රාජපක්ෂලා සමග සිරිසේනගේ ඇයිහොඳයිකම් තවත් වැඩි විය. 2019 පැවැත්වීමට නියමිතව තිබූ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාට අවස්ථාව නොලැබෙතොත්, රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය වෙනුවට, රාජපක්ෂලා අතට බලය මාරු විය යුතුව ඇතැයි 2018 මැද භාගයේ සිට සිරිසේන තීරණය කොට තිබුණි. හිටපු ජනාධිපතිවරයෙකු හෝ හිටපු අගමැතිවරයෙකු හෝ හිටපු විපක්ෂ නායකවරයෙකු, ඊළඟ ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවුණු, ලංකාවේ ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි.

(2) ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් රාජපක්ෂලා බලයට පත්කිරීමට 2018 ඔක්තෝබර් 26 වැනිදා සිරිසේන ගත් ඒ තුච්ඡ ප්‍රයත්නය අසාර්ථක විය. රටේ ඉහළම අධිකරණය මගින් එය ව්‍යර්ථ කළ බැවිනි. එහෙත් ඊට මාසයකට පමණ කලින් ඔහු විසින් නාමල් කුමාර ලවා රටේ ඇවිළ වූ ඒ ආන්දෝලනය, ඊළඟ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා බලයට පත්කිරීම සඳහා අවශ්‍ය ජනතා මතය ඇති කරගැනීමට උපස්ථම්භක කරගැනුණි.

(3) අවසානයේ, 2019 අෙප්ල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දියත් විය. ඉන් පසු එක් ප්‍රබල ජනමතයක් රටේ මතු විය. එනම්, රටේ ජාතික ආරක්ෂාව නැවතත් අනතුරට පත්ව ඇති බවයි. ඊට කලින් කොටි සංවිධානය ඉදිරියේ ජාතික ආරක්ෂාව අනතුරට පත්වූ අවස්ථාවේ රට ගොඩගත්තේ ගෝඨාභය රාජපක්ෂගේ මඟපෙන්වීම යටතේ බවට, රාජපක්ෂලා විසින්ම සමාජගත කළ තවත් ජනප්‍රිය ජනමතයක් මේ මතය සමග අගේට පෑහුණි. අනිත් පැත්තෙන්, සිරිසේන සහ රාජපක්ෂලා අතර මේ වන විට ප්‍රකට රහසක්ව පැවති රහස්‍ය ගිවිසුම ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ සමග තමාවත් ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි සිරිසේන විසින් නාමල් කුමාර ලවා රටට කියවා ගැනීම වූ කලී, තමා තරගයට නොඑතොත් තමාට විකල්පය වශයෙන් ගෝඨාභය රාජපක්ෂව රටේ නායකත්වයට පත්කරගත යුතු බවට සිරිසේන විසින් ජනතාවට දෙන ලද සංඥවයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ මළගම් අවසන් වීමටවත් කාලයක් නොවුණි. ඊළඟ ජනාධිපතිවරණයට තමා තරග කරන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.

පට්ටපල් බොරුවක් ගිය දුරක්

දැන් අර නාමල් කුමාරගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අවුරුදු පහකට පසු, ගිය සතියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නාලක සිල්වා නිෙදාස් කොට නිදහස් කරන ලදි. ඒ අධිකරණ විනිශ්චයට පදනම් වුණේ, ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නැති බවට, නීතිපතිවරයා විසින් අධිකරණට දන්වා සිටීමයි. මාස හතක් හිරභාරයේ තබාගැනීමට සහ අවුරුදු පහක් තිස්සේ නඩුව දිග්ගැස්සීමට තරම් කරුණු සිද්ධ වී ඇත්තේ, අදාළ චෝදනාවට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති තත්වයක් තුළ ය!

මෙපමණ කාලයක් තිස්සේ පට්ට ප්‍රබන්ධයක් සමාජගත කළ මේ කියන නාමල් කුමාර නමැති කුලී ඔත්තුකරුවා සම්බන්ධයෙන් සහ යටිකූට්ටු දේශපාලනික අවශ්‍යතා සඳහා ඔහුව යොදවාගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු නැත්ද? මේ ජනාධිපතිවරයා තරම් දඩ කෑ නායකයෙකු ලංකා ඉතිහාසයේ නැත. මේ ජනාධිපතිවරයා තරම්, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මහ දවල් ආණ්ඩු කුමන්ත්‍රණයක් කළ වෙනත් නායකයෙකු ලංකා ඉතිහාසයේ නැත. ‘‘මං යන්නේ ඔක්කොම ගිනි තියාගෙන’’ යැයි සිය පාලන කාලය අවසානයේ වරක් ඔහු කීය. එය සැබෑවක්ම විය. අසරණ ජීවිත 270 ක් බිළිගැනුණි. තවත් අසරණයන් සිය ගණනක් සදාකාලික අබ්බගාතයන් කෙරුණි. ඒ සියල්ලටමත් වඩා, ලංකාවම විනාශයට පත් කළ ගෝඨාභය රාජපක්ෂට බලයට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරුණි.

නාමල් කුමාර යනු, ජාතිවාදී සහ ආගම්වාදී සංවිධාන සමගත්, වෙනත් කුප්‍රකට පාතාල කල්ලි සමගත් සම්බන්ධතා පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බව, පසුව අනාවරණය වූ කරුණුවලින් පෙනී යයි. ඒ සංවිධාන සහ කල්ලි පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා කුලී ඔත්තුකරුවෙකු වශයෙන් මොහුව යොදාගෙන ඇති බවක් පෙනේ. එහෙත් ඒ සමගම, තමාට පුද්ගලික කෝන්තර ඇති වෙනත් පොලිස් නිලධාරීන්ට එරෙහිවත් මොහුව (නාමල් කුමාරව) පාවිච්චි කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා උත්සාහ දරා ඇත. ඒ පිළිබඳ හඬ පටි නාමල් කුමාර සතුව තිබුණි. එහෙත්, නාමල් කුමාරගේ කටවචනය හැරුණු කොට, ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට අදාළ කිසි සැලැස්මක් හෝ උත්සාහයක් පිළිබඳ සාක්ෂියක් මුල සිටම පොලීසිය සතුව තිබුණේ නැත. ඒ නිසා, නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිරභාරයේ තබාගැනීමට සහ අවශ්‍ය වෙතොත් පසුව නඩු පැවරීමට අදාළ සාක්ෂි තිබුණේ, ඔහුගේ පුද්ගල කෝන්තර පිරිමසාගැනීම සඳහා නාමල් කුමාර සමග ඔහු පවත්වා ඇති සාකච්ඡා තුළ පමණි.

එසේ නම්, ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ මෙපමණ හාහෝවක් ඇති කෙළේ ඇයි? සැබෑ දේශපාලනය තිබුණේ එතැන බැවිනි. සිරිසේනට වැදගත් වුණේ, නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාගේ හතුරු පොලිස් නිලධාරීන්ට එරෙහිව නාමල් කුමාරව පාවිච්චි කිරීමට ගත් වෘත්තීය-විරෝධී ප්‍රයත්නයන් ගැන නොව, තමාගේ අනාගත දේශපාලනික න්‍යාය පත්‍රයට ගැළපෙන ‘මහා ආඛ්‍යානයක්’ ආවරණය වන පරිදි ඒ ප්‍රබන්ධය ගොඩනඟාගැනීම ගැන ය. එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ බලයට පැමිණීම මොන වියදමක් දරා හෝ වැළැක්වීමත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණීම සඳහා පාර සකස් කර දීමත් එහි මුඛ්‍ය අභිලාෂය වශයෙන් පැවතුණි.

සිරිසේනගේ එදා පරම හතුරා අද මේ රටේ ජනාධිපති ය. තමාට විණ කිරීමටම බැලූ සිරිසේන ගැන ඒ ජනාධිපතිවරයා පස්ස හැරී බලන බවක් පෙනෙන්ට නැත. හේතුව, නැවතත් දේශපාලනිකයි. සිරිසේනගේ සහායෙන් බලයට පත් ගෝඨාභයගේ සහායෙන් ජනාධිපති පදවියට පත් රනිල් වික්‍රමසිංහට, සිරිසේන කලණ මිතුරෙකු වෙනවා මිස පරම හතුරෙකු නොවනු ඇත. ඔහු රාජපක්ෂලාව රැකබලාගන්නා තරමටම සිරිසේනලාවත් රැකබලාගනු ඇත.

දූෂණය ඇත්තේ මිල මුදල් සම්බන්ධයෙන් පමණක් නොවේ. සොරකම සහ වංචාව, මූල්‍ය පාඩුවක් පමණි. එහෙත් නීතියේ ආධිපත්‍යය යටපත් කරමින්, දේශපාලනඥයන්ගේ යටිකූට්ටු දේශපාලනයෙන් රටක් දූෂණය කෙරෙන විට, එය සමස්ත ජාතික දේහයම ඔද්දල් කරයි. නාමල් කුමාර සහ සිරිසේන නාටකය ඊට එක් නිදසුනකි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda